කියුබාවට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් කිරීමට සහ කියුබාව ත්‍රස්තවාදී රාජ්‍ය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට

එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවට කොන්දේසි විරහිත සහය පල කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙස ලංකාවේ ආණ්ඩුවට අවධාරණය කරන එම පක්ෂය, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් හඬ නගන ලෙස ලෝකය පුරා සිටින සියලු ජනකොටස් වෙත ආයාචනය කර සිටියි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මධ්‍යම කාරක සභාව එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මේ දුෂ්කර මොහොත ජය ගැනීම සඳහා කියුබානු ජනතාවට ලංකාවේ ජනතාවගේ සහෝදරාත්මක සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට මෙය අවස්තාවක් කර ගන්නා බවද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.



මෙම නොවැම්බර් 02 සහ 03 දෙදින තුළ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයක් පැවැත්වෙන අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදය විසින් කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීමේ සහ කියුබාව ත්‍රස්තවාදී රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වේ.



1992 සිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර අනුමත කරන නමුත් එක්සත් ජනපදය එසේ සම්බාධක ඉවත් කිරීමට සූදානම් නැත. වසර 30ක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය ලෝක ජනමතය නොතකා කියුබානු ජනතාවට එරෙහි ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කරමින් සිටින අතර ලංකාවේ නිර්ධන පන්තිය ප්‍රමුඛ ලාංකීය ජනතාව ලෙස අපි එම ප්‍රහාරය දැඩිව හෙලා දකිමු.



1959දී ඒකාධිපති බැටිස්ටා පලවා හැර කියුබානු ජනතාව සමාජවාදී ජනරජයක් ප්‍රකාශයට පත් කළ දිනයේ සිට එක්සත් ජනපදය මේ කුඩා රාජ්‍යය විනාශ කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේය. එහි උච්ඡස්ථානය සනිටුහන් කරමින් 1962 වසරේ සිට ඇමරිකා එක්සත් ජනපදය විසින් කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක 190ක් හේතුවෙන් කියුබානු ජනතාව දැඩි පීඩනයට නතුකර තිබේ.



එක්සත් ජනපදයේ කෙනඩි පාලනය විසින් පනවන ලද ආර්ථික සම්බාධක යම් ප්‍රමාණයකට හෝ ඔබාමා පාලනය විසින් ඉවත් කිරීම යහපත් වර්ධනයක් වුවත් එමගින් ඉවත්වූයේ යැංකි තහංචිවලින් 15%ක සොච්චමක් පමණි. ඉන්පසුව පැමිණි ට්‍රම්ප් පාලනය විසින් එම 15% ද යලි පනවා, තවත් සම්බාධක නීති 243ක් පනවනු ලැබූ අතර බලයෙන් ඉවත්වීමට සතියකට පෙර කියුබාව ත්‍රස්තවාදී රටක් ලෙස නම් කරන ලදී.



කියුබාව ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කිරීම කෙතරම් ව්‍යාජයක්ද යන්න තහවුරු වනුයේ කියුබාව ලොව කිසිදු රටකට අයුතු බලහත්කාරීත්වයන් සිදු නොකිරීම නිසාය. එපමණක් නොව කොවිඩ් වසංගතය සමයේ කියුබාව ලොව පුරා රටවල් ගණනාවකට වෛද්‍ය  ආධාර සැපයු අතර කොවිඩ් එන්නත් නිපදවා ඒවා ගෝලීය පොදු සම්පත් බවට පත් කළේය. නමුත් අද කියුබාව ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කරන එක්සත් ජනපදයට එරෙහිව රටවල නායක ඝාතන කුමන්ත්‍රණ සැලසුම් කිරීම, අන්තවාදී කල්ලි නඩත්තු කිරීම, කුමන්ත්‍රණකාරී ලෙස විවිධ රටවල බෝම්බ පිපිරවීම ඇතුළු භීෂණය පතුරුවන ක්‍රියා කිරීම සම්බන්ධ චෝදනා එල වී තිබේ. කියුබාවට එරෙහි එවැනි චෝදනා කිසිවක් නැත.



කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් බැට කමින් සිටින කියුබානු ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමටත්, ඉන්ධන ලබා ගැනීමටත් බාධා කරන ආර්ථික සම්බාධක අප විග්‍රහ කරනුයේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙසිනි. වසර 30ක් තිස්සේ මෙම අපරාධය සිදු කරනුයේ ලෝක ජන මතය අත්තනෝමතික ලෙස නොසලකා හරිමින් වීමද විශේෂයකි.

එබැවින් ආර්ථික සම්බාධක ඉවත් කිරීමට සහ කියුබාව ත්‍රස්තවාදී රාජ්‍ය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවට අපි අපේ කොන්දේසි විරහිත සහය පල කරමු. එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙස ලංකාවේ ආණ්ඩුවට අවධාරණය කරන අතරම යුක්තිය හා සාධාරණය වෙනුවෙන් හඬ නගන ලෙස ලෝකය පුරා සිටින සියලු ජනකොටස් වෙත ආයාචනය කර සිටිමු.

මේ දුෂ්කර මොහොත ජය ගැනීම සඳහා කියුබානු ජනතාවට ලංකාවේ ජනතාවගේ සහෝදරාත්මක සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට මෙය අවස්තාවක් කර ගනිමු. 

මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2022 ඔක්තෝබර් 23

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්