"මගේ මහත්තයා රජයේ සේවකයෙක්. එයා කුඩුකාරයෙක් නෙවෙයි. එයා වැරදිකාරයෙක් නොවෙයි

කියලා අපි දන්නවා. ඒ නිසයි අපි එයාව නිර්දෝෂීයි කියලා පෙන්වන්න මේ තරම් දුර ආවේ," බීබීසී සිංහල සමග අදහස් දැක්වූයේ 2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාරගේ බිරිඳ යි.

2023 ජුනි 06 මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී මේ පිළිබඳව කැඳවූ නඩුවේ දී මෙම මරණය පහරදීම නිසා සිදු වූ මරණයක් බවට ප්‍රකාශ වූ අතර, ඒ අනුව එයට වගකිවයුතු සියලුදෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

සමන්ත මියගියේ කොහොමද?

සමන්ත ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ 41 හැවිරිදි අයෙකු වූ අතර, ජනවාරි 10 දින සවස තුනට පමණ පොලිස් මත්‍ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු නාරාහේන්පිට දී අත්අඩංගුවට ගෙන තිබේ.

සිය සැමියාගේ කාර්යාලයයෙන් 'ඔහුව සුදුවෑන් රථයකින් රැගෙන ගියේයැ'යි පණිවුඩයක් ලැබුණු බව ශිරානි දිල්රුක්ෂිකා වන සමන්තගේ බිරිඳ පැවසුවා ය.

එදින රාත්‍රී 7.30ට පමණ සමන්ත එම නිලධාරීන් විසින් ජාතික රෝහලට ඇතුළත් කිරීමට උත්සහගෙන තිබූ අතර, ඊට පෙර බාහිර රෝගී අංශය තුළ ඔහු මියගොස් සිට තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ මරණ පරීක්ෂණ නියෝගයේ දැක්වෙන්නේ, ඔහුගේ ශරීරය පුරාම තිබූ තුවාල විශාල ප්‍රමාණයක් මහේස්ත්‍රාත්වරිය විසින් නිරීක්ෂණය කර ඇති බවයි.

මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපරාධ ස්ථානය ලෙස හඳුනාගත් නෙළුම් කුළුණ ඉදිරිපිට ඩී. ආර්. විජේවර්ධන පොලිස් භට නිවාස සංකීර්ණයේ අඩක් නිමකර අත්හැර දැමූ පාලු ගොඩනැගිල්ලක් පෙන්වූ බවත්, එහි තිබූ බිඳී ගිය වීදුරු බෝතලයක සහ ලී මිටක SOCO නිලධාරීන් සැක කටයුතු භාණ්ඩ ලෙස නම් කර අංක යොදා තිබුණ ද ඒවායේ කිසිඳු ඇඟිලි සලකුණක් නොතිබූබවත්, එම ස්ථානයේ පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි ලේ පැල්ලම් නොතිබී ඇති බවත් එම වාර්තාවේ සඳහන් ය.

"සත්‍ය අපරාධ ස්ථානය නිරීක්ෂණයට මරණ පරීක්ෂක සහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ මා වෙත අවස්ථාව ලැබුණේදැ යි සැකයක් ජනිත වූ" බවත්, පසුව විමසීමේ දී මරණකරු අත්අඩංගුවට ගත් නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව සැකසූ බී වාර්තාව ගොනු කරන විට අනාවරණය කරගෙන තිබූ අපරාධ ස්ථානය එය බවට තමාට දැනගන්නට ලැබුණු බවත් මහේස්ත්‍රාත්වරියගේ වාර්තාවේ දැක් වේ.

ඔහු අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් තිබී ඇත. එම මුදල් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මුදල්යැ යි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැක කර තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරමින් ය.

මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ජනවාරි 11 වන දින සිදුකර ඇති පශ්චාත් මරණ පරීක්ෂණයේ දැක්වෙන්නේ ඔහුගේ සිරුරේ තුවාල, තැලීම් සහ හානි 49ක් ඇති බවයි. මරණයට හේතු ලෙස සඳහන් ව ඇත්තේ මොට ආයුධවලින් පහරදීමෙන් ඇති වූ හිස පිටුපස තුවාලය ඇතුළු අනෙකුත් හානි ය.

කෙසේ වෙතත්, ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් භාවිත කර සිට නොමැති බව ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව ම දැක්වේ.


"ඔහු නිර්දෝෂීයි"

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ කැඳවුම්කරු, නීතිඥ සේනක පෙරේරා පවසන්නේ මෙම පුද්ගලයා නිර්දෝෂී අයෙකු බව යි.

"ඕනෑම කෙනෙකුව අත්අඩංගුවට ගත්තාට පසුව ඔහු ගැන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයක් සහිතව යි පරීක්ෂණ පවත්වන්න ඕනෑ. පොලිසිය මුල් අවස්ථාවේ දී ම මේ පුද්ගලයා වැරදිකාරයෙක් කියන නිගමනය මත තමයි වැඩ කර තිබෙන්නේ," ඔහු පවසයි.

"ඒ වගේ ම වරදකරුවෙක් වූ කෙනෙක්ට වුණත් දඬුවම් නියම කරන්නේ උසාවියෙන් පමණයි. පොලිසියට අයිතියක් නෑ දඬුවම් නියම කරන්න."

අත්අඩංගුවට පත් වන අවස්ථාවේ සමන්ත පැළඳ සිටි රන් බ්‍රේස්ලටය සහ ඔහු අත තිබූ මුදල් එම නිලධාරීන් විසින් බලහත්කාරීව ගෙන ඇතැ යි සේනක පවසයි.

"මේ මුදල් ඔහු එදා උදේ බැංකුවෙන් ගත්ත ඒවා. ඒ සම්බන්ධයෙන් බැංකු වාර්තා තිබෙනවා. ඔහු අතේ පැළඳ සිටි බ්‍රේස්ලට් එක පවා මේ නිලධාරීන් අරගෙන."


අත්අඩංගුවට, රිමාන්ඩ් භාරයට පත්වන්නන්ට පහරදීමේ ප්‍රවණතාවයක්

පසුගිය කාලය පුරාවට ම පොලිස් අත්අඩංගුවට පත්වන සහ රිමාන්ඩ් භාරයේ සිටින්නන්ට නිලධාරීන් විසින් පහර දී තිබූ අවස්ථා ගණනාවක් එක දිගට වාර්තා වූ බව සේනක පවසයි.

"මේ තරුණයා ව අත්අඩංගුවට අරගෙන පැය කීපයක් ඇතුළත තමයි තුවාල 49ක් ඇතිවෙනකන් මැරෙනතුරු පහර දීලා තියෙන්නෙ. මෑතක දි අපි දැක්කා රාජකුමාරි කියන කාන්තාවට පහර දී ඇය මියගොස් තිබුණා. ඒ වගේම මහර, වැලිකඩ බන්ධනාගාරවල සිදුවීම් සහ මෑතකාලයේ අත්අඩංගුවට ගත් බහුතරකට පොලිසියෙන් පහර කෑමට සිදුවෙලා තිබුණා," ඔහු පැහැදිලි කළේ ය.

මෙම සිදුවීම් එක් එක් හුදෙකලා සිදුවීම් නොව, අත්අඩංගුවට හෝ රිමාන්ඩ් භාරයට පත්වන්නන්ට ඕනෑම දෙයක් කිරීමේ අධිකාරී බලයක් තමන්ට ඇතැ යි මෙම නිලධාරීන් තුළ ගොඩනැගී ඇති මානසිකත්වය මෙවැනි ප්‍රවණතාවයක් ඇතිකර ඇති බව ඔහු පවසයි.

"ලෝකයේ පිළිගැනීමක් තිබෙනවා එක ම වරදට දඬුවම් දෙකක් දෙන්නෙ නෑ කියලා. නඩු අහලා උසාවියෙන් තමයි දඬුවමක් නියම කරන්නේ. වැරදිකාරයෙක් වුණත් මෙහෙම පහරකෑමකට ලක්වෙන්න වුණාම පොලිසියෙන් ගුටිකන එකටත්, උසාවියෙන් නියම කරන දඬුවමත් දෙක ම විඳින්න වෙන තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ," සේනක පැවසුවේ ය.


වගඋත්තරකරුවන් අත්අඩංගුවට

පසුගිය ජුනි 06 දින මෙම අපරාධයට වගකිවයුතු සියලුදෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි. ඉන් දින 03කට පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 7 දෙනෙකු අද අත්අඩංගුවට ගනු ලැබීය.

vbxfgf

බොරු චෝදනා සැබෑ අපරාධකරුවන් සඟවයි - පොලිසිය ගැන සැකයක් ඇති කරයි

නීතිඥ සේනක පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයාට එල්ල වී ඇති ආකාරයේ ව්‍යාජ මත්ද්‍රව්‍ය චෝදනා පසුගිය කාලයේ ම විවිධ පුද්ගලයන්ට එල්ල කළ බව යි. එය සැබෑ අපරාධකරුවන්ට සැඟවීමට අවස්ථාවක් ලබා දෙන බව ඔහු පවසයි.

"මේ වගේ දේවල් සිදු වුණා ම ජනතාවට පොලිසිය ගැන අවිශ්වාසයක් ඇතිවෙනවා. ඊට පස්සෙ ජනතාව පොලිසියට යන්නෙ නෑ. එයින් සැබෑ අපරාධකරුවන් සැඟවෙනවා වගේ ම, ඒ ඒ පුද්ගලයන් පොලිසියට නොගිහින් ප්‍රශ්න විසඳන්න ගිහින් තවත් අපරාධ සිදුවෙන්න පුළුවන්," එම ක්‍රියාවලියේ ඇති බරපතලභාවය පිළිබඳ ව ඔහු පැහැදිලි කළේ ය.

"ඒ නිසා මේ වගේ අපරාධවලට එරෙහි ව හඬ නගලා ඒවාට යුක්තිය ඉටු කිරීම ඉතා වැදගත්."


යුක්තිය අපේක්ෂා කරන බිරිඳ

"මගේ සැමියා ව පොලිසිය පහරදීලා ඝාතනය වුණා කියලා උසාවියේ දි කිව්වා. මම හිතනවා ඔහුට යුක්තිය ඉටු කරගන්න අපට හැකිවෙයි කියලා," ඇය පවසයි.

"ඒ වගේ ම මේ අපරාධයට විරුද්ධ ව අනාගතයේ දී වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා."

(BBC සිංහල සේවය )

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්