උතුරු නැගෙනහිර දෙමළ ජනතා නියෝජිතයන් බලය බෙදීම සම්බන්ධයෙන්

ජනාධිපතිවරයා සමග මේ වසරේ පැවැත්වු දෙවැනි සාකච්ඡා වටයත් කිසිදු සාධනීය ප්‍රතිපලයක් නොමැතිවම නිමා වී තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස කළ ඉල්ලීමද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

"අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස බල කලා. නමුත් එය වහාම කළ නොහැකි බවත් ඊට එකඟ නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා," පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ එම්.ඒ සුමන්තිරන් පවසයි.

ජනාධිපතිවරයා සමග පැවැති බහු පාක්ෂික සාකච්ඡා මැයි 15 වැනි සදුදා නිමාවීමෙන් පසු අගනගරයේ මාධ්‍යවේදීන් සමග මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට තමන් කළ දෙවැනි යෝජනාවටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකග නොවු බවයි.



"දෙවනුව පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද තනි පුද්ගල යෝජනාවට සහාය දෙන ලෙසත් අපි ඉල්ලා සිටියා. නමුත් ඒක පාර්ලිමේන්තුවේදීම සොයා බැලිය යුතුයි කියලා කිව්වා. ඒ නිසා ඔහු  අපේ ඉල්ලීම්වලට එකඟ වුණේ නැහැ."



දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් පවසන්නේ පළාත් සභා අතුරු පාලන ක්‍රමය සහ පළාත් සභා මැතිවරණ නීති සංශෝධන සම්බන්ධයෙන් තමන් එම සාකච්ඡාවේදී  ජනාධිපතිවරයාට යෝජනා කළ බවයි.

"ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී මම පළාත් සභා අන්තර් කාලීන පාලන ක්‍රමය සහ පළාත් සභා මැතිවරණ නීති සංශෝධන සම්බන්ධයෙන් ලියවිල්ලක් සකස් කර කියෙව්වා. අන්තර් කාලීන පාලනය කියන්නේ නීති විරෝධී එකක් නොවේ. ඒ වෙනුවට එය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ රාමුවකි."



තමන් ඉදිරිපත් කළ එම යෝජනාවට එකග නොවු එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා නව ව්‍යවස්ථාවක් සකස් කර පළාත් සභා මැතිවරණයක් පවත්වා පූර්ණ බලතල ලබාදිය යුතු බව එහිදී  අවධාරණය කළේයැයි පැවසු සී.වී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ, නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කාලය ගතවන නිසාත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර විවිධ ක්‍රියා පටිපාටි කළ යුතු නිසාත් ජනාධිපතිතුමා තමාගේ අදහස පිළිගත් බවයි.


අවුරුද්දකට වැඩි කාලයක් රාජ්‍ය පාලනය කළ ජනාධිපතිවරයා දෙමළ ජනතාවට කඩිනම් විසඳුම් දෙන බවට සහතික වෙමින් හාර මාසයක් තුල පැවැත්වූ සාකච්ඡා වට දෙකකින් අනතුරුව පවසා ඇත්තේ  තවත් සති තුනකින් ඒ සඳහා යෝජනා ගෙන ඒමට කමිටුවක් පත් කරන බවයි.

පළාත් සභා අතුරු පාලනය සහ පරිපාලන ක්‍රියා පටිපාටි පිළිබඳව සී.වී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ලේඛනයේ දක්වා තිබෙන අදහස්වලට සිය එකගතාවය නොමැති බව පවසන එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා අගනගරයේ මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේ, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගත් තීරණයටද එකඟ නොමැති බවයි.

දශක ගණනාවක් තිස්සේ දෙමළ ජනයා විදින පීඩාවලින් නිදහස් වීම සඳහා වත්මන් ජනාධිපති සමග පැවැත්වු දෙවැනි සාකච්ඡා වටයේ පළමු දිනය නිමාවී තිබුනේද දෙමළ ජනතා නියෝජිතයන් සෑහීමකට පත්වීමෙන් තොරවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර දෙමළ ජනතා නියෝජිතයන් සමග සංහිදියාවට අදාල ප්‍රශ්න සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවෙන් පසු අගනගරයේ මාධ්‍යවේදීන් අමතමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මැයි 11 වැනි බ්‍රහස්පතින්දා  සදහන් කළේ "ගොඩක් දේවල් අපි කතා කරා. ඉඩම් සම්බන්ධයෙන්, සිරකරුවන් සම්බන්ධයෙන්, ඒ වගේම සත්‍ය සහ සංහිඳියාව ගැන කමිටුවක් පත්කරගැනීම සම්බන්ධයෙන්, PTA ගැන, මේ වගේ ගොඩක් දේවල් අපි කතා කරා. මේ විෂයන් ඔක්කොම තුළ අපේ පැත්ත තෘප්තිමත් නෑ. " යනුවෙනි.

2023 පෙබරවාරි මස 4 වැනිදාට පළමු ජාතික ප්‍රශ්නය විසඳන බවට සහතික වෙමින් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය සමග පැවත් වු සාකච්ඡා හතරක් මෙන්ම මේ වසරේ ජනවාරි 26 වැනිදා පැවැත්වු බහු පාක්ෂික සමුළුව ද නිමා ව දුටුවේ කිසිදු ප්‍රගතියකින් තොරවය.

බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ දෙමළ දේශපාලන ඉල්ලීම වී ඇත්තේ ඒකාබද්ධ උතුරු නැගෙනහිරට පෙඩරල් පන්නයේ ස්වයං පාලනයකි.



දෙමළ ජනතාව අපේක්ෂා කරන ආකාරයෙන් බලය විමධ්‍යගතගත කිරීම ‘රට බෙදීමක්’ ලෙස හෙලා දකින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඡන්දයෙන් බලයට පත්ව සිටින ජනාධිපතිවරයා පවතින දුර්වල පළාත් සභා රාමුව ඉක්මවා යන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් පලවී ඇත්තේ බලවත් සැකයකි. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්