මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා පෙත්සම්කාර චමින්ද කුලරත්න ද අධිකරණයට පැමිණ සිටියේය.
රහසිගත දිවුරුම් ප්‍රකාශයක් දෙන්න සූදනමක්
මෙහිදී වැඩ තහනම් කළ නියෝජ්‍ය මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, නීත්‍යානුකූලව පෙත්සම්කරුගේ විනය බලධාරියා වන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය බවයි.
එසේ තිබියදී, කථානායකවරයා විසින් පෙත්සම්කරු පිළිබඳව ඇති කර ගන්නා ලද ද්වේශසහගතභාවය මත වැටුප් රහිතව මෙසේ වැඩ තහනම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එ මෙන්ම අවශ්‍ය නම් රහසිගත දිවුරුම් ප්‍රකාශයක් පවා ලබා දීමට පෙත්සම්කරු සූදානම් බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
වගඋත්තරකාර පාර්ශ්වයේ ප්‍රතිචාරය
වගඋත්තරකාර කථානායකවරයා ඇතුළු පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් චායා ශ්‍රී නම්මුනි කරුණු දක්වමින් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවත්, අවශ්‍ය වුවහොත් සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට කෙටි කාලයක් ලබාදෙන ලෙසත්ය.
නීතිඥ නියෝජනය සහ අධිකරණ තීරණය
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් චායා ශ්‍රී නම්මුනි පෙනී සිටියාය.
හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ද, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ද පෙනී සිටි අතර, සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල සහ ගයන්ත කරුණාතිලක වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්ධන පෙනී සිටියේය.
මීට අමතරව සුසිල් ප්‍රේමජයන්ත වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් පෙනී සිටි අතර පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටියේ නීතිපතිවරයා ය.
මෙහිදී නීතිපතිවරයා හැර අනෙකුත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සියලු දෙනාම ප්‍රකාශ කර සිටියේ පෙත්සම්කරුවන් විසින් ඉල්ලා ඇති සහන සම්බන්ධයෙන් ඔවුන්ගේ කිසිදු විරෝධතාවක් නොමැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මාර්තු මස 18 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.
| lankalokaya




