පෙබරවාරි 15 දින තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භය කර යුතුව ඇතත්,

මේ දක්වාම එකම ඡන්ද පත්‍රිකාවක් හෝ මුද්‍රණය කර නැතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදු නොකරන්නේ නම් තමන් අධිකරණයට පැමිණිලි කරන බවට මැතිවරණ කොමිසමේ නිලධාරීයෙකු විසින් රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට අවධාරණය කර තිබෙන බව ඉහත ආරංචිමාර්ග පවසයි.

මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය සමඟ පසුගිය සිකුරාදා පැවැති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් බහින්බස්වීමක් ද සිදුව ඇතැයි පැවසේ.



මැතිවරණයට අදාළ මෙතෙක් සිදු කළ මුද්‍රණ කටයුතු සඳහා වන වියදම් මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදී නොමැත. මැතිවරණ කොමිසම පවසා ඇත්තේ ඡන්දය පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී ඇති බැවින් මුද්‍රණ කටයුතු සිදු කර ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කළ යුතු බවයි.



 මේ අතර මැතිවරණ කොමිසම දිසාපතිවරුන්ට හා දේශපාලඥයින්ට පවසා ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කළ බවයි. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට කඩදාසි තොග වෙන් කර, පරිගණක නිර්මාණ (ආර්ට් වර්ක්) සිදු කර ඇති නමුත් මේ දක්වා කිසිදු ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කර නොමැත.

ඡන්දය ආරම්භ කිරීමෙන් පසුව ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදීම මෙතෙක් පැවති සම්ප්‍රදායයි.  නමුත් මෙවර මැතිවරන කොමිසම විසින් අපේක්ෂකයින්ගේ ඇප මුදල් සහ භාණ්ඩාගාරය විසින් ලබා දුන් මුදලින් කොටසක් පමණක් මේවනවිට රජයේ මුද්‍රණාලයට යවා ඇති බව වාර්තාවේ.  

 

රුපියල් මිලියන  40 ක් දීලා ඡන්ද පත්‍රිකා ගහන්න කියලා. හැබැයි මි. 40 න් ගහන්න පුළුවන් දිස්ත්‍රික්ක 10 ක විතරයි.  සිකුරාදා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න ද කියලා අහලා නීතිපති ගෙන් විමසීමක් කර තිබෙනවා. එයට මුද්‍රණාලයට තවම පිළිතුරක් නෑ. හෙට උදේ නීතිපති ගෙන් අහලා තමයි මුද්‍රණය පටන් ගන්නේ '' රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති ක්‍රියා කාරිකයකු පැවසිය. 


ණය කොන්දේසි මත මැතිවරණ කටයුතු සිදු කිරීම සඳහා එකඟත්වය ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් විසින් කැඳවා ඇති නමුත් ඔවුන් සියළු දෙනා ම මැතිවරණ කොමිසමට පැමිණීම පවා ප්‍රතිකේෂ්ප කර ඇතැයි වාර්තා වේ.

ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් තැපැල් ඡන්දය පෙබරවාරි 22, 23, 24 දිනවල සැලසුම්කළ ආකාරයට පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත්තේ මෙවැනි පසුබිමකය.


මැතිවරණයට ප්‍රමාණවත් කඩදාසි හා තීන්ත !

පළාත් පාලන මැතිවරණයට අදාල මුද්‍රණ කටයුතු වලට අවශ්‍ය කඩදාසි හා තීන්ත රජයේ මුද්‍රණාලය සතුව නොමැති බවට ඇතැම් මාධ්‍යවල පලවන වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමක දී රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ එම පුවත්වල කිසිඳු සත්‍යයක් නොමැති බවයි.

ආරක්‍ෂිත දිය සලකුණු සහිත කඩදාසි පාවිච්චි කරමින් ඡන්ද පත්‍රීකා මුද්‍රණය කරනු ලබන්නේ ජනාධිපතිවරණයක දී හා මහ මැතිවරණයක දී පමණක් බව පැවසු එම නිලධාරියා, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ මුද්‍රණ කටයුතු සඳහා යොදා ගනු ලබන්නේ 80gsm සාමාන්‍ය සුදු කඩදාසි බවත්, එම කඩදාසි හා තීන්ත ඕනෑවටත් වඩා රජයේ මුද්‍රණාලය සතුව පවතින බවත් කියා සිටියේය.  

මහ මැතිවරණයකට හා ජනාධිපතිවරණයකට වුව ප්‍රමාණවත් ආරක්‍ෂිත දිය සලකුණු සහිත කඩදාසි හා තීන්ත රජයේ මුද්‍රණාලය සතුව පවතින බව කියා සිටි එම නිලධාරියා වැඩි දුරටත් පැවසුයේ, එම තත්ත්වය තුළ  පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා කඩදාසි හා තීන්ත වහාම මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්