විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස

ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශවෙත නියෝග ලබාදී තිබේ.

අද (13) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේය.

විශ්වවිද්‍යාල පද්ධතිය රැකගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කළේය.

ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බවත් එවිට බියෙන් හා සැකයෙන් තොරව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරීමට අවකාශය හිමිවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

"මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාව කොළඹ විශ්වවිද්‍යාලය තුළ මරා දැමීමේ සිද්ධියේ පටන් විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ කාමර ඇතුළේ හිරකරලා, ශිෂ්‍යයන් විසින් විවිධ වධහිංසනයට ලක්කිරීම වැනි ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. විශ්වවිද්‍යාල තුළ දී සිසුන් මරා දැමීම පිළිබඳ ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් පවතින තත්ත්වයන් පිළිබඳවත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය යෙදවීම පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් කරලා මේ රටේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ට මෙන්ම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බියෙන් හා සැකෙන් තොරව විශ්වවිද්‍යාලය තුළ ගැවසීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට කියලා ජනාධිපතිතුමා විශේෂයෙන් මහජන ආරක්ෂක ඇමතිතුමාට හා නීතිය භාර සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා." 

 

හිටපු උපකුලපතිට පහරදුන් සිසුන් පිරිසක් රිමාන්ඩ්

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ට සහ ඔහුගේ පුතාට පහර දී ඔවුන්ගේ නිවසට ද පහර දී පහර දී අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විශ්ව විද්‍යාල සිසුන් දසදෙනා (10)  මෙම ලබන 22දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට  මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රිනිත් වීරසේකර අද (13) නියෝග කළේය.

එදින ඔවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

අයුතු ජනරාශිය, පහර දී තුවාල  සිදුකිරීම, ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් රජයේ දේපළ වලට හානි කිරීම යන කරුණු යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා එල්ල ව සිටි සිසුන් 12 අතරින් සිසුන් 6 දෙනෙකු ඊයේ (12) රාත්‍රියේ පොලිසියට වු අතර, සෙසු සිව්දෙනා අද පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්