ජනාධිපතිවරණ සටනේ දී විවිධ පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන් "කාන්තාවන් සහ පවුල් සංස්ථාව ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ"

මෙය, බීබීසී සිංහල සේවය අදහස් විමසූ කාන්තාවන් අතරින් බහුතරයගේ චෝදනාව විණි.

සමාජයේ කුඩාම තැනුම් ඒකකය වන පවුලේ පාලනය, වගකීම වැඩි වශයෙන් උසුලන්නේ කාන්තාවන්ය. වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනා රැකියාවක නිරත වන අතරම ගෘහණියක ලෙස ද සිය වගකීම් සියල්ල ඉටු කරනු දැකිය හැකිය.

වර්තමාන දේශපාලන ක්‍රියාවලිය සහ මැතිවරණ, ජනාධිපතිවරණ ගැන දැනුමක් ඇතත්, දේශපාලන සංවාද, ලිපි සහ රූපවාහිනිය, යූ ටියුබ් ඔස්සේ විකාශනය වන වැඩසටහන් නැරඹීමට පුරුෂයන්ට සාපේක්ෂව බොහෝ කාන්තාවන්ට ඇත්තේ අතිශය සීමිත කාලයක් බව අදහස් පළ කළ කාන්තාවන් අතරින් බහුතරය පැවසූහ.

මීළඟ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යැයි නිවසේ වැඩ කටයුතු කරන අතරම, රැකියාවක ද නිරත වන කාන්තාවන් පස් දෙනෙකුගෙන් විමසීමි. විවිධ පිළිතුරු ලැබුණද ඔවුන්ගේ පූර්ණ අවධානය යොමු වන එක් කාරණයක් ඇත. ඒ තම පවුලේ යහපත ය.

wife 1ශ්‍රියානි ගුණරත්න - රථ වාහන පාලිකා

"මට ලොකු දේශපාලනික දැනුමක් නැහැ. හැබැයි අට ශ්‍රේණිය වෙනකම් ඉගෙනගෙන රස්සාවක් කරනවා. පවුලේ සම්පූර්ණ බර අදින්නේ මම. මට සම්පූර්ණ ආබාධිත දුවෙකුත් ඉන්නවා," රථ වාහන පාලිකාවක ලෙස පිටකොටුවේ රැකියාවක නිරතවන ශ්‍රියානි ගුණරත්න බණ්ඩා බීබීසී සිංහල සේවයට පැවසීය.

පිටකොටුව ප්‍රදේශයේ දී නිතර හමුවන ඇය, සිනහ මුසු මුහුණින් සිය රාජකාරිය ඉටු කරණු දැකිය හැකි වුවත්, දිවි ගමන සරි කරගැනීමට මහත් වෙහෙසක් දරන්නීය.

තව නොබෝ දිනකින් තේරී පත්වන රාජ්‍යය නායකයාගෙන් පවුල් බර උසුලන කාන්තාවක් ලෙස බලාපොරොත්තු වන්නේ කුමක් දැයි ඇයගෙන් ඇසූ පැනයට ඇගේ පිළිතුර මෙසේ විය.

"මම මේ ගෙන්දගම් පොළොවේ මහා අමාරුකාර මිනිස්සු එක්ක ජීවත් වෙන කෙනක්. අවුරුදු 21ක් මේ රස්සාව කරනවා. මගේ දුවට ඇවිදින්න කතා කරන්න බැහැ. තව අසනීප ගොඩක් තියෙනවා. එයාට බෙහෙත් ගන්න මාසයකට ලොකු වියදමක් යනවා. මගේ මහත්තයා මේ දුව නිසාම අපිව දාලා ගියා."

"අපි ජීවත් වෙන්නේ කැලණිය පැත්තේ පොඩි ගෙයක. මම වැඩට එනකොට දුව ගෙදර ඉන්නේ තනියම. එයාට දැන් 35ක් වයස. ටික කාලයක් විශේෂ අධ්‍යාපනයක් ලැබුවා. නමුත් දැන් කිසිදෙයකට වයස වැඩියි. අපි වගේ දුප්පත් මිනිස්සු මේ වගේ රටක ආබාධිත වෙනවා කියන්නේම කරුමයක්. මේ වෙනකොට තුන්පාරක් එයාට මිනිස්සු කරදර කරන්න හැදුවා."
petta"එක එක දේශපාලකයන්ගේ බොරු පොරොන්දු දහස් ගණනකට අපි රැවටිලා තියෙනවා. රටේ ප්‍රශ්න වගේම අපේ ප්‍රශ්නත් තවම එහෙමම තියෙද්දී ඒ සේරම සල්ලි හම්බකරගෙන. ආබාධිත අයට මේ රටේ මොනවාද තියෙන්නේ? පොඩි කාලේ යමක් ලැබෙනවා. නමුත් වයස යනකොට කිසිම පිළිසරණක් නැහැ."

"දියුණු රටවල ආබාධිත අයට ලැබෙන සැලකිල්ල ගැන මම අහලා තිබෙනවා. එච්චර ඕනේ නැහැ. අඩු ගානේ මේ වගේ වැඩිහිටි දරුවන් බලාකියා ගන්න ක්‍රමයක් ලැබෙනවානම් ඇති. මොන ජනාධිපති ආවත් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ස්ථීර උදව්වක් කරළා නැහැ," සිතෙහි ඇති කලකිරීම ඇය ඉතා වේගයෙන් වචන බවට පෙරළුවාය.

 ශීලා ෆොන්සේකා - රජයේ ආයතනයක හිටපු ප්‍රධාන ගණකාධිකාරි

 ගෘහණියන් දෙවර්ගයක් ගැන පැහැදිලි කළ ශීලා ෆොන්සේකා, මේ සියල්ලන්ම සිය රටේ නායකයාගෙන් බලාපොරොත්තු වන එක් කාරණයක් ගැන පැහැදිලි කළාය.

"පූර්ණ කාලීන ගෘහණියක් වුණත් රැකියාවක නිරත වන අතර සිය පවුලේ වැඩකටයුතු කරන කාන්තාවක් වුවත්, මමත් ඇතුළු අපි හැමෝම බලාපොරොත්තු වන්නේ තමන්ගේ ස්වාමියාගේ සහ දරුවන්ගේ ආරක්ෂාව, සාමය සැනසීම."

 109361543 73065856 2430469710381751 3480286856933801984 n

ශීලා ෆොන්සේකා

 "බිරිඳක්, මවක් හැටියට තමන්ගේ පවුලේ අය රාජකාරිවලට එළියට ගිහින් එනකම් හිතට කිසිම සැනසීමක් නැහැ. විශේෂයෙන්ම මාර්ග නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා නැවත ගෙදර එනකම් ජීවිතය ගැන විශ්වාසයක් නැහැ. මිනිස්සුන්ගේ ආරක්ෂාව, සැනසීම වෙනුවෙන් කරන්න පුළුවන් මූලික දේ තමයි මාර්ග නීති අකුරට ක්‍රියාත්මක කරන එක."

"ඒ විතරක් නෙමෙයි පොදු ප්‍රවාහන, රෝහල්වල වැඩවර්ජන, යුද්ධයෙන් පසුවත් ඇතිවන ත්‍රස්ත ප්‍රහාර වැනි බරපතල කාරණා සියල්ලගෙන්ම පීඩාවට පත් වන්නේ ගෘහණියයි. දැඩි කාලසටහනකට ජීවිතය ගෙනියන අපේ ජීවිත මේවගෙන් අවුල් වෙනවා," ශීලා ෆොන්සේකා පැවසුවාය.

"අවුල් වුණ මනසකින් රැකියාවේ නිරත වෙන්නවත් නිවසේ වැඩ කරන්නවත් බැහැ. රටේ ප්‍රශ්න සියල්ල සෘජුවම නිවසට බලපානවා. ඒ නිසා නිවැරදි තීරණ අරගෙන රට ගොඩනගන නායකයෙකු අත්‍යවශ්‍යයි."

එමෙන්ම, දේශපාලන වේදිකා මත සහ ප්‍රතිපත්ති මාලාවල කාන්තාවන්ට ලබාදෙන පොරොන්දු ඉටුකිරීමට බලයට පත්වන ජනාධිපති අනිවාර්යයෙන් ක්‍රියා කළ යුතු බව ඇය තවදුරටත් පැවසුවාය.

 මානෙල් ගුණතිලක - විශ්‍රාමික ගුරුවරියක්:

 මානෙල් ගුණතිලකගේ අවධානය ප්‍රථමයෙන් යොමු වූයේ නිතර වෙනස් වන 'බඩු මිල' පිළිබඳය.

"මගේ පුතා ඉන්නේ පිටරට. එයා කියනවා ඒ රටවල අවුරුදු ගණනකට කලින් තිබුණ බඩු මිල තමයි අදත් තියෙන්නේ කියලා. නමුත් අපේ රටේ බඩු මිල දවසෙන් දවස වෙනස්. මිල වැඩිවීමට සාපේක්ෂව අපේ පඩි වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා ගෘහණියන් හැටියට අපිට නිවසක කෑම බීම සැලසුම් කරලා පාලනය කරන්න බැහැ."

 109362302 gettyimages 933172362 594x594
"අපේ රටේ බඩු මිල දවසෙන් දවස වෙනස්"

 "ඒ වගේම මේ රටේ සියලු පද්ධති නීතියට අනුව වෙනස් වෙන්න ඕනේ. විශේෂයෙන්ම රැකියාවට යන මහත්තයා ගෙදර එන නියමිත වෙලාවක් නැහැ. එක්කෝ මග තොටේ දී යම් ප්‍රශ්නයක්, නැත්නම් රැකියාවට අදාළ නීති ක්‍රියාත්මක නොවීම නිසා ඇතිවන ප්‍රශ්න."

"අවසානයේ මේ සියල්ල පවුලේ යහපැවැත්මට බලපානවා," ඇය පැවසුවාය.

තාක්ෂණයේ දියුණුව ගෘහණියකට පවා 'දැනෙන වැඩපිළිවෙළක්' මීළඟ නායකයාගෙන් බලාපොරොත්තු වන බව මානෙල් ගුණතිලක පැවසීය.

"බොහෝ විට දවල් දවසේ පැය කීපයක් නිවසේ තනියම ඉන්න ගැහැණු අයට තාක්ෂණය මගින් ලෝකය ගැන දැනගන්න පුළුවන් ආකාරයට එය දියුණු කරන්න ඕනේ. තවමත් බොහෝ අයට අන්තර්ජාලයට පිවිසෙනවා කියන එක ගොඩක් වියදම් වෙන වැඩක්. තවත් අයට මේ සඳහා අදාළ දැනුම නැහැ. විශේෂයෙන් කාන්තාවන්ට," ඇය තවදුරටත් පැවසුවාය.

 උදේනි ප්‍රියලංකාදේවි - ඖෂධවේදිනි

 ගෘහණියන්ට සරිලන ආකාරයේ වගා කිරීමේ ක්‍රම හඳුන්වා දී ක්‍රමයෙන් රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම දක්වා වැඩපිළිවෙළක් සකස් කිරීම මීළඟ ජනාධිපතිවරයාගේ වගකීම බව උදේනි ප්‍රියලංකාදේවි පැවසුවාය.

"ලංකාවේ බොහෝ ගෙවල්වල මිදුලේ ඉඩකඩ තිබෙනවා. ඒවගේ වගා ආරම්භ කරන්න පුළුවන්. මම පෞද්ගලිකව මේ දේ කරනවා. ඒ වගේම සෑම ප්‍රදේශයකම සෑහෙන පුරන් කුඹුරු තියෙනවා. මේවා අස්වද්දලා රට නැවතත් කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන් ක්‍රමයක් අවශ්‍යයි."

 109361544 74604752 422294568485218 5239833382128451584 n
 උදේනි ප්‍රියලංකාදේවි

 "ඒ වගේම අපේ දරුවන් වෙනුවෙන් බලාපොරොත්තු වන දේ තමයි අධ්‍යාපන ක්‍රමයේ වෙනසක්. පොතේ පතේ ඉගෙනීම විතරක් නැතුව දරුවාගේ දක්ෂතාව හඳුනාගෙන එය ඔප නංවන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනේ. නැත්නම් පොතේ දැනුමෙන් උපාධි ගත්ත අය විතරක් රැකියා ලබනවා, ඊට වඩා දක්ෂ දරුවන් ඉවතට විසිවෙනවා," උදේනි ප්‍රියලංකාදේවි පැවසීය.

"ඒ වගේම රටපුරා තිබෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රශ්නත් හැම නිවසකටම බලපානවා. හැබැයි මේ හැමදේම විසඳෙනවා දරුවන්ට හරියන අධ්‍යාපන පද්ධතියක් හැදුවොත්. රටක් හදන්න පටන් ගන්න ඕනේ පාසලෙන්."

"කොහොම වුණත්, මේ මොන ප්‍රශ්නය විසඳන්නත් බුද්ධිමත් නායකයෙක් පත් කර ගන්න අපි වගබලා ගන්න ඕනේ," ඇය තවදුරටත් පැවසුවාය.

 ලීලාවතී චන්ද්‍රසේන - කාර්යාල පිරිසිදුකරන්නියක්

 කොළඹ කාර්යාල පිරිසිදු කිරීමේ රැකියාවක නියුතු ඇය සිය නිවසේ සියලු බර කරට ගත් තැනැත්තියකි.

"මගේ මහත්තයා රැකියාවක් කරන්නේ නැහැ. මගේ සල්ලිවලින් ජීවත් වෙනවා. අපිට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ගැහැණු විදිහට මේ රටේ අපි මොන තරම් දුක් විඳිනවාද? අලුත් ජනාධිපති කවුරු වුණත් ගැහැනියකට තනියම පාරේ බය නැතුව යන්න පුළුවන් රටක් හදන්නම ඕනේ," ලීලාවතී චන්ද්‍රසේන සිය කතාව ආරම්භ කළේ කඳුළු සලමිනි.

"මම දවසින් දවස වැඩ කරන තැන් වෙනස් වෙනවා. සමහර මිනිස්සු අපිට සලකන්නේ මහා ජරා විදිහට. ඒ වගේම පාරේ, බස්වල අපිට වෙන ප්‍රශ්න අනන්තයි. ඒත් රටේ නීතිය හරියට නැති නිසා පොලිසියකට ගියා කියලත් වැඩක් නැහැ."

 109362298 gettyimages 1150480582 594x594"ඒ මදිවට කන බොන එකේ ඉඳන් ගෙදරට ළමයින්ට අවශ්‍ය හැම බඩුවක්ම ගිනි ගණන්. ගෙදරට ඕනේ දේවල් දෙන්න මම මහා යුද්ධයක් කරනවා."

"එක දෙයයි කියන්න තියෙන්නේ රටෙ හැම ප්‍රශ්නයක්ම ගෙදරට බලපානවා. මේ රට හැම අතකින්ම දියුණු කරනකම් ගෙදර බර අදින ගැහැණුන්ගේ ජීවිතවලට කිසිම සැනසීමක් නැහැ."

"ඊළඟ ජනාධිපතිට මේ රට මුල ඉඳන්ම හදන්න වෙනවා."

"හැබැයි එයත් ඇවිත් තමන්ට හම්බකරගෙන, වංචා කරළා ගියොත් අපි වගේ දුප්පත් ගැහැණුන්ට මැරෙන්න තමයි වෙන්නේ. ආයෙත් මේ රට ගොඩගන්න කාලයක් ඉතුරු වෙලා නැහැ," ඇය ඉතා හැඟුම්බරව පැවසුවාය.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වුව ද මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරට එකතු වී ඇත්තේ ද එක් කාන්තාවක් පමණි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන ඇය පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා ය.

1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත්වීමෙන් පසුව ජනාධිපතිවරණයට තරග කිරීමට කාන්තාවක් ඉදිරිපත්වන ප්‍රථම අවස්ථාව මෙය ය.

 (දැහැමි රණවීර -බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්