පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සිදුකිරීමට නියමිත සියලු මුද්‍රණ කටයුතු දින 30 ක් ඇතුළත අවසන් කිරීමට හැකි බව රජයේ මුද්‍රණාලය පවසයි.


 එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු 'නෙත්' ගුවන්විදුලිය වෙත පවසා සිටියේ, ඒ සඳහා අවශ්‍ය මුදල් ලැබීම ද අනිවාර්යය කරුණක් බවයි.

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුලු සියලු කටයුතු සඳහා රුපියල් මිලියන 533 ක් අවශ්‍ය වෙතත්, අදාළ මුද්‍රණ කටයුතු සිදුකිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් ලබා දී  ඇත්තේ රුපියල් මිලියන 40 ක් පමණකි.

එහෙත් මුද්‍රණාලය විසින් මේවනවිටත් රුපියල් මිලියන 150 කට ආසන්න මුද්‍රණ කටයුතු සිදුකර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.

මේවනවිට හත් ලක්ෂයකට ආසන්න තැපැල් ඡන්ද පත්‍රිකා අතරින් සියයට 75 ක් පමණක් මුද්‍රණය කර ඇති බවත්, ඒ අනුව තවත් රුපියල් මිලියන 20 ක මුදලක් ලබාදෙන්නේ නම් ඉතිරි මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතින බවද 'නෙත් නිව්ස්' වෙත අදහස් දැක්වූ රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් නිසි පරිදි ලබා දෙන්නැයි ඉල්ලා මුදල් අමාත්‍යංශය වෙත යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. අදාළ  මුදල නිසි පරිදි නොලැබෙන්නේ නම්, ලබන 20 වැනිදාට පෙර ජන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාර දිය නොහැකි වනු ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

එළඹෙන අප්‍රේල් මාසයේ 13 සහ 14 යන දින දෙකේදී පමණක් මුද්‍රණාල සේවකයින් නිවාඩු ලබාගෙන දෛනිකව පැය 12 ක සේවා මුරයක් සිදුකරමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු අවසන් කළ හැකි බව ද 'නෙත් නිව්ස්' වෙත අදහස් දැක්වූ රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කියා සිටියේය.

කෙසේවෙතත් මීට පෙර මුද්‍රණය අවසන් කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල ද යළි පරීක්ෂාවට ලක් කළ යුතු අතර ඒ සඳහා ද දින 07 ක කාලයක් ගතවන බව මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දින තුනකට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කිරීමේ දිනය නිශ්චිතව සඳහන් කරන්නේ නම් පමණක් ආරක්ෂාව ලබා දිය හැකි බව, මුද්‍රණාලය යොමු කළ  ලිපියට ප්‍රතිචාර දක්වමින් පොලීසිය සඳහන් කර ඇත.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්