ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් පස් වසරකට ඉහත මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ දස දරු දෙමළ  මාතාවක් උතුරු, නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම අනුස්මරණය කර තිබේ.



පළාත්  බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය, වව්නියාව,මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම සහ මඩකලපුවේ දී අප්‍රේල් 19 වැනිදා මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර දක්වා පූපති මෑණියන් වෙනුවෙන් අනුස්මරණ පැවැති බවයි.

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු  2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී පූපති මෑණියන් අනුස්මරණය කිරීම වෙනුවෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණ අප්‍රේල් 16 වැනිදා ආරම්භ කළ උපහාර පෙළපාලි රථය ද අප්‍රේල් 19 වැනිදා මඩකලපුව වෙත ලගා වී තිබේ.

එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් උපවාසයක නිරතව සිටියදී පුපති කනපතිපිල්ලෙයි මාතාව මිය ගිය ස්ථානයේ උදෑසන සංකේතාත්මක උපවාසයක් දියත් කළ ඇයගේ පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මඩකලපුවේ නාවලඩි ග්‍රාමයේ ඉදිකර තිබෙන පූපති මෑණියන්ගේ ස්මාරකය අසලදී හවස් යාමයේ ඇය අනුස්මරණය කර මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර පිදීමට  කටයුතු කර තිබේ.

තම ආදරණීයයන් සොයා දින 2250ක් තිස්සේ ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයක යෙදී සිටින  බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබු වින්දිතයන්ගේ වව්නියා දිස්ත්‍රික් සංගමයේ ඥාතීන් සිය අරගල භුමිය තුලදීම පූපති මෑණියන් ට උපහාර දැක්වු අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්, ආචාර්ය මණ්ඩලය සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය විශ්වවිද්‍යාලය තුලදී උපහාර පුදු කර තිබේ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මන්නාරම් දිස්ත්‍රික් කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්ගේ ප්‍රධානත්වයෙන් පුපති මාතාවට උපහාර  දැක්වීම හා අනුස්මරණය කිරීම සිදු කළ අතර කිලිනොච්චියේ අනුස්මරණය දෙමළ ජාතික තරුණ මණ්ඩලයේ සංවිධානත්වයෙන් කරච්චි  සමුපකාර ශාලාවේදීත්, මුලතිව් දිස්ත්‍රික් අනුස්මරණය උඩයාර්කට්ටු හංදියේදීත් පැවැති බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 

“අන්නෙයි පූපති” (පූපති අම්මා) නාමයෙන් ගෞරවාදරයෙන් අමතනු ලබන දස දරු මාතාවක් වන කනපතිපිල්ලේ පූපති, 1988 මාර්තු 19 වැනිදා මාරාන්තික උපවාසයක් ඇරඹුවා ය. ඒ එදා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ශ්‍රී ලංකාව තුළ ගෙන යන ලද මානව හිමිකම් උල්ලංඝණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව, එම හමුදාව මේ බිමෙන් පිටමං කරන ලෙස ඉල්ලා සිටිමිනි. එදින සිට දින 32 ක් පුරා නිරාහාරව සිටිමින් තම ඉල්ලීම වෙනුවෙන් ඇය ගෙන ගිය උපවාසය නිමා වුයේ ජීවිතයට සමු දෙමිනි. ඇය අත අවි නොවීය. ඉල්ලා සිටියේ නිදහස පමණි.

 

අවිහිංසාවාදී ලෙස තම ජනතාව වෙනුවෙන් ගෙනගිය සටනේ යුක්ති සහගත බවත්, පොදු යහපත පතා ඇය පෙන්නුම් කළ උතුම් පරිත්‍යාගයත් වෙනුවෙන් ජනතා උපහාරය වූයේ පොදු මාතෘත්වයක් ඇයට පුද කරමින් කරමින් “පූපති අම්මා” ලෙස අමතනු ලැබීම යි.


මියගිය අය සිහිකිරීම හා ඔවුන් වෙනුවෙන් යාඥා කිරීම, ඔවුන්ගේ මරණ අනුස්මරණයේදී දී ඔවුන්ට වැඳුම් පිඳුම් කිරීම හින්දු සම්ප්‍රදායයේ ඉතා වැදගත් චාරිත්‍රයක් ලෙස සැලකේ.

පසුගිය කාලය පුරාම අඛණ්ඩව වසරක් පාසා පූපති මෑණියන් වෙනුවෙන් ගරුබුහුමන් දැක්වීමට ඇයගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිස් කටයුතු කළ නමුත් 2022 වසරේදී ඇය අනුස්මරණය කිරීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී.අරියනේන්ද්‍රන් සහ ජී. ශ්‍රී නේෂන් උත්සාහ කළ අවස්ථාවේදී නිල ඇදුමින්  සිටි පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනා වළක්වා තිබුනේ අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගයක් ඉදිරිපත් කරමිනි.

පූපති මෑණියන් අනුස්මරණය කළහොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි බවට අනතුරු අගවමින් කාත්තන්කුඩි පොලිසිය විසින් 2021 වසරේදීත් ඇගේ පවුලේ ඥාතීන් වළක්වා තිබුනි
 
 
Batticaloa 01
poopathi 1
poopathi 2
poopathi 3
poopathi 4
poopathi 5
poopathi 6
poopathi 7
poopthi 8
poopathi 9
poopathi 10
 




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්