කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක පසුගිය සඳුදා (නොවැ: 25) හඳුනානොගත් පිරිසක් බලහත්කාරයෙන්

රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට දැඩි විරෝධය පළ කර තිබෙන අතර ඒ පිළිබඳව විමසීම සඳහා ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, මෙම සිදුවීම බරපතළ එකක් ලෙස තම රජය සලකන බවය.

"ස්විට්සර්ලන්තය මෙම සිද්ධිය අපගේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයින්ට එරෙහිව සිදුවූ ඉතා බරපතළ මෙන් ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා," යනුවෙන් ස්විට්සර්ලන්තය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් ඉතා ඉක්මනින් නීතිය හමුවට පමුණුවා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග සාකච්ඡා කළ බව ද එම නිවේදනය මගින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.

FAM SiwE 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පොලීසියට නොදන්වා පසුගිය 24 වන දින ස්විට්සර්ලන්තයට විදේශගත වූ අතර ඊට පසු දින ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක බලහත්කාරයෙන් රඳවා තර්ජනය කර තානාපති කාර්යාලයේ තොරතුරු දැන ගැනීමේ උත්සහයක් සිදුවූ බවට වාර්තා විය.

නිශාන්ත සිල්වා අවසරයකින් තොරව රටින් පිටව යාමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනාට පොලීසියේ අවසරයකින් තොරව රටින් බැහැර විය නොහැකි පරිදි ඔවුන්ගේ නාම ලේඛන ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලයට ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කළේය.

නිශාන්ත සිල්වාගේ ක්‍රියාකලාපය භික්ෂූන් වහන්සේ පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කළේය.

"අර දැන් අපේ විමර්ශන කරපු මිනිහා අන්න අද පැනලා ගිහිල්ලා. නිශාන්ත සිල්වා. ජිනීවා ගිහිල්ලා පැනලා," ජනාධිපතිවරයා කියා සිටියේය.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය වසා දමලා !

කෙසේවුවද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක බලහත්කාරයෙන් රඳවාගෙන ප්‍රශ්න කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ස්විට්සර්ලන්ත තානාපති නිලධාරිනියගේ පැමිණිල්ල ගැන සිදුවන පරීක්ෂණ ගැන දැන ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇමතීමට ගත් උත්සහය අසාර්ථක විය. ඊයේ දින සිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය වසා දමා ඇති බවට ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

(උපුටා ගැනීම - බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්