සුළු වැරදි සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට මවුපියන් හෝ වෙනත් භාරකරුවෙක් යටතේ මාස කිහිපයක් නිවාස අඩස්සියේ තැබීමට අදාළ නීති ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.



එවැනි සැකකරුවන් බන්ධනාගාරය තුළදී විවිධ පුද්ගලයන් ඇසුරු කර දරුණු ගණයේ අපරාධකරුවන් බවට පත්ව සමාජගත වන බවට තොරතුරු අනාවරණය වන බැවින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

 

මීට අදාළ නීති ගෙන ඒමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කරන එවැනි සැකකරුවන් බන්ධනාගාරගත නොකර මාස තුන-හතරක් හෝ ඊට වැඩි කාලයක් මවුපියන් ඇතුළු භාරකරුවෙක් යටතේ නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා නියෝග ලබා දීමට මහෙස්ත්‍රාත්වරුන්ට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

 

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළ නීති ප්‍රතිසංස්කරණ කිරීම සඳහා නීතිඥ සංගමය ඇතුළු අදාළ විශේෂඥයන් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවැසීය.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ඇතුළු පළමු වතාවට සුළු වැරදිවලට සම්බන්ධ වූවන් මේ ආකාරයට භාරකරුවෙක් යටතේ නිවාස අඩස්සියේ තැබීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

බන්ධනාගාරගත වූවන්ගේ නිර්මාණ කුසලතා එළිදැක්වීම වෙනුවෙන් බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයේ ඊයේ (දෙසැ. 27) පැවති ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


රැඳවියන්ගේ කුසලතා කලඑළි දකියි


image 58dba6f7d1

"ශිල්ප 2022 සිර සරˮ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා කලඑළි දැක්වීමේ කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශණය විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, විජයදාස රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (27) බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදි සිදුවිණි.

බන්ධනාගාරගත රැදවියන් උසස් වටිනා නිර්මාණ ඉදිරිපත් කර තිබීම සතුටුදායක කරුණක්  බවත්, එම තත්වය තවදුරටත් වැඩි දියුණු කරමින් උසස් බන්ධනාගාර පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුර්ණ වෙසකට භාජනය කළ යුතුව ඇති බවත්, ඒ සදහා 1934 වසරින් පසුව ප්‍රථම වරට බන්ධනාගාර රෙගුලාසි වර්තමානයට ගැළපෙන පරිදි සම්මත කර ඇති බවත් එහිදී අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ පැවසීය.

සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් ප්‍රකාශ කළ පමණින් ඵලක් නොමැති බැවින් ඒ අය දෙස මානුෂිකව සලකා බලා කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

සිරකරුවන් බන්ධනාගාරගත වන වරද හෝ දඩුවම කුමක් වුවත් බන්ධනාගාර නිලධාරීන් සිදු කළ යුතු වන්නේ රැදවියන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වන අතර, ඇතැම් අවස්ථාවන්වලදී සුළු අතපසුවීම් සිදු වුව ද වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැකි උපරිම ආකාරයෙන් සිරකරු අයිතීන් සුරක්ෂිත වන පරිදි කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

 

අද වන විට බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගෙන් සීයයට 85 ක්ම මත් ද්‍රව්‍ය සම්බන්ධ රැදවියන් වන අතර එම සංඛ්‍යාවෙන් සීයයට 95 ක්ම මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් බවත්, ශ්‍රී ලංකාව තුළ මත් ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සදහා මත් ද්‍රව්‍ය මහා පරිමාණ ලෙස ගෙන්වන පුද්ගලයින් හා බෙදා හරින්නන් මර්දනය කළ යුතු බවත් ඔහු පැවසුවේය. මෙරට තුළ මත් ද්‍රව්‍ය මේ තරම් දුරට ව්‍යාප්තවීම සදහා ඇතැම් දේශපාලඥයින්ගේ මෙන්ම ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ සහාය හිමිවී ඇති බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

 


 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්