දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික්ක රැසකට භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු පවතින බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් පවසති.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ගැටලුවකින් තොරව පිළිගෙන තිබුණේ හෝමාගම සහ සීතාවක යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පමණක් බව කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මාපා බණ්ඩාර සඳහන් කළේය.

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා පත්‍ර භාරගැනීම අවසන් වීමෙන් පසු ඊට විරෝධතා දැක්වීම සඳහා පැය 1.30 ක කාලයක් ඊයේ ලබාදී තිබුණි.

කෙසේවෙතත් ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමේ නාමයෝජනා පිළිගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් නිවේදනය කළේය.

නව ලංකා නිදහස් පක්ෂය කොළඹ මහනගර සභාවට සහ මොරටුව මහනගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප විය.

 

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කළ දේශපාලන පක්ෂ කිහිපයක් ඊයේ නාමයෝජනා පත්‍ර භාරදී නොතිබිණ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහනගර සභාවට, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට සහ කොළොන්නාව නගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබුණ ද නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ නැත.

 

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩුවෙල මහනගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබුණත් නාමයෝජනා ඉදිරිපත් නොකළ බවද කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කළේය.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ දෙකක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර නිදහස් ජනතා පෙරමුණ තණමල්විල ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝපේ පොද්දල සහ අක්මීමන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වී තිබුණි.

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය සභාවට ස්වාධීනව තරග කිරීම සඳහා පුද්ගලයෙකු සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ තිබුණ ද එහි නීතිඥවරයෙකුගේ හෝ සාමදාන විනිශ්චය කරුවෙකුගේ අත්සන හා නිල මුද්‍රාව නොතීබීම නිසා එයද ප්‍රතික්ෂේප වී තිබුණි.

 

පළාත්පාලන මැතිවරණය සඳහා මහනුවර, රත්නපුර හා කළුතර දිස්ත්‍රීක්ක වලට පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයකින් හා ස්වාධින කණ්ඩායම් කිහිපයකින් ලබාදී තිබු නාමයෝජනා අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තාවේ.

 

ගම්පහ හතක් ප්‍රතික්ෂේප වේ


පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 198 ක් අතුරින් නාම යෝජනා පත්‍ර 7 ක් ප්‍රතික්‍ෂේප වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සමන් දර්ශන පාඩිකෝරාල පවසයි.

මීගමුව මහ නගර සභාව සදහා අභිනව නිවහල් පෙරමුණ, බියගම ප්‍රාදේශීය සභාවට ජන සෙත පෙරමුණ සහ මිනුවන්ගොඩ නගර සභාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර සහ වත්තල - මාබෝලේ නගර සභාව, බියගම ප්‍රාදේශීය සභාව සඳහා සහ දොම්පෙ ප්‍රාදේශීය සභාව සදහා නාම යෝජනා පත්‍ර දෙකක් වශයෙන් ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර මෙලෙස ප්‍රතික්ෂේප වූ බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීයා ප්‍රකාශයට පත් කරනු ලැබීය.

දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සදහා පිළිගත් දේශපාලන පක්ෂවලින් නාම යෝජනා පත්‍ර 159 ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 39 ඉදිරිපත්ව ඇති අතර ඉන් නාම යෝජනා පත්‍ර 7 ක් මෙලෙස ප්‍රතික්‍ෂේප වූ බවද තේරීම් බාර නිලධාරීවරයා දැනුම් දෙනු ලැබීය.


කළුතර 13ක් ප්‍රතික්ෂේපයි


කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා අයදුම්පත් 13 ක් ප්‍රතික්ෂේපවූ බව කළුතර දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර පැවසිය.

ප්‍රධාන පක්ෂ 10 ක සහ ස්වාධීන කණ්ඩායම් 3 ක නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වී ඇත.

පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 167 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඉන් 142 ක් නාමයෝජනා භාරදි ඇතැයි ඔහු පැවසීය.

ඒ අනුව පළාත් පාලන ආයතන 17 සදහා පිලිගත් දේශපාලන පක්ෂවල කණ්ඩායම් 111 ක් සහ ස්වාධීන කණඩායම් 18 ක් වශයෙන් කණ්ඩායම් 129 ක් තරග කිරිම සදහා සුදුසුකම් ලබා ඇතැයිද ඔහු සදහන් කලේය.


මහනුවර එක්සත් ජාතික සංධානය ඇතුළු දෙකක් ප්‍රතික්ෂේපයි


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් විරෝධතා 74ක් එල්ල වීම හේතුවෙන් එහි ඇතැම් විරෝධතා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නකෝන් ට සිදු විය.

එම පළාත් පාලන ආයතන 22 සඳහා කොට්ඨාස 368 කින් සභිකයින් 377 ක් පත් වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයන් 686 දෙනෙකු තරග වැදීමට නියමිතය.

මහනුවර දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 233ක් ඇප තැන්පත් කර තිබෙන අතර ඒ අතරින් කණ්ඩායම් 202ක් නාම යෝජනා භාරදී තිබේ.

ඒ අතරින් පිළිගත් දේශපාලන පක්ෂ දෙකක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති අතර මැදදුම්බර ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කළ නාම යෝජනාව සහ ගඟවටකෝරලේ ප්‍රාදේශීය සභාව සඳහා දිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නාම යෝජනාව එසේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22 ක් සඳහා ඡන්දදායකයන් 1168697 (එකොළොස් ලක්ෂ හැට අටදාස් හයසිය අනු හතක්) ක් ඡන්දය භාවිතා කිරීමට නියමිත මහනුවර දිස්ත්‍රික්කයේ මහ නගර සභා 01ක් නගර සභා 04 ක් සහ ප්‍රාදේශීය ප්‍රාදේශීය සභා 17ක් සඳහා එම ඡන්ද භාවිතා කිරීමට නියමිතය.


රත්නපුරේ හයක් ප්‍රතික්ෂේප වේ


රත්නපුර දිස්ත්‍රික්කයේ මහ නගර සභාවක්, නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා දාහතරක් ඇතුලු පළාත් පාලන අයතන දාහතක් සඳහා ඉදිරිපත්වු නාමයෝජනා පත්‍ර අතරින් 134ක් පිළිගත් බව හයක් පමණක් ප්‍රතික්ෂේප වූ බවත් රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වසන්ත ගුණරත්න පැවැසීය.

රත්නපුර නව නගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී නාම යෝජනා බාර ගැනීම සිදුවිය. පිළිගත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් 148ක් ඇප තැන්පත් කර තිබූ බව ද තේරීම්භාර නිලධාරීවරයා පැවසුවේය.

එහෙත් නාමයෝජනා බාර දී තිබුණේ පිළිගත් දේශපාලන පක්‍ෂ 134ක් සහ ස්වාධීන කණ්ඩායම් 06ක් පමණි.

ඒ අනුව ඉදිරිපත්වු නාමයෝජනා 140න් පිළිගත් දේශපාලන පක්‍ෂ පහක සහ එක් ස්වාධින කණ්ඩායමක නාමයෝජනා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රතික්‍ෂේප වී තිබූ බව ද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පැවසුවේය.


හම්බන්තොට පක්ෂ දෙකක නම් ප්‍රතික්ෂේප වේ


හම්බන්තොට දිස්ත්‍රික්කයට පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂෙප වූ බව දිස්ත්‍රික් තෙරීම්භාර නිළධාරී එච්.පී සුමණසේකර කියයි.

ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය සභාවට ජනසෙත පෙරමුණ දුන් නාම යෝජනා පත්‍රය හා කටුවන ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ තිබූ ස්වාධීන කණ්ඩයමක නාම යෝජනා මෙලෙස ප්‍රතික්ෂේප වි ඇති බවද හෙතෙම සඳහන් කලේය.

පිළිගත් දෙශපාලන පක්ෂ 71 ක් සහ ස්වාධින කණ්ඩායම් 14 ක් සමඟ කණ්ඩායම් 85 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා මැතිවරණයට එක්වීමට සුදුසු කම් ලබා ඇත.


JW

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්