ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව තිබෙන රජයේ කොටස් ජූනි මස 15 වන දා තෙක් විකීණීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා

දුන්නේය.

ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ ලේකම් එච්. කේ. හෙට්ටිආරච්චි යන අය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ  කැඳවනු ලැබූ අවස්ථාවේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව ගුණතිලක මෙම ප්‍රතිඥාව ලබා දුන්නේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීම සඳහා වගඋත්තරකරුවන් අනුගමනය කරන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව යි.

කෙසේ වෙතත්, මීළඟ නඩු දිනය තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමක් නොකරන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ ය.

44d32b00 ed80 11ed 8546 99fdd1ce3f31
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 15 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේ ය.



ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමය ගොනු කළ පෙත්සම



මේ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකිණීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමය විසින් ඉදිරිපත් කෙරුණු තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙම පෙත්සම ඊයේ මුර්දු ප්‍රනාන්දු, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජීව ගුණතිලක අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කරමින් මෙම පෙත්සම වෘත්තිය සමිතියක් විසින් ගොනුකර තිබෙන බව පෙන්වා දුන්නේ ය.

වෘත්තීය සමිතියක් නෛතික පුද්ගලයකු වශයෙන් පිළිගත නොහැකි බවත්, එබැවින් අදාළ පෙත්සම පවත්වාගෙනයාමට නොහැකිබවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වා සිටියේ ය.

ඒ අනුව අදාළ පෙත්සම මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීය.

ඊට ප්‍රතිචාර වශයෙන් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙය මහජන සුභසාධන නඩුකරයක් වශයෙන් ඉදිරිපත්කර ඇතැ යි සඳහන් කළේ ය.

ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට බාධාවක් මතු නොවන බව නීතිඥවරයා ප්‍රකාශ කළේ ය.

අනතුරුව මේ පිළිබඳ නියෝගය ජූනි මස පස්වන දා ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරු මඬුල්ල විසින් නිවේදනය කෙරිණි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළුව සාමාජිකයන් පිරිසක් නම් කර තිබේ.

 පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර වගඋත්තරකරුවන් විසින් මහජන අදහස් විමසීම, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම, සේවක අදහස් විමසීම සහ කොටස්කරුවන්ගෙන් අදහස් විමසීම සිදුකර නොමැති බව යි. එබැවින් මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය පාරදෘෂ්‍යභාවයෙන් තොරබවත්, එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිබවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.


මේ හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ග්‍රාහකයින් මිලියන 10.2කට වැඩි පිරිසකට අගතියක් සිදු වනබව ද පෙත්සම්වලින් පෙන්වා දී තිබේ.

වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාකලාපය තුළින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින්, කොටස්කරුවන් සහ ග්‍රාහකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ද තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුව තිබෙන කොටස් පැවරීම පිළිබඳ තීරණයට අදාළ ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්වලින් වැඩි දුරටත් ඉල්ලා තිබේ.


(BBC සිංහල සේවය)
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්