එම අවස්ථාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසුයේ, අප හට මේ අවස්ථාවේ දී කළ හැක්කේ අපේ දැනුමත්, පළපුරුද්දත්, අත්දැකීමුත් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත සදහා යෙදවීමට ඇති සුදානම රජයට මතක් කර දීමට කැමැති බවයි.
මෙම සාකච්ඡාවට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල පැවසුවේ මේ අවස්ථාවේදී රට තුළ ඇති වූ ව්‍යසනයෙන් දිවි අහිමි වූ සියලුදෙනාගේ ම පවුල්වල සාමාජිකයින් වෙත පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගේ ඇතුළු සිය පක්ෂයේ සියලු ම මහජන නියෝජිතයින්ගේ ශෝකය පල කර සිටින බවයි.
එමෙන් ම අද මුළු රට ම මළ ගෙයක් බවට පත්වෙලා තිබෙන බවත්, ඉතිහාසයේ අන් කවරදාකවත් සිදුනොවූ ආකාරයේ විපතකට රටේ ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති බවත් ඇය සිහිපත් කළා ය.
මතු පළ වන්නේ එම සාකච්ඡාවේ දී පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල කළ සම්පූර්ණ ප්‍රකාශය යි.
කොළඹ මල්පාර රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (30) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන කළ ප්‍රකාශය
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි ගංවතුරවල් 15 වතාවකට පමණ මුහුණ දී ඇත...
'' දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම අඩු වැඩි වශයෙන් මිළ කළ නොහැකි මනුශ්‍ය ජීවිත මහ පොළොවේ මිහිදන් වී තිබෙනවා. ඒ සියල්ලන්ටම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත්, එක්සත් ජාතික පක්ෂයේත් ශෝකය පළ කර සිටිනවා.
මෙවන් ඛේදජනක අවස්ථාවක ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන තත්ත්වය ඉතාමත් ඛේදනීය බව සිහිපත් කිරීමට කැමැත්තෙමි. අප හට මේ අවස්ථාවේ දී කළ හැක්කේ අපේ දැනුමත්, පළපුරුද්දත්, අත්දැකීමුත් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත සදහා යෙදවීමයි. ඒ බව රජයට අප මතක් කර දීමට කැමැත්තෙමු.
විශේෂයෙන් සිය පවුල් පිටින් මිහිදන් වී ඇති මෙම අවස්ථාවේදී එම පවුල් වල ඥාතීන්ටත් එම පවුල්වල හිතවත් සියලු දෙනාටත් අපගේ ශෝකය නැවතත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි ගංවතුරවල් 15 වතාවකට පමණ මුහුණ දී ඇත. එයින් ප්‍රථම ගංවතුර තත්ත්වය සඳහා 1913 වර්ශයේදී මුහුණදුන් අතර අප පාලන කාලයේ එනම් 2017 වර්ෂයේත් මෙවන් අවස්ථාවන් වලට රජයන් මුහුණ දී ඇත.
එම අවස්ථාවන් නිසියාකාරව කළමණාකරණය කරමින් අප ලද අත්දැකීම් විපතට පත් ජනාතවගේ යහපත සදහා යෙදවීම අපගේ යුතුකමක් ලෙස අප කල්පනා කල අතර ඒ පිළිබඳ රජයේ අවධානය යොමු කිරීම වැදගත් බව අපේ හැඟීමයි.
විශේෂයෙන් 2003 වර්ෂයේදී ඇතිවූ ආපධා තත්ත්වයේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තුමාගේ පූර්ණ උපදෙස් මත රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ලෙස මා ආපදා කළමනාකරණ අමාත්‍යංශයත්, ත්‍රිවිද හමුදාව සහ පොලීසියත් හැසිර වූ ආකාරය ද ඉතා සුවිශේෂි අවස්ථාවක් ලෙස සිහිපත් කරන්නෙමි.
එසේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ එනම් 2016, 2017 කාලවකවානුවේ මුළු රටම රක්ෂණය කළා. රටට සිදුවන විපත් වලදී National Insurance Trust Fund (NITF) එකක් හරහා ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීමෙනුයි මේ ක්‍රියාදාමය සිදුකළේ. එමගින් ගංවතුරින්, සුළඟින් හා වෙනත් ආපදාවලින් සිදුවන හානිවලට සහන ලබා දිමට අප රජයට හැකි වුනා. පසුකාලීනව එය නැවතී ගියා. මෙවන් අවස්ථාවක එම රක්ෂණ ක්‍රම වේදය ඉතා වැදගත් බව ද සිහිපත් කරමි.
ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ක් තිබුණු අතර එය 377 දක්වා අප 2018 වර්ෂයේ දී වැඩි කළ අතර වර්තමානයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 ක, ග්‍රාම නිලධාරී වසම් 14,022 ක මහජනයා හට මේ අයහපත් තත්ත්වය බලපා තිබෙන බව අප දනිමු.
මෙවන් අවස්ථාවක හදීසි නීතිය ඉතා වැදගත්...
මෙවන් අවස්ථාවක හදීසි නීතිය ඉතා වැදගත් බව ප්‍රථමයෙන් මතක් කිරීමට කැමැත්තෙමි. උදාහරණයක් ලෙස 1940 දශකයේ පැමිණි සුළි සුළං අවස්ථාවේදී එම පාලන යන්ත්‍රයන් විසින් හදීසි නීතිය පනවා ඇත. සාමාන්‍ය නීතියෙන් කළ නොහැකි දෑ හදීසි නීතිය යටතේ රාජ්‍ය යාන්ත්‍රණයට කළ හැකි බැවින් හදීසි නීතිය හා අත්‍යවශ්‍ය රෙගුලාසි පැනවීම ඉතා වැදගත් බව සිහිපත් කරමි.
විශේෂයෙන් බෝවතැන්න, බ්‍රොඩ්ලෑන්ඩ්ස් වේල්ල, කාසල්රී වේල්ල, ගල්ඔය වේල්ල, ඉගිනිමිටිය වේල්ල, කොත්මලේ වේල්ල, ලක්ෂපාන වේල්ල, ලුණුගම්වෙහෙර වේල්ල, මාදුරුඔය වේල්ල, මස්කෙලිය වේල්ල, මොරගහකන්ද වේල්ල, නෝර්ටන් බ්‍රිජ් වේල්ල, පොල්ගොල්ල වේල්ල, රාජාංගනය වේල්ල, රන්දෙනිගල වේල්ල, රන්ටැඹේ වේල්ල, රත්කිඳ වේල්ල, සමනළවැව වේල්ල, උඩවලවේ වේල්ල, උල්හිටිය වේල්ල, ඉහළ කොත්මලේ වේල්ල, වික්ටෝරියා වේලි වැනි 1977 න් පසු සිදුවූ ඓතිහාසික මහා සංවර්ධන කර්තව්‍යයන් නිසා එම ප්‍රදේශ ගංවතුර තර්ජනයට මුහුණ නොදුන් අතර, ඒවා ඉදි කිරීමට ප්‍රථම මහජනතාවට තිබුණු ගංවතුර අත්දැකීම් වර්තමාන පරම්පරාවට නොමැති වීම නිසා සිදුවන හානිය වැඩි වන බව ද අප සිහිපත් කර ගත යුතුය.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිධූරය දැරු එනම් 2017 වසරේදී, ඇතිවූ ගංවතුර හේතුවෙන් කළුතර, මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල පවුල් 60,000 ට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වූ අතර එම අවස්ථාවේ දී ගත් තීරණ නිසා කෙටි කාලයක් තුළ මහජනතාව යථා තත්වයට පත් කිරීමට අප රජයට හැකියාව ලැබුණි.
ඒ වගේම මේ අවස්ථාවේදී ප්‍රධාන කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
විශේෂයෙන්ම මෙම තත්ත්වය ඇතිවීම පිළිබඳ අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේම විදේශීය වශයෙනුත් ඒ පිළිබඳ කල් වේලා ඇතුව දැනුවත් කර තිබුණා. ඒ අනුව මෙවන් අවස්ථාවක රජය අවධානය යොමුකල යුත්තේ සියලු ආයතන ඒකාබද්ධ කරමින් රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීම පිළිබඳවයි.
උදාහරණයක් ලෙස මහවැලි ජල කළමණාකාරන ඒකකයත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයත් යන ආයතනවල නිවැරදි සම්බන්ධිකරණයක් හරහා වැඩිවන ජලය පාලනය කිරීම සඳහා මෙම ජලාශවල තිබෙන ජලය කල් වේලා ඇතුව පාලනය කරගැනීමට රජය වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුව තිබුණා. එසේ කළාදැයි නොකළාදැයි මෙම අවස්ථාවේ අප දන්නේ නැහැ. කෙසේ හෝ එම ජල පාලනය ඉතා වැදගත් බව ද මෙම අවස්ථාවේදී මතක් කරන්නට කැමැත්තෙමි.
දැන් ජලය බැසයාමත් සමග ශ්‍රී ලාංකික මහජනතාව මුහුණ දෙන බරපතල ගැටලු කිහිපයක් සඳහා වහාම පියවර ගත යුතු යැයි රජයට යෝජනා කරමි.
1. ග්‍රාම නිලධාරී වසම් 8000 ක පමණ සිදුවී ඇති මේ විනාශය වෙනුවෙන් ලබාදෙන සහන පිළිබඳ නිවේදනය කිරීම.
2. විනාශ වී ඇති සියලු කර්මාන්ත සඳහා සහන ලබා දෙන මාර්ග තීරණය කර ප්‍රකාශ කිරීම.
3. විවිධ ව්‍යාපාරිකයන්ගේ බැංකු ණය සහ ලීසිං මාස 06 ක සහන කාලයකට පොලී රහිතව ලබාදීම.
4. අඩක් හානි වූ නිවාස වලට ගෙවන වන්දි මුදල් තීරණය කිරීම.
5. පූර්ණ හානි වූ නිවාසවලට ලබාදෙන වන්දිවල උපරිමය සහ අවමය පැහැදිළිව තීරණය කිරීම.
6. ජලයෙන් හානි වී ඇති සහ බොල් වී ඇති නිවාසවල බිත්ති බැලූ බැල්මට හානියක් නැතත් යතා තත්වයට පත් කිරීම සඳහා නිවසේ වර්ග අඩි ගණන අනුව යම් මුදලක් ලබාදීම.
7. කෘෂිකාර්මික සමස්ත භෝග සඳහා එනම් ගොවිජනතාව ආරක්ෂා කිරීමේ සහන ලබා දීම.
8. නිවාස සාදා ගැනීම සඳහා වාරි මාර්ග සහ අනෙකුත් අංශ ඒකාබද්ධකොට වැලි පිරී ඇති ස්ථානවලින් බලපත්‍රවලින් තොර අදාල වැලි ලබා ගැනීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරයාට හා ග්‍රාම නිලධාරීන්ට පැවරීම.
9. එම අලුත්වැඩියා කිරීම් මහජනතාව විසින් සිදුකරන විට පොලීසිවලට උසාවියට ඉදිරිපත් කිරීමෙන් මහජනතාව අසීරුතාවට පත්වීම වැළැක්වීම සඳහා වැලි ප්‍රවාහනය ලිහිල් කිරීම.
10. හානි සිදු වී ඇති දිස්ත්‍රික්ක සඳහා විදුලිය කඩිනමින් යතාවත් කිරීම, විනාශ වී ඇති කුඹුරු අස්වැද්දීම සඳහා ක්‍රමවේදයන් සකස් කිරීම සහ පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීම.
11. සියලුම සමෘද්ධිලාභී සහ අස්වැසුම ලබාගන්නා පවුල් සඳහා සහ රජයේ විශ්‍රාමික අය සඳහා ලබා දෙන දීමනාව මාස කිහිපයක් දෙගුණයක් කර ලබා දීම.
12. හානි සිදු වී ඇති නැති ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සඳහා ඇතිවිය හැකි ආහාර හිඟය සහල්, ළූණු, අල, පරිප්පු හා එළවළු ඇතුළු සියලු ද්‍රව්‍යයන් සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සඳහා යෝජනා සකස් කර ගැනීම.
13. සියලුම හානියට පත් රජයේ සේවකයන්ට සහ හානි සිදු වී ඇති ජනතාව වෙනුවෙන් සේවය කරන රාජ්‍ය නිළධාරීන්ට, විශේෂයෙන් ක්ෂේත්‍ර නිළධාරීන් සියලු දෙනාට මෙම කාල සීමාව තුළ පෙර රජයන් විසින් කරන ලද ආකාරයටම ඔවුන්ට විශේෂ දීමනා චක්‍ර ලේඛන වහාම නිකුත් කිරීම.
14. කෙසේ හෝ ශ්‍රී ලංකා ඉතිහාසයේ 1953 ත්, 1958 ත්, 1970 ත්, 1981 ත්, 1983 ත්, 1987 ත්, 1989 ත්, 1990 ත්, 1994 ත්, 1995 ත්, 1998 ත්, 2001 ත්, 2004 ත්, 2005 ත්, 2009 ත්, 2011 ත්, 2018 ත්, 2019 ත්, 2020 ත්, 2021 ත්, 2022 ත් යන සෑම අවස්ථාවකම මහජනතාවට සහන ලබාදීම සඳහා හදිසි නීතිය පනවා ඇති අතර, සුළි සුළං අවස්ථාවලද, ගංවතුර අවස්ථාවලද එම නීතිය භාවිතා කර තිබෙනවා.
15. එමගින් ශ්‍රී ලාංකික මහජනතාවට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන්ටත්, ත්‍රිවිද හමුදාව සහ පොලීසියටත් එම කටයුතු කරගෙන යාමට ඇති බාධා කඩිනමින් ඉවත්වී ඉඩප්‍රස්තාව ලැබෙනවා
16. රජයේ දේශපාලන අධිකාරියේ සභාපතිත්වය, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු එම ප්‍රදේශවල ත්‍රිවිධ හමුදා නිලධාරින්, සියලුම ක්ෂේත්‍ර නිලධාරින් හා සිවිල් පරිපාලනය වඩාත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීම.
එසේම මෙම අවස්ථාවේදී විදේශීය ආධාර ලබා දෙන කණ්ඩායම් වලින් හැකිතාක් තෑගි හෝ මුදල් ආධාර ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
අවසාන වශයෙන්, ජාති, ආගම්, කුල, පක්ෂ අනුව බෙදීම අවසන් නොකළහොත් ශ්‍රී ලංකාවට තවදුරටත් අනාගතයක් නොමැති නිසා අප සියලු දෙනා ආර්ථික, දේශපාලන සමාජ ගැටලු විසඳා ගැනීම උදෙසා එකමුතුව ක්‍රියා කළ යුතු බව මා මේ මොහොතේ සිහිපත් කර සිටිනවා.
අහිංසක අසරන මිනිස්සුන්ට කාගේ පිළිසරණක්ද? - තලතා අතුකෝරාල
ප්‍රථමයෙන් මා මේ අවස්ථාවේදී රට තුළ ඇති වූ ව්‍යසනයෙන් දිවි අහිමි වූ සියලුදෙනාගේම පවුල්වල සාමාජිකයින් වෙත අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇතුළු අප පක්ෂයේ සියලුම මහජන නියෝජිතයින්ගේ ශෝකය පල කර සිටිනවා.
අද මුලු රටම මල ගෙයක් බවට පත්වෙලා තිබෙනවා. ඉතිහාසයේ අන් කවරදාකවත් සිදුනොවූ ආකාරයේ විපතකට තමයි අපේ රටේ ජනතාවට මුහුණදෙන්න සිද්ද වුණේ. මොකද මේක ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම බලපාපු ව්‍යසනයක්. කිසිඳු දිස්ත්‍රික්කයට මේ විපතෙන් බේරෙන්න බැරි වුණා. ඇතැම් දිස්ත්‍රික්කවලට ගංවතුර, ඇතැම් ඒවට නායයෑම්, ඇතැම් දිස්ත්‍රික්කවලට සුළගින් සිදුවූ හානිවීම්.
කොහොම නමුත් මෙවැනි සිදුවීමක් සිදුවීමට නියමිත බව නොවැම්බර් 11 වෙනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා පුරෝකතනය කරනවා. අවසනාවට එතුමාට කරන්න පුලුවන් ඒ දේ කියන එක විතරයි. එතුමාගේ ඒ පුරෝකතනය හරහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. නමුත් රාජ්‍ය යානත්‍රණය ක්‍රියාත්මක වූ බවක් අපට පෙනෙන්නට නැහැ.
මෙවැනි අනාවැකියක් ලද අවස්ථාවේ සිටම රාජ්‍ය යාන්ත්‍රණය ඒකාබද්ධ වී ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. එය එසේ ක්‍රියාත්මක වූවා නම් මේ විපත මීට වඩා බොහෝ සෙයින් අඩු කර ගැනීමට හැකියාව තිබුණා.
රටට මේ තත්ත්වය බලපාන්න පටන් ගන්නේ පසුගිය 27 වෙනිදා සිටයි. මෙය රටට බලපානවත් සමගම රජය විසින් රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරනවා. එම නිවාඩුවත් සමග රාජ්‍ය යාන්ත්‍රණය මුලුමනින්ම අඩපන වුණා. වෙනත් ආණ්ඩු රට කරන සමයේදී සියලු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරලා ජනතා සේවයට මුල් තැන දෙනවා. නමුත් මේ ආණ්ඩුව මුලුමනින්ම ඒ ක්‍රියාපටිපාටිය වෙනස් කළා. එහෙම වුණාම අහිංසක අසරන මිනිස්සුන්ට කාගේ පිළිසරණක්ද? මේ සියලුදේ උනාට පස්සේ තමයි රජය විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන්නේ.
මම රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෙක් නිසා අපිට මේ ගංවතුර ට මුහුණදෙන ආකාරය හොඳට පුරුදුයි. පසුගිය අපි ආණ්ඩු දරණ සමයේදී අපි නම් මෙහෙම දෙයක් ආරංචි වුණ සැනින් ඊට මුහුණ දිය හැකි සියලු අංශ සීරුවෙන් තබනවා. අපිට ස්වභාවික විපත නැවැත්වීමට හැකියාවක් නැති වුණත් ඒ හරහා සිදුවන විපත් බොහෝමයක් අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. කොහොම නමුත් වත්මන් ආණ්ඩුවට එවැනි පෙර සූදානමක් නොතිබුණු බවනම් අපිට හොඳට පේන්න තිබෙනවා.
කොහොම නමුත් වර්තමාන ආණ්ඩුවට මේක හොඳ අවස්ථාවක් රාජ්‍ය යාන්ත්‍රණය නැතිව රටක් ඉදිරියට ගෙනියන්න බැහැ කියන එක තේරුම් ගන්න. මේ රජය බලයට පත් වූ දා සිට රාජ්‍ය යාන්ත්‍රණය මුලුමනින්ම අඩපණ කළාත රජයේ සේවකයින්ගෙන් පලිගන්න පටන් ගත්තා. ඒවායේ විපාක තමයි අද මේ විඳින්න සිදුවෙලා තිබෙන්නේ. අවාසනාවකට ඒවායින් දුක් විඳින්න සිදුවන්නේ අපේ රටේ අහිංසක ජනතාවට. ඒ ගැන අපිට බොහෝම කණගාටුයි.
මේ දේවල් කළමණාකරනය කරන්න ගමේ ඉන්න ග්‍රාමසේවක මහත්මයාගේ ඉඳන් ඉන් ඉහළට ඉන්න රාජ්‍ය සේවකයින්ගේ ශ්‍රමය අවශ්‍ය වෙනවා. නමුත් රජය ඒ සියලුදෙනාවම අද පැත්තකට කරලා තබලා. ගම ගැන ගමේ මිනිස්සු ගැන දන්නේ මේ අය. ඒ අය නැතිව කොහොමද මේ දේවල් කළමණාකරනය කර ගන්නේ. අඩුම තරමේ මේ විපතින් මරණයට පත් වූ අය සහ අතුරුදහන් වූ අයගේ ප්‍රමාණයවත් නිසියාකාරයෙන් ගණනය කිරීමට රජයට නොහැකි වෙලා තිබෙනවා.
කොහොම නමුත් ආණ්ඩුව මේ වෙලාවේ දේශපාලනය කරන්න හොඳ නැහැ. මම දැක්කා ඇතැම් මැති ඇමතිවරු කැමරා උස්සන් අවතැන් වෙලා ඉන්න මිනිස්සු ළඟට ගිහින් ඡායාරූප අරන් සමාජ මාධ්‍යවල පළ කරනවා. ඇත්තටම අපිට කණගාටුයි. වගකිවයුතු නිලධාරීන් මේ වගේ වෙලාවක ක්‍රියාකරන්නේ මෙහෙමද?
අපි කියන්නේ මේ වෙලාවේ දේශපාලනය කරන්න යන්න එපා. පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් රැස් කරන්න. අයවැය විවාදය කල් දමන්න. ඒ වෙනුවට මේ ව්‍යසනය ගැන පාර්ලිමේන්තුවේ විපක්ෂයත් සමග සාකච්ඡා කරලා ජනතාව දුකින් මුදවා ගන්නට අවශ්‍ය ක්‍රියාපටිය සකස් කරන්න.
අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙවැනි අවස්ථා කළමණාකරනය කරලා බොහෝ සෙයින් අත්දැකීම් තිබෙනවා. එතුමාගේ ඒ දැනීම මේ වෙලාවේ ප්‍රයෝජනයට ගන්න. එතුමා ඒ දේවල් කිසිම පැකිලීමකින් තොරව ලබාදෙයි. ඒ ගැන අපිට විශ්වාසයි. එතුමා සෑම අවස්ථාවකම මුල් තැන දුන්නේ මේ රටේ ජනතාවට. මේ අවස්ථාවේදීත් එතුමා ජනතාව වෙනුවෙන් ජනතාවේග සුරක්ෂිතතාවය වෙනුවෙන් මේ අවස්ථාවේදී සහයෝගය ලබාදේවී.
කොහොම නමුත් අපිට කියන්න පුලුවන්. ඒ දේවල් පිළිගන්න එක ආණ්ඩුව සතුයි.''




