මුදල් අච්චු ගැසීම පිලිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව පවසන කරුණු මුළුමනින්ම අසත්‍ය බව

'පිවිතුරු හෙළ උරුමයේ' නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල පවසයි.  

ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, අද (දෙසැ 6 ) දින පැවති මාධ්‍ය හමුවකදීය.

ගම්මන්පිල මන්ත්‍රීවරයා එහිදී මෙසේ සඳහන් කළේය.


''අපි කතා කලේ සෘජුවම මහ බැංකුව යටතේ පාලනය වන මුදල් අච්චු ගැසීම ගැන''

'' ලක්ෂ්මන්, කබ්රාල්,  නන්දලාල් කියන මහ බැංකු අධිපති ත්‍රිත්වයෙන් වැඩිපුරම මුදල් අච්චු ගහලා තිබෙන්නේ ඊට පෙර අධිපතිවරුන් මුදල් අච්චු ගැසීම පිලිබඳ කර්කශ විවේචන ඉදිරිපත් කළ නන්දලාල් අධිපතිතුමා කියන එක නොවැම්බර් 17දා මම පාර්ලිමේන්තුවේ දී හෙලි කලා. අද වන විට ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් අතර මේ පිලිබඳ විවාදයක් ඇති වෙලා තිබෙනවා.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ ලක්ෂ්මන් කබ්රාල් යුග වල දී වඩා නන්දලාල් යුගයේ දී සංචිත මුදල් අඩු වෙලා තිබෙනවා කියා. මුදල් රාජ්‍ය ඇමතිතුමා ඒ හා සමාන ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේත් කලා. සේවා නූලට ගිනි තබපු පුද්ගලයා වශයෙන් මේ විවාදයට යලි එකතු වීම මගේ යුතුකමක්.

ඒ කතාව ඇත්ත. සංචිත මුදල් අඩු වෙලා තිබෙනවා. සංචිත මුදල් කියන්නේ ජනතාව අතේ බැංකු අතේ වගේම මහ බැංකුවේ තැන්පතු විධියට තිබෙන සමස්ත මුදල් ප්‍රවාහය කියලා අපි ආර්ථික විද්‍යාවට ඉගෙන ගෙන තිබෙනවා.  එම්1 එම්2 එම්2බී යනාදි වශයෙන් සංචිත මුදල් ගණන් හදන විවිධ ක්‍රම තිබෙනවා.  සංචිත මුදල් අඩු වීමට මහ බැංකුව දායක වෙන්න පුළුවන්.  පොලී අනුපාතය වැඩි කරලා මහ බැංකුවේ පවත්වා ගෙන යා යුතු තැන්පතු අනුපාතය වැඩි කරලා ණය ප්‍රසාරණය පාලනය කරන්න මහ බැංකුවට යම් දායකත්වයක් දක්වන්න පුළුවන්.  

නමුත් සංචිත මුදල් කියන එක මහ බැංකුවේ පාලනය යටතේ තිබෙන එකක් නොවේ. ආර්ථිකයේ ක්‍රියාකාරකම් මත තීරණය වන දෙයක්. අපි කතා කලේ සෘජුවම මහ බැංකුව යටතේ පාලනය වන මුදල් අච්චු ගැසීම ගැනයි. නැතිනම් නව මුදල් නෝට්ටු මුදල් ප්‍රවාහයට නිකුත් කිරීම ගැනයි.  

මුදල් අච්චු ගැසීම උද්ධමනයට බලපාන්නේ කොහොමද කියන එක සමහරුන්ට ප්‍රශ්නයක්. මහ බැංකුව මුදල් නෝට්ටු අච්චු ගහලා සේප්පු තුල තබාගෙන ඉන්න තුරු උද්ධමනයට බලපෑමක් නෑ.  ආණ්ඩුව ණය ගන්නේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා.  මේවා මිල දී ගන්න කවුරුවත් ඉදිරිපත් නොවුනොත් මහ බැංකුව විසින් අර අළුතින් අච්චු ගහපු මුදල් නෝට්ටු භාවිතා කරලා මිල දී ගන්නවා. ඒ හරහා මහ බැංකුවේ සේප්පු වල තිබුණු මුදල් නෝට්ටු මුදල් සංසරණයට එකතු වෙනවා. ජනතාව අතේ ගැවසෙන මුදල් වැඩි වුණාම භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩි වී උද්ධමනය ඉහල යනවා.



අපි නගපු නිශ්චිත චෝදනාව වුණේ ලක්ෂ්මන් කබ්රාල් යුග වලට වඩා නන්දලාල් යුගයේ දී මුදල් අච්චු ගැසීම ඉහල ගොස් ඇති බවයි. සංචිත මුදල් ගැන අප කතා කළේ නැහැ. එක්කෝ එහෙම කලා. එහෙම නොකර බෑ. එදා මගේ විවේචනය වැරදියි කියා උත්තර දෙන්න ඕනෑ. නැතිනම් මගේ යුගයේ මුදල් අච්චු ගැසීම වැඩියි කියන එක වැරදියි කියලා සංඛ්‍යාලේඛන සහිතව ඔප්පු කරන්න ඕනෑ. ඒ වෙනුවට මුදල් අච්චු ගැසීම ගැන ප්‍රශ්න කරාම සංචිත මුදල් ගැන උත්තර දීම කොහෙද යන්නේ - මල්ලේ පොල් උත්තර දීම ප්‍රශ්නයෙන් පලා යෑමක්.





මෙවර අයවැයෙන් රුපියල් ට්‍රිලියන පහකින් ණය කන්ද වැඩි කරන්න යෝජනා කරලා !

වැටුප් ගෙවීම, සහනාධාර ගෙවීම, ණය ගෙවීම වගේ අත්‍යාවශ්‍ය දේවල් සඳහා ආණ්ඩුවේ ආදායම ප්‍රමාණවත් නැති නම් මුදල් අච්චු ගහලා හරි මේ වියදම් පියවා ගන්න ආණ්ඩුවටත් මහා බැංකුවටත් සිද්ධ වෙනවා. නමුත් මෙවර අයවැයෙන් රුපියල් ට්‍රිලියන පහකින් ණය කන්ද වැඩි කරන්න යෝජනා කරලා තිබෙනවා. පහ පුංචි වුණාට ට්‍රිලියනයට බිංදු 12ක්.  මේ දක්වා ගත්ත සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 25යි.  ඒක 2023 දී විතරක් 20%කින් ඉහල නංවන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.  මොනවා කරන්න ද? අළුතින් ආයතන 11ක් හදන්න. මේ අනවශ්‍ය වියදම් කපා හැරීම මහ බැංකුවේ වගකීමක් නොවේද ? එහෙම නැතිනම් ආණ්ඩුව ඉල්ලන ඉල්ලන ප්‍රමාණයට සල්ලි අච්චු ගහලා ලබාදීමද මහ බැංකුවේ වගකීම.

ආණ්ඩුවේ ආර්ථික උපදේශකයා මහ බැංකුවේ මුදල් මණ්ඩලයි. මුදල් නීති පනතේ 114 වගන්තියේ ඉතා පැහැදිලිවම කියා තිබෙනවා  මුදල් මණ්ඩලයේ උපදෙස් නොලබා කිසිම ණයක් ලබා ගන්න බෑ කියලා. ඒ උපදෙස් ලබාදීමේ වගකීම මහ බැංකුව දිගින් දිගටම පැහැරහරිනවා කියන චෝදනාවයි අප එල්ල කරන්නේ. ඒ චෝදනාවට පිළිතුරු නොදී කොහෙද යන්නෙ යැව්වහම මල්ලේ පොල් උත්තර දෙන්න එපා කියලා අපි මහ බැංකු අධිපතිතුමා ගෙනුත් අනෙකුත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.


මහ බැංකුවේ ලෙඩා මලත් බඩ සුද්දයි ක්‍රමය


ඒ වගේම උද්ධමනය පාලනය කිරීම සඳහා 30% කටත් වඩා වැඩි ප්‍රතිශතයක් දක්වා පොලි අනුපාත වැඩි කර තිබෙනවා. පොලී අනුපාත ඉහළ දැමීමෙන් ණය ප්‍රසාරණය නතර වෙනවා. ඒ නිසා භාණ්ඩ වලට ඇති ඉල්ලුම අඩු වෙනවා. උද්ධමනය පාලනය කරන්න පුළුවන් වෙනවා. මේවා න්‍යයන්. දැන් මේකෙන් උද්ධමනය පාලනය කලත් 30% පොලියට අරගෙන ව්‍යාපාරයක් කරනවා නම් ඒ කරන්න පුලුවන් මත්කුඩු ව්‍යාපාරය විතරයි. මොකද 30% ක පොලියට අරගෙන ලාභයක් ලබන්න ඇත්නම් ඊට වඩා වැඩි ලාභ අනුපාතයක් ඒ ව්‍යාපාරයට තියෙන්න ඕනෑ.  එහෙම ව්‍යාපාරයකට තියෙන්නේ මත්කුඩු ව්‍යාපාරය පමණයි.

 

ව්‍යාපාර සියල්ලම මින් බිඳවැටෙනවා. කුඩා කර්මාන්ත වැසි ගිහිල්ලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට රස්සා නැතිව යනවා මේ ඉහළ පොළිය ව්‍යාපාරික අංශයට දරාගන්න බැරි හන්දා. ඒ නිසා මහ බැංකුව කල යුත්තේ ලෙඩා මලත් බඩ සුද්දයි කියලා ආර්ථිකය කඩාවැටෙන ආකාරයෙන් උද්ධමනය පාලනය කිරීම නොවේ. පොලී අනුපාතය ඉහල දැමීම වෙනුවට මුදල් අච්චු ගැසීම පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කිරීමට කටයුතු කළහොත් ව්‍යාපාරික ක්ෂේත්‍රයටද හානියක් නොකර උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට හැකි වෙනවා කියලා අප පෙන්වා දෙන්න කැමතියි.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ  සහ මාධ්‍ය ලේකම් අරවින්ද අතුකෝරල ද සහභාගී විය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්