මෙරටට අවශ්‍ය ගල් අගුරු අවශ්‍යතාව කඩිනමින් සපුරා ගැනීමට නොහැකි වුවහොත් 2023 ජූලි මාසය වනවිට ඉතිහාසයේ විශාලතම විදුලි කප්පාදුවට

මුහුණදීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය අනතුරු අඟවා ඇත.


ඊයේ පැවති (28) මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වූ අදහස් දැක්වුණු අතර ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය පවසන්නේ ලබන වසරේ අප්‍රේල් මාසය වන විට අදාළ ගල් අඟුරු තොග ආනයනය කළ යුතු බවය.


ඉදිරි කාලය සඳහා අවශ්‍ය ගල් අඟුරු නැව් 20 ඇණවුම්කර තිබුනත් තවමත් ලැබී ඇත්තේ නැව් 4 ක් පමණක් බවත් 5 වන නැවද ඒමට ප්‍රමාද වී ඇති බවද එම සංගමය සඳහන් කර වැඩිදුරටත් පවසයි.


ගල් අගුරු අවශ්‍යතාව කඩිනමින් සපුරා ගැනීමට නොහැකිවී විදුලි කප්පාදුවකට යාමට සිදුවුවහොත් එය හදිසි විදුලි මිලදී ගැනීම්වලින් පියවිය නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

මෙහිදී අවධානය යොමුකළ යුතු තවත් තීරණාත්මක කරුණක් වන්නේ, නොරොච්චෝලේ බලාගාරය සඳහා ඇනවුම් කරනු ලබන ගල්අඟුරු තොග ගොඩ බෑම සිදුකළ හැකි වන්නේ සැප්තැම්බර් සිට අප්‍රේල් අග දක්වා කාලය තුළ පමණක් වීමය. ඒ වාරකන් සමය හා මුහුදේ රළු වීමේ ස්වභාවය මතය. ඒ අනුව ගල්අඟුරු ගොඩබෑම සඳහා වර්ෂයකට ලැබෙන දින ගණන 185ක් පමණය.

 

මේ වන විටත් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ 2023 වසර සඳහා ගල්අඟුරු නැව් 38ක් අවශ්‍ය බවය. එකී වසර සඳහා අවශ්‍ය ගල්අඟුරු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.28 ක් වන බවත් දිනකට මෙට්‍රික් ටොන් 10000ක් මෙරටට ගොඩ බෑ හැකි බවත් කොමිසම පවසයි. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ ගණන් බැලීම අනුව අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගෙන යාම සඳහා දින 05කට වරක් ගල් අඟුරු නැවක් අනිවාර්යෙන්ම දිවයිනට ළඟා විය යුතුව ඇත.


ටෙන්ඩර් ක්‍රියාවලියත් අර්බුදයක !


ඒ පසුබිමේ වාර්තා වන අනෙක් බරපතළ කරුණ වන්නේ,  මේ වන විට ගල් අඟුරු ආනයනය සඳහා ආනයනකරුවන් තෝරාගැනීමට සිදුකරන ටෙන්ඩර් ක්‍රියාවලියත් අර්බුදයකට ලක්ව තිබීමය. පිළිගත් ක්‍රමවේදය අනුව, නම් ලෝක වෙළඳපොළේ මිල ගණන් සළකා බලා එකවර ගල් අඟුරු විශාල තොගයක් ඇණවුම් කිරීම වඩාත් ලාභදායක වෙයි. මන්ද ප්‍රමාණය වැඩි වන විට මිල මට්ටම අඩුවන නිසාය.


එහෙත් මෙරට ඇති දරුණු ආර්ථික අර්බුදයත්, එහිම ප්‍රධාන සාධකයක් වන විදෙස් සංචිත හිඳී තිබීමත් හේතුවෙන් සාමාන්‍ය තත්ත්වය යටතේ ගල් අඟුරු ආනයනය දුෂ්කර වී තිබේ.

 

කෙසේ හෝ පසුගිය සමයේ වසර 1 1/2 ක් සඳහා අවශ්‍ය ගල් අඟුරු ටෙන්ඩරයක් නිකුත් කෙරුණු නමුත් ඊට එරෙහිව ඕමල්පේ සෝභිත හිමියන් අධිකරණය වෙත යාම නිසා අදාළ ටෙන්ඩරය අත්හැර දැමීමට සිදුවිය. එහිදී වසර 1 1/2 ක පමණ කාලයක් සඳහා අවශ්‍ය ගල්අඟුරු සැපයුම සඳහා බ්ලැක් සෑන්ඩ් නැමති සමාගම තෝරා ගෙන තිබුණි. ලංකා කෝල් සමාගම විසින් නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් එම සැපයුම්කරු තෝරාගෙන තිබිණ.

 

එහිදී අදාළ සමාගම ලංසුව ඉදිරිපත් කර තිබුණේ නැව් ගාස්තුව සමග ටොන් එකක් සඳහා මිල අමෙරිකානු ඩොලර් 328 ක් ලෙස ය. මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර සිටින්නේ අඩුම ලංසුව එම සමාගම ඉදිරිපත් කර ඇති අතර මාස 06ක ණය පදනම මත ගල්අඟුරු සැපයීමට බ්ලැක් සෑන්ඩ් සමාගම එකඟ වී තිබූ බවය. ඒ අනුව ගල්අඟුරු සපයන්නා විසින් අනිවාර්යෙන් මාස 6ක ණය පදනම මත ගල්අඟුරු සැපයිය යුතුය. ඊට සැපයුම්කරුද එඟක වී ඇත.


නමුත් ඕමල්පේ හිමිගේ නඩුයාම හමුවේ එකී ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම වැළකී ගොස් ඇත. අනතුරුව නොවැම්බර් මාසය සඳහා පමණක් අවශ්‍ය තොග ඇණවුම් කිරීමක් සිදුව ඇත. යලිත් වරක් දෙසැම්බර් මාසයේ සිට ද වසරක කාලයක් සඳහා අවශ්‍ය ටෙන්ඩරයක් නිකුත් කිරීමට පසුගියදා සූදානම් කෙරුණු නමුත් එයත් මේ වන විට අත්හැර දමා ඇත.


වාර්තා වන ආකාරයට එකී ටෙන්ඩරය සඳහා ද අඩුම ලන්සුව ඉදිරිපත් කර ඇත්තේද බ්ලැක් සෑන්ඩ් සමාගමය. මේ තුළ මෙතෙක් සිටි සැපයුම්කරුට පමණක් අවස්ථාව ලබාදෙන, නව සමාගමක් වෙත ටෙන්ඩරය ලබාගැනීම වැළක්වීමේ උත්සාහයක් ක්‍රියාත්මකද යන පැහැදිළි සැකසංකා පහළවෙයි. ඒ, වසරක කාලයක් සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට කියමින් දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සූදානම් කළ මෙකී ටෙන්ඩරය නොවැම්බර් 22 වනදා ප්‍රසිද්ධ කර පැය 24ක් ඉක්ම යන්න පෙර අවලංගු කිරීමට කටයුතු කිරීමය. එහිදී සැපයුම්කරුවන්ට දන්වා ඇත්තේ මාස 4ක කාලයක් සඳහා පමණක් අදාළ ටෙන්ඩරය කැඳවන බවය.

 

ඒ අනුව සිදුව ඇත්තේ තවදුරටත් ගල් අඟුරු ආනයනය කිරීමට අවස්ථාව පෙර ගිවිසුම්ගත 'ස්විස් සිංගප්පුර්' සමාගම වෙතින් ගැනීමට කටයුතු යෙදීමක්ය. මේ තුල මතුවන ප්‍රශ්නය වන්නේ, උග්‍ර විදෙස් සංචිත අර්බුදයකට මුහුණදී ඇති පසුබිමක මාස 6ක ණය පහසුකම පවා අත්හැර කටයුතු කරන්නේ මන්ද යන්නය. බංකොලොත් බව නිල වශයෙන් නිවේදනය කර ඇති බැවින් මේ වන විට ණයවර ලිපි පවා විවෘත කිරීමට ඉඩක් මෙරටට නැත.  ලොව කිසිම බැංකුවක් ඒ වෙනුවෙන් මෙරට සමඟ සම්බන්ධවන්නේ නැත. ඒ අනුව සැපයුම්කරුවන්ගේ කොන්දේසිය වී තිබෙන්නේ අදාළ ගනුදෙනුවේ වටිනා කමින්  30%ක් ඇනවුම් කරන අවස්ථාවේ ගෙවීමටත් ඉතිරි 70%ක් තොග ගොඩබෑමට පෙර ගෙවා අවසන් කිරීමත්ය. ඒ කියන්නේ මේ  ගිවිසුම්ගත සමාගමෙන් පමණක් ගල් අඟුරු ලබාගන්න නම් 100% මුදල්ගෙවා ගැනීමට සිදුව ඇති බවය.

 

මේ බව වෙළඳපොළ විශ්ලේෂකයකු පැහැදිලි කර සිටියේ මෙසේය. එක් ගල් අඟුරු නෞකාවක් වෙනුවෙන් සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 21ක් ගෙවීමට නියමිත නම් ඩොලර් මිලියන 6ක් අත්තිකාරම් ගෙවිය යුතුය. ඉතිරි ඩොලර් මිලියන 15 ගල්අඟුරු ගොඩබෑමට පෙර ගෙවිය යුතුය. ඒ අර්ථයෙන් ඇනවුම් කිරීමෙන් පසුව නැවක් මෙරටට ලඟා වීමට දින 25ක කාලයක් ගතවෙනවා නම්, කප්පාදුවක් නොමැතිව විදුලිය සපයා ගැනීමට දින 05කට පමණ වතාවක් ගල්අඟුරු තොගයක් ඇනවුම්කළ යුතු බවත් දින 05කට වතාවක් අත්තිකාරම් ගෙවිය යුතුව ඇති අතර ඊළඟ දින 5ක පමණ කාලය තුළ ඉතිරි මුදල් ගෙවිය යුතු බවය. එනම්  දින 5කට වතාවක් ඩොලර් මිලියන 21 ක් සොයා ගැනීමට සිදුව ඇත.


මෙය විදෙස් සංචිතය දරුණු අවධානමකට ලක්ව ඇති රටකට කොහෙත්ම දැරිය හැකි තත්ත්වයක් නොවේය. නමුත් ඒ බව නොදන්නා තොත්ත බබාලා මෙන් ටෙන්ඩර් මණ්ඩල වල සිටින වගකිවයුතු සුදු කරපටි නිලධාරීන් හැසිරෙමින් ඇත. රටට අවශ්‍ය අල අඟුරු තොග මාස 6ක ණය කාලයක් සහිතව නොගැනීමට පරිස්සම් වන ඔවුන් ඒ වෙනුවට දින 5 ට ඩොලර් මිලියන 21ක් කොහෙන්හෝ හොයාගෙන ගල් අඟුරු සපයා ගන්න වෙන තැනට වැඩ සකස්කර ඇත. ඒ අලුත් සැපයුම්කරුවකුට මීට එක්වීමට ඇති අවස්ථා, ඇනවුම් වල ප්‍රමාණය, ටෙන්ඩර් පිරිවිතර, දිනය, ඇතුළු විවිධ තාක්ෂණික උපක්‍රම හරහා වෙනස් කර දමන නිලධාරී විජ්ජා හරහාය.

 

පසුගියදා ජනාධිපති 2023 අයවැය කතාව සිදුකරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිළිකර සිටියේ, වෙළඳපොල  පෞද්ගලික අංශයේ නිදහස් හැසිරීමට සහ තරගයට සූදානම් කරවන බවය. කොහොමටත් ආර්ථිකය ප්‍රසාරණය කරගන්න සිදුවන්නේ එහෙමය. ඒත් මේ නිලධාරීන් එහිම විලංගුව බවට පත්ව ඇත්නම් සිදුකරන්නේ කුමක්ද ? විශේෂයෙන් මුදල් අමාත්‍යංශය නියෝජනය කරමින් මේ ටෙන්ඩර් මණ්ඩල වල සිටිනා නිලධාරීන් ගැන මීට වඩා සොයා බැලීම අමාත්‍යවරයා ලෙස ජනාධිපතිගේ ද වගකීමය. ඒ කටයුතු සිදුවීම කොහොම වුවත් මේ නිලධාරී මාෆියාව පරාජය නොකළොත් පැය 18- 20 ක විදුලි කප්පාදුවක් වෙනුවෙන් හිත හදාගන්න වීමත් අනිවාර්යය.

 

''නැව් වාර 35ක ගල්අඟුරු ගොඩබානවා''-  ගල්අඟුරු සමාගම කියයි

 

gal sn

 

කෙසේවුවද, ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර පවසන්නේ, මෙවර ගල්අඟුරු ගැනීමේදී විශාල බාධක ප්‍රමාණයක් පැවතිය ද කෙසේ හෝ නැව් වාර 35ක ප්‍රමාණයක් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.  


මාධ්‍ය නිවේදනයන් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටී.


පසුගිය කාලවකවානුවලදී දිගුකාලීන ණය පහසුකම් ලබාගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර තුනක් ම බලාපොරොත්තු වූ අරමුණුවලට සහ අදාළ අවශ්‍යතාවන් සපුරා නොතිබීම නිසා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාගැනීමෙන් පසුව නැව් වාර 12ක් (7,20,000MT) ලබාගැනීම සඳහා නොකැඳවූ යෝජනා සහ රජයන් අතර මැදිහත්වීම මගින් සැපයුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදයකට එළඹ සිටි බව ද ඔහු පවසයි.


එම යෝජනා ලබාගැනීමේ අවසාන දිනය වන්නේ දෙසැම්බර් මස 1දා බව ත් මේ සඳහා මේ වනවිට ලංකා ගල්අඟුරු සමාගම සමග ලියාපදිංචි වී සිටි සියලු ම සැපයුම්කරුවන්ටත් පසුගිය ටෙන්ඩර් සඳහා ලන්සු ලේඛන ලබාගත් සියලු ම සැපයුම්කරුවන්ටත් මේ වනවිට නොකැඳවූ යෝජනා ලබාදුන් සියලු ම සැපයුම්කරුවන්ට සහ ඊට අමතරව කැමැත්ත දක්වන ඕනෑම සැපයුම්කරුවන්ටත් සහභාගි වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ද ඔහු සිය නිවේදනය හරහා පෙන්වා දෙයි.


ඒ අනුව, රටේ පවතින විදේශ විනිමය හිඟතාව සහ ආර්ථික පසුබෑම යන මූලික කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකොට රේඛීය අමාත්‍යංශයේ සහ විදුලි බල මණ්ඩලයේ ද සම්බන්ධීකරණය තුළින් ඉදිරියේදී ජාතික විදුලි බල පද්ධතියට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ගල්අඟුරු සැපයුම කිරීමට අවශ්‍ය සියලු විකල්ප කෙරෙහි අවධානය යොමුකොට අවශ්‍ය ගල්අඟුරු තොග ලබාදීම සඳහා උපරිමව කටයුතු කරන බව සිය නිවේදනය හරහා ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.


( Leader Red Alert )


සබැඳි පුවත් :
2023 කළුවර ජූලියක් ගැන අනතුරු ඇගවීමක්!

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්