විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මඟහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි.



සිසුන් දෙලක්ෂ හැත්තෑ දහසකට වැඩි පිරිසක් උසස් පෙළ විභාගය පෙනී සිටි අතර, මේ දක්වාම උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ වී නැත. සිසුන් ලක්ෂ 5 කට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයඳුම්කර ඇති නමුත් මෙම අර්බුදය නිසා විභාග පැවැත්වීමට නොහැකි තත්වයක් මතුව ඇතැයි මන්ත්‍රීවරිය කියා සිටියි.

මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන සජබ මන්ත්‍රීවරිය තවදුරටත් මෙසේ පවසයි.  

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් උපයන විට ගෙවීමේ බද්ධ ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම නිසා මාස 3 කට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල වසා දමා තිබු අතර විභාග පැවැත්විම සිදු නොවීය. මේ සියළු සිදුවීම් ලක්ෂ 12 ක් පමණ වන පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට දැඩි පීඩනයක් එල්ලකර ඇති අතර, මෙරට ද්විතීයක අධ්‍යාපනය දැවැන්ත අර්බුදයක් කරා යොමු කරමින් තිබේ.

අද වන විට සා.පෙ. විභාගයට පෙනී සිටින දරුවෙකුට පුද්ගලික විශ්වවිද්‍යාලයකින් අවුරුදු 21 දී උපාධියක් ලබා ගත හැකිය. රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගැනීමේ වයස අවු. 26 කි. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හි ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව වඩා තුන් ගුණයක් පමණ මේ වන විට දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා අනුබද්ධ ආයතනයන් හි ඉගෙනුම ලබයි.  

අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීමේ හැකියාවක් නොමැති සිසුන් බහුතරයක් සා.පෙ., උ.පෙ., උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් හි හිරවී සිටින විට පුද්ගලික විශ්වවිද්‍යාලයන් හි ඉගෙනුම් කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. මෙම ආයතනයන් හි උගන්වනු ලබන්නේ ද, මේ වන විට පිළිතුරු පත්‍ර පරීක්ෂාවට අදාළ ක්‍රියාකාරකම්වලින් ඉවත්ව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්ම කොටසකි.

 

උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා ගුරුවරුන් 12,000 ක් කැමැත්ත පළ කර ඇති අතර ඔවුන්ට එක් උත්තර පත්‍රයක් වෙනුවෙන් රු. 175 ක මුදලක් ද, රු. 2000 ක දෛනික පැමිණීමේ දීමනාවක් ද යෝජනා වී ඇත. මෙම දීමනා ප්‍රමාණවත් නොවේ නම් ඒ පිළිබඳ, අධ්‍යාපන අමාත්‍යාංශය හා ගුරු නියෝජිතයින් පොදු එකඟතාවයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය ය. 

 

1988 – 1994 සමයේ දී මෙරට විශ්වවිද්‍යාලයන්හි විභාග පැවැත්වීම හා ප්‍රතිඑල නිකුත් කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් දැවැන්ත විනාශයක් මෙරට අධ්‍යාපන පද්ධතියට සිදු විය. මාස තුනකට වැඩි කාලයක් දිග් ගැසුණු පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රමාදය, විශ්වවිද්‍යාල දේශන වර්ජනය කිරීම, සා.පෙ. විභාගය සඳහා දින නියම කළ නොහැකිවීම නැවත එවැනිම අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.


ද්විතීය අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීම සාධාරණ ද ?


රටේ බදු ප්‍රතිත්තියට විරෝධය පළ කිරීමට විශ්වවිද්‍යා ආචාර්යවරුන්ට අයිතියක් ඇතත්, තමන්ගේ වෘත්තීය මත පදනම්ව සුවිශේෂ බදු සහන ලබා ගැනීමට රටේ ද්විතීය අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට හැකියාවක් නැත. අනෙක් අතට, රජය මේ සම්බන්ධයෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් මේ දක්වාම සිදු කිරීමට අපොහොසත්වී ඇත. පාසල් අධ්‍යාපන පද්ධතිය තුල 9000 කට වැඩි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින අතර සමහර පාසල් ගුරුවරුන් නොමැතිකම නිසා සම්පූර්ණයෙන්ම වැසී යන තත්වයකට පත්වෙමින් ඇත.

රජයේ පාසල්, විභාගය හා විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින මෙම අර්බුදය රටේ ද්විතීයික අධ්‍යාපනය මුළුමනින්ම අවුල් කිරීමටත්, අත මිට ඇති පිරිස පුද්ගලික විශ්වවිද්‍යාල වෙතයොමු කිරීමටත් හේතු වී ඇත. රජය, වෘත්තීය සමිති සහ බලපෑම් කණ්ඩායම් මෙම තත්වය වෙනස් කර ලක්ෂ 12 කට වැඩි සා.පෙ., උසස් පෙල හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මැදිහත්විය යුතුව ඇත.'' මන්ත්‍රීවරිය කියා සිටියි.


සරසවි ආචාර්යවරුන් අද සිට යළි සේවයට : පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් තවදුරටත් ඉවත්වී සිටින බව කියයි


මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ, අද (17)සිට නැවතත් විශ්වවිද්‍යාල දේශන ඇතුළු අධ්‍යයන කටයුතුවලට සහභාගී වන බවයි.  

කෙසේ වෙතත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් තවදුරටත් ඉවත්වී සිටින බව එම සම්මේලනය පවසයි.
 
ආසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටලු කිහිපයකට විරෝධය පල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය මාර්තු 9 වැනිදා සිට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

මේ අතර, 2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු මේ වනවිට ප්‍රමාදවී ඇත්තේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ය.
 
 
පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන සතිය වනවිට ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.



 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්