පිලිකාකාරක ගැන අලුතින් කතා පටන් ගන්නේ රාජ්‍ය සතු සමාගමක් වන ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ

නිෂ්පාදන විශේෂයෙන් ඉලක්ක කර ඒවායේ තොග පිටින් ඇෆ්ලටොක්සින් නමැති පිලිකාකාරකය ඇතැයි විශාල ප්‍රචාරයක් දීමට සමාජ මාධ්‍ය ජාලවල කාලය ගෙවන සහ ප්‍රධාන මාධ්‍යයන්හි ප්‍රවෘත්ති වාර්තාකරණයෙහි යෙදෙන බොහෝ දෙන උනන්දුවීමත් සමග ය.



එහෙත් මිනිස් ශරීරයට අහිතකර ප්‍රමාණයෙන් ඇෆ්ලටොක්සින් අඩංගු සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ නිෂ්පාදනය කරන ලදැයි ඉහළ පෙළ පෞද්ගලික සමාගම්වන සිලෝන් බිස්කට්ස් සමාගම, මැලිබන් හා ලක්මී එක්ස්පෝට් සමාගමට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉකුත් 21 වන දින සිතාසි නිකුත් කර ඇති බැව් මාධ්‍යයට එතරම් වැදගත් නොවන්නේ ය.

 

මන්දපෝෂණයට පිළියම් වශයෙන් ත්‍රිපෝෂ ලංකාවට හඳුන්වා දෙනු ලැබූයේ 1973 දී පමණ කැනේඩියානු ආධාර සංවිධානය මගින්ය. එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම නමින් රාජ්‍ය සතු ව්‍යාපාරයක් වශයෙන් ස්ථාපිත කරනු ලැබූයේ 2010 සැප්තැම්බරයේදී ය.

මේ දක්වා වසර 50 ට ආසන්න කාලයක් මන්දපෝෂණයෙන් පෙලෙන්නේ යැයි හඳුනාගත් වයස අයුරුදු 05 ට අඩු ළමුන්ටත් ගැබිණි මව්වරුන්ටත් සය මසකට අඩු දරුවන්ට කිරි පොවන ශාරීරික බරින් අඩු මව්වරුන්ටත් ත්‍රිපෝෂ නොමිලේ බෙදා දෙනු ලැබේ.

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු සපයා ගනු ලැබූයේ දේශීය වගා වෙනි.

දේශීය තොග මිලට ගැනීමේ මෑත කාලයේ අවුල ඇති වූයේ 2021 මැයි මාසයේදී ත්‍රිපෝෂ සමාගම විසින් කිලෝව රුපියල් 58 ට බඩ ඉරිඟු තොග කැඳවා තිබියදී ආණ්ඩුව කිලෝවක උපරිම මිල රු.55 ක් ලෙස නියම කිරීමත් සමග ය.

අනතුරුව 2021 නොවැම්බරයේ ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු නතර කරනු ලැබිණ.



මේ මිල අවුල හදනු ලැබූයේ පෞද්ගලික නිෂ්පාදකයින් වෙනුවෙන් ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන අවුල් කිරීමට යැයි එකල චෝදනා තිබුණේ ජනාධිපතිගේ සමීපතමයෙකුට ය.



ඉන්පසු නැවත 2022 ජනවාරියේ නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුණද ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන සේවාවන්ට අමතරව දේශීය බඩ ඉරිගු වගාවද අඩාලව තිබූයෙන් ස්ථිර නිෂ්පාදනයක් අඛණ්ඩව සිදුව නැත. ඉන්දියානු ණය පහසුකම් සමග බඩ ඉරිඟු ආනයනය කරන්නට සිදුව ඇත්තේ එබැවිනි.

බඩ ඉරිඟු කොහෙන් ලබා ගත්තත් තොග බාර ගැනීමට පෙර ඒවා මනුස්ස පරිභෝජනයට සුදුසුදැයි රසායනාගාර පරීක්ෂණයකට ලක් කිරීම ත්‍රිපෝෂ සමාගම විසින් නියත ලෙස කෙරෙන්නකි. නුසුදුසු නම් එම තොග ප්‍රතික්ෂේප කෙරෙන්නේ ය.

එනිසා නිෂ්පාදනයට ගනු ලබන්නේ මනුස්ස පරිභෝජනයට සුදුසු තොග පමණය.

එහෙත් නිෂ්පාදනයෙන් පසුවත් අහඹු ලෙස ලබා ගන්නා පැකට්ටු නැවත පරීක්ෂාවට ලක් කරනු ලබන්නේ ඇතැම් විට අතපසුවීම් තිබිය හැකි හෙයිනි.



අනතුරුව මනුස්ස පරිභෝජනයට සුදුසු යැයි තීන්දු කෙරෙන නිෂ්පාදන තොග බෙදා හැරි පසු, ඒවා ප්‍රාදේශීය මට්ටමින් සිල්ලර වෙළඳාමට පෙර හෝ නිවෙස් වෙත බෙදා හැරීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නැවත පරීක්ෂා කර බැලිය යුතුය. ආහාර පනත යටතේ එය ඔවුන්ගේ රාජකාරී වගකීමකි.


 

මා මේ කතා කරන්නේ අපගේ වැනි අකාර්යක්ෂම, වගවීම් විරහිත හා දූෂිත රාජ්‍ය ආයතන හමුවේ මහජන ජීවිතාරක්ෂාව වෙනුවෙන් හදා ඇති සෞඛ්‍යාරක්ෂිත පියවර ගැන නොවේ. මා කතා කරන්නේ යටත් විජිත යුගයේ සිට විටින් විට අපද අනුගමනය කරන්නට නීති සකසා ගත් දියුණු රටවල පැවතුම් ගැන ය. එවැනි අදියර කිහිපයක පරීක්ෂණ සතු වැදගත්කම ත්‍රිපෝෂ මගින්ම පෙන්නුම් කෙරෙන්නේය.

ඉකුත් අගෝස්තු මස අවසානයේ ලබාගත් කන්ටේනර 32 කින් සෞඛ්‍යාරක්ෂිත මට්ටමක ඇෆ්ලටොක්සින් පැවතියේ 21 ක බැව් ත්‍රිපෝෂ සංගමයේ සභාපති මාධ්‍යයට කියා තිබුණි. ඔහු කියු අයුරු රසායනාගාර පරීක්ෂණවල ප්‍රතිපල අනුව කන්ටේනර 11 ක් ප්‍රතික්ෂේප විය.

අනතුරුව භාවිතයට සුදුසු ඉතිරි බඩ ඉරිඟු යොදා නිෂ්පාදනය කිරීමෙන් පසු තොග බෙදා හැරීමට ප්‍රථම මේ සැප්තැම්බර මාසයේ පළමු දෙසතියෙහි නිෂ්පාදිත කාණ්ඩ ඇෆ්ලටොක්සින් සඳහා නැවත පරීක්ෂා කිරීමේදී එම කාණ්ඩ 09 ම අනුමත උපරිම මට්ටමට යටත් බව සනාථවී ඇත.



පර්යේෂණ අදියර කිහිපයක් ඇති එවැනි ක්‍රියාවලියක් තුල ඉඳහිට තැනක දෙතැනක අඩුවක් දොසක් හඳුනා ගනු ලබන්නේ නම් එය අතිශය අහඹු සිදුවීමක් වූවත් වැදගත් ය. එහෙත් එවැනි විට මාධ්‍ය, වෘත්තීය සමිති සහ වෙනත් පොදු සංවිධාන කළ යුත්තේ සමාජයේ අනිසි භීතියක් ඇති කිරීම නොවේ.



 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ කළුතර විද්‍යා අධ්‍යාපන ආයතනය විසින් පරීක්ෂාකර අනතුරුදායක වාර්තා ලබාදී ඇත්තේද ඉතා සීමිත ස්ථාන කිහිපයකින් පමණය. එම පරීක්ෂණ වාර්තා පසුගිය අගෝස්තු මාසයේ 20 වන දින හෝ ඊට පෙර දිනක ලැබූ වාර්තා ය. එබැවින් ඒවාට අදාල නිෂ්පාදන තොග නිසැකවම ජුලි මාසයේ නිෂ්පාදිත තොග ය.

මීට දින දෙකකට පෙර මාධ්‍ය සාකච්ඡාවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයෙකු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේ එම තොග නිවෙස් වෙත බෙදා හැර නොමැති බවය. එම තොග සියල්ලම මීට මාසයකට පෙර අගෝස්තු මාසයේම වහා ආපසු ගෙන්වා ගනු ලැබූ බව ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයාද නිල වශයෙන් සහතික කළේ ය.

එහෙත් මහාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති දින කිහිපයකට පෙර නැවත මාධ්‍යයට ප්‍රකාශ කෙරුවේත් මාධ්‍ය ඒ ප්‍රකාශ මතින් වාර්තා කරන්නේත් රට පුරා බෙදෙන ත්‍රිපෝෂ සියල්ලේ ඇෆ්ලටොක්සින් පිලිකාකාරකය අවදානම් මට්ටමක ඇතැයි හැඟවෙන අයුරින් ය.



අහිතකර ප්‍රමාණයකින් ඇෆ්ලටොක්සින් පිලිකාකාරකය ඇතැයි පරීක්ෂණ වාර්තා දැක්වූ තොගය ඉවත්කර ගත්තේ යැයි කියූ විට එය මාධ්‍යයෙහි ඉස්මතු කෙරෙන්නේ ත්‍රිපෝෂ තොග සියල්ලෙහි ඇෆ්ලටොක්සින් ඇතැයි හැඟෙන අර්ථයෙනි. 

 

 පර්යේෂණ මගින් අධික ප්‍රමාණයක් ඇෆ්ලටොක්සින් ඇතැයි හඳුනාගත් බඩ ඉරිඟු කන්ටේනර 11 ක් ප්‍රතික්ෂේපකර සැපයුම් කරුවන්ට නැවත බාර දුන් ප්‍රවෘත්තිය වාර්තා වූයේද ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ආනයනය කෙරෙන බඩ ඉරිඟු තොගවල ඇෆ්ලටොක්සින් අධික ප්‍රමාණයන් ඇතැයි හැඟවෙන අයුරිනි.
 
අධික ප්‍රමාණයක් ඇෆ්ලටොක්සින් ඇත්තේ ඉන්දියානු බඩ ඉරිගු වල පමණක්ම නොවේ. ලැබෙන වාර්තා අනුව, පසුගිය අගෝස්තු මස අග සතියේ අධික ඇෆ්ලටොක්සින් ප්‍රමාණයන් ඇතැයි හඳුනාගෙන ප්‍රතික්ෂේප කෙරුණු බඩ ඉරිගු කන්ටේනර 11 න් 08 ක් ලක්ෂ්මි ඉමෙක්ස්පො පුද්ගලික සමාගම ආනයනය කළ ඉන්දියානු බඩ ඉරිගු වූ අතර ඉතිරි 03 ම එස්.ඩී.කේ සැපයුම්කරුවන්ගේ දේශීය බඩ ඉරිඟු කන්ටේනර විය.

ත්‍රිපෝෂ සමාගමේ සභාපති කියා තිබුණේ එළෙස ප්‍රතික්ෂේප කළ කන්ටේනර නැවත සැපයුම්කරුවන්ට බාර දුන් බවය.
 
මෙහිදී මාධ්‍යයට වැදගත් විය යුත්තේ ප්‍රතික්ෂේප කෙරෙන බඩ ඉරිගු තොග වලට සිදුවන්නේ කුමක්ද යන්නය. ඒවා විනාශ කරන්නේද නැතිනම් විවෘත වෙළඳපලෙහි නැවත අලෙවි කෙරෙන්නේද යන්න සෙවීමය.


අවම තරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සිතාසි නිකුත්කර ඇති පෞද්ගලික සමාගම් ඔවුන්ගේ බඩ ඉරිගු තොග ලබා ගත්තේ කොහෙන්ද සහ නිෂ්පාදනයට පෙර එම තොග ඇෆ්ලටොක්සින් සඳහා පරීක්ෂාකර ඇතිදැයි සෙවීමක් හෝ කර ඇති බවට වාර්තා නැත.


ඒවා සෙවීමේ වැදගත්කම ඇත්තේ මේ විවෘත වෙළඳපල ආර්ථිකය අතිශය දූෂිත ආර්ථිකයක් වන හෙයින්ය. හඩු ජාවාරම්කාරයින් පිරි මේ විවෘත වෙළඳපලෙහි ආචාර ධර්ම හා සදාචාර සම්පන්න කිසිත් නැති බව මේ වාර්තා කිරීමේ පිළිවෙත් මගින්ද මතක් කරන්නකි.
 
මන්දපෝෂිත කුඩා දරුවන්ට, ගැබිණි මව්වරුන්ට හා කිරි දෙන මව්වරුන්ට විශේෂයෙන් බෙදා හැරෙන අත්‍යාවශ්‍ය පෝෂණ ආහාරයක පිලිකාකාරක ගැන වාර්තා කිරීම් විශේෂ ප්‍රවේසමකින් කළ යුතු බැව් අමුතුවෙන් කිව යුත්තක් නොවේ.


අතීතයේදී ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව මහජන මුදලින් රුපියල් මිලියන 2,500 ක් පමණ වැය කරන ලද අතර, මේ වනවිට වාර්ෂිකව අවශ්‍ය වන රුපියල් බිලියන 06 ට වැඩි පිරිවැය ත්‍රිපෝෂ සමාගම විසින් උපයා ගන්නේය.


එළෙසින් දරුවන් සහ මව්වරුන් මිලියන 1.2 ක් සඳහා ලබා දෙන අත්‍යාවශ්‍ය පෝෂණයක් වන ත්‍රිපෝෂ පිළිබඳව කතා කළ යුත්තේ ආන්දෝලනාත්මක සිරස්තල සමගින් නොවන බවද අවධාරණය කළ යුත්තකි.

 පිලිකාකාරක ගැන කතා මේ සමාජයේ භීතියක් ඇති කරන්නකි. අරපරිස්සමකින් තොරව නගන චෝදනා සමග මාධ්‍ය විසින් මේ වනවිටත් අනියත බියක් ඇතිකර සැළකිය යුතු මන්දපෝෂිත පිරිසක් ත්‍රිපෝෂ භාවිතයෙන් ඉවත්කර ඇත.


අප මේ ඉන්නේ වෙළඳපල ලාභ සඳහා සෙල්ලම් කළ හැකි ලංකාවක නොවේ. අප මේ ඉන්නේ ආසියාවේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් වැඩිම රටවල් අතර සයවන ස්ථානයට පත්ව ඇති ලංකාවෙහි ය.


ඇෆ්ලටොක්සින් සහ ත්‍රිපෝෂ ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ හා වාර්තා කරමින් දරුවන් අතර මන්දපෝෂණය තව දුරටත් වර්ධනය කරන්නට හවුල්වන මාධ්‍යයද වෘත්තීය සමිතිද ඒ වගකීම බාරගත යුතු බැව් අවධාරණය කළ යුත්තේ එනිසාවෙනි.   
       
 


Kusal.jpg(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 සැප්තැම්බර 24

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්