කොළඹ ගෝල්ෆේස් භුමිය භාවිත කිරීමට අවසර ලබා නොදෙන අංග සම්බන්ධයෙන් රජය විසින් තීරණයක් ගෙන තිබේ. ඒ, පෙරේදා (අප්‍රේල් 18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී යි.


ඒ අනුව අප්‍රේල් මස 20 වෙනිදා සිට ආගමික කටයුතුවලට හැර, ගෝල්ෆේස් පිටියට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගෝල්ෆේස් පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇතැ යි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දැක්වෙයි.

ඒ අනුව ගෝල්ෆේස් පිටියේ සංවර්ධන කටයුතු සඳහා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක මුදලක් වැයකර ඇතිබවත්, පසුගිය අරගල කාලසීමාවේ දී සිදුවී ඇති දේපළ හානි අලුත්වැඩියා කිරීම සදහා පමණක් රුපියල් මිලියන 6.6ක මුදලක් වැයකර ඇතිබවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් ය.


1588588529


මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම ගෝල්ෆේස් භුමිය පවත්වාගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස්වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භුමිය නිතර හානිවන බැවින් මෙම තීරණය ගෙන ඇති බව රජය පවසයි.



ගෝල්ෆේස් භුමියේ උද්ඝෝෂණ ස්ථානය සහ මහජන අරගලය



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහජනතාවට සිය විරෝධතා දැක්වීම සඳහා මීට පෙර ගෝල්ෆේස් භුමියේ කොටසක් වෙන්කරදීමට පියවර ගත්තේ ය.

2021 වසරේ සිට රට තුළ ඇතිවූ ආර්ථික ගැටලු හේතුවෙන් මහජනතාව විසින් එවකට බලයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධානය කිරීමේ දී ද ගෝල්ෆේස් භුමිය ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්විය.

ඒ "ගෝඨා ගෝ ගම" අරගල භූමිය 2022 වසරේ අප්‍රේල් මස 09 වෙනිදා ගෝල්ෆේස් පිටියේ දී ආරම්භ කිරීමත් සමග යි.

මෙලෙස ආරම්භ වූ මහජන විරෝධතාව අවසන් වූයේ එවක ජනාධිපතිධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ ජුලි මස 15 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළායෑමත් සමග යි.

වත්මන් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කලේ ගෝල්ෆේස් පිටිය ලබාදී ඇත්තේ ජනතාවට බවත්, ආණ්ඩුවට එවැනි සීමාවන් පැනවීමක් සිදුකළ නොහැකිබවත් ය.


ee852ba0 ddd9 11ed 8df1 d74cbf1089d7


ගෝල්ෆේස් පිටිය සම්බන්ධ වූ මහජන විරෝධතා


මෙරට ඉතිහාසය පුරාවට සිදුවූ ඇතැම් සුවිශේෂී මහජන විරෝධතාවන් සඳහා ගෝල්ෆේස් පිටිය පාදක වූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ ය.

"ලංකාවේ ඉතිහාසයේ 1956 සිට ගත්තම විශාල දේශපාලන අරගල ගණනාවක් තිබිලා තියෙන්නේ ගෝල්ෆේස් එකේ. භාෂා ප්‍රශ්නය ඇතුළු බොහෝ වාමාංශික විරෝධතාවන් සඳහා ජනතාව රැස්වුණේ ගෝල්ෆේස් පිටියට."

"වර්තමාන රජය මේ වගේ තීරණ ගන්න ප්‍රධාන හේතුව තමයි ඔවුන්ට ජනවරමක් නොමැතිකම. මේ රජයට කිසිම ජනවරමක් නැහැ," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වා සිටියේය.


ගෝල්ෆේස් භුමියේ අයිතිය ඇත්තේ කාට ද?


මේ වන විට ගෝල්ෆේස් භුමියේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරියට අයත් අනුබද්ධිත සමාගමක් විසිනි.

ඒ, වරාය කළමනාකරණ හා උපදේශණ සේවා සමාගම බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුරාජ් කතුරුසිංහ බීබීසී සිංහල සේවයට පවසා සිටියේය.

"2013 වසරේ සිටයි ගෝල්ෆේස් පිටියේ නඩත්තු කටයුතු වරාය සංවර්ධන අධිකාරියට භාර වන්නේ. ඒ අනුව වරාය කළමනාකරණ හා උපදේශණ සේවා සමාගම විසින් මේ දක්වා එහි නඩත්තු කටයුතු පවත්වාගෙන යනු ලබනවා.

"අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අනුව අප්‍රේල් මාසයේ 20 වෙනිදා ඉදලා කිසිම දේශපාලන කටයුතු, සංගීත සංදර්ශන හෝ සැණකෙලි වැනි දේවල්වලට වෙන් නොකරන්න අපි කටයුතු කරනවා," කතුරුසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.



ගෝල්ෆේස් භුමිය පිලිබඳව ගත් නව තීරණය පිළිබඳව රජයේ ප්‍රකාශය



ගෝල්ෆේස් පිටිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඊයේ (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කෙරිණ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ අමාත්‍ය මණ්ඩලය විසින් මෙවැනි තීරණයක් ගෙන තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලය ලබන 22 වෙනිදා ගෝල්ෆේස් පිටියේ දී පැවැත්වීමට නියමිත "වසත් සිරිය" අවුරුදු උත්සවය පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව යි.

"අවුරුදු උත්සව පැවැත්වීම ගැන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ජාවක් පැවැත්වුයේ නැහැ. ගාලු මුවදොර පිටිය සුවිශේෂී ආගමික කරුණු හැර අනෙක් දේ සඳහා ලබා නොදෙන බවයි කැබිනට් තීරණ බවට පත්වුණේ," කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.
01 Galle


'ගෝල්ෆේස් එකේ කානිවල් තිබ්බ නම් හොදයි'


ගෝල්ෆේස් පිටිය ගැන අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යහපත්වුවත් ජනතාවට වින්දනයක් ලබන්න හැකි අවස්ථා උදාකර දීමට ද අවධානය යොමු කළ යුතු බව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු කසුන් කරුණාරත්න බීබීසී සිංහල වෙත පවසා සිටියේ ය.

"කොළඹ නගරය ඇතුළේ ජනතාවට නිදහසේ කාලය ගතකරන්න පුළුවන් තැන් තියෙන්නේ සීමිත ස්ථාන කිහිපයක් විතරයි. ඒකෙන් ගෝල්ෆේස් කියන්නේ ඉදිරියෙන්ම තියෙන තැනක්."

"කොළඹ නගරයේ තිබෙන නාගරීකරණයත් එක්ක බලද්දී ගෝල්ෆේස් පිටිය ජනතාවට මානසික නිදහසක් ගෙන දෙන තැනක් කියන්න පුළුවන්."

"දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන පවත්වන්න ඉඩ දෙන්නේ නැති එක ගැටලුවක් නැතිවුණත්, ගෝල්ෆේස් එකේ කානිවල් වගේ දෙයක් තියන්න ඉඩ දෙනව නම් වටිනවා. මොකද මිනිස්සු එන්නේ විනෝදයක් ලබන්න යි."

"ඒ නිසා මම හිතන්නේ ගෝල්ෆේස් එකේ දැන් තියනවට වඩා මිනිස්සුන්ට යෙදෙන්න පුළුවන් ක්‍රියාකාරකම් ටිකක් වැඩි කළා නම් හොදයි," කසුන් කරුණාරත්න පැවසුවේ ය.

(BBC සිංහල සේවය)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්