ප්‍රවීණ නාට්‍යවේදී, ආචාර්ය කේ.බී. හේරත් මහතා අද (29) අභාවප්‍රාප්ත විය.



හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඔහු මියයන විට 81 හැවිරිදි වියෙහි පසුවිය.

කේ.බී. හේරත් මහතා, විශිෂ්ඨ වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිර පිටපත් රචකයකු, මෙන්ම වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකි. 1979 වසරේදී ‘සුදුකරල්’ වේදිකා නාට්‍යය රචනා කරමින් ක්‍ෂේත්‍රයට පිවිසි ඔහු ටෙලිනාට්‍ය පිටපත් 500ක් පමණ සහ ඒකාංගික නාට්‍ය පිටපත් 200ක් පමණ රචනා කර ඇත.

ඔහු විසින් රචිත ‘මායාදේවී’, ‘නාග ගුරුළා’, ‘දෝන කතිරිනා’, ‘දෙවැනි මහින්ද’, ‘කළුකුමාරි’, ‘වාසුදේව’, ‘යසෝදරා’ හා ‘ජගන්මා’ යන නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළවලදී හොඳම නාට්‍ය රචනය, අධ්‍යක්‍ෂණය ආදී අංශ යටතේ සම්මාන හිමිකර ගත්තේය.

‘දෝන ඉසෙබෙලා නොහොත් ගජමන් නෝනා’, ‘සක්විත්තෝ’, ‘ඉසිවර අසපුව’, ‘ඉති අතු’, ‘ගිරි දෙරණ’, සඳගිරි පව්ව’, ‘මිහිමඩල ගිනිවදී’, ‘සුවඳ පත්ම’, ‘දෙනුවර මැණිකේ’, ‘දියවඩන මළුව’, ‘ටිකිරි නිලමේ’, ‘සසර සෙවණැලි’ ඔහු විසින් රචනා කළ ටෙලි නාට්‍ය අතුරින් කිහිපයකි.

එමෙන්ම ‘ඉංගම්මාරුව’ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව ඇතුළු ඒකාංගික ටෙලි නාට්‍ය ඔහු රචනා කළේය.

වසන්ත ඔබේසේකරයන්ගේ ‘දොරකඩ මාරාව’ චිත්‍රපටයේ පිටපත රචනා කිරීමට ද සහාය වී ඇති කේ.බී හේරත් මහතා ‘සුදු සළු’, ‘අපි මැරෙන්නෙ නෑ’ සිනමා පටයන් ද රචනා කළේය. ඔහු තමා රචිත පිටපත් ගණනාවක් කෘතීන් ලෙස ද පළකළ අතර එම නාට්‍ය පිටපත් වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි වී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ගම්මානයේ ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කේ.බී හේරත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

ඔහු විසින් කලා ක්‍ෂේත්‍රයට ඉටු කළ අනුපමේය මෙහෙවර අගයමින් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මගින් ඔහු වෙත ආචාර්ය උපාධියක් ද පිරිනැමීය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

(lankadeepa.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්