මෙරට ආයෝජන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා රජය ජපානයට අද

(ජූලි 29 වැනිදා) ආරාධනා කර සිටියේය.

මෙරට සංචාරයක නිරත ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා සමග කොළඹදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි මේ ආරාධනාව කළේය.

විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති සාකච්ඡා වලින් පසු ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.

ජපාන විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ වසර 04කට ආසන්න කාලයකට පසුවය.

ඉන්දියාව, දකුණු අප්‍රිකාව, උගන්ඩාව, ඉතියෝපියාව සහ මාලදිවයින ඇතුළු රටවල් කිහිපයක රාජ්‍යතාන්ත්‍රික සංචාරයක කොටසක් ලෙස ජපාන විදේශ අමාත්‍යවරයා ඊයේ (ජූලි 28 වැනිදා) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

lanka japanමෙරට සංචාරයක නිරත ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා, විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි සමග කොළඹදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්


නව අයෝජන ව්‍යාපෘතිවලටත් ආරාධනා

විදේශ අමාත්‍ය අලි සබ්රි මෙහිදී කියා සිටියේ, “දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ජපන් ආයෝජන ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා සහ මම ජපානයට ආරාධනා කළා. ඒවගේම බලශක්තිය, වරාය, මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම්, අනන්‍ය ආයෝජන කලාප මෙන්ම හරිත හා ඩිජිටල් ආර්ථිකය වැනි ක්ෂේත්‍ර කිහිපයකට ජපානයේ නව ආයෝජන සඳහාත් ආරාධනා කළා.”

බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබා ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ අනාගත වර්ධන අපේක්ෂාවන් සෑම අංශයකින්ම ජපාන-ශ්‍රී ලංකා සබඳතාව වැඩිදියුණු කිරීමට වැඩි අවස්ථාවන් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවද ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් ප්‍රගතියක් ඇති කර ගැනීම සඳහා තම අපේක්ෂාවන් ඉදිරිපත් කළ අතර සියලුම ණය දෙන රටවල් සම්බන්ධ වන විනිවිද පෙනෙන සහ සංසන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණයක වැදගත්කම තමා අවධාරණය කළ බව ජපාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු කඩිනම් කිරීමට අවධානය

මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 2 කට ආසන්න සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය 2020 දී ශ්‍රී ලංකාව විසින් ඒකපාර්ශ්විකව අත්හිටුවනු ලැබීය.

මේ හේතුවෙන් ජපානය හා ශ්‍රී ලංකාව අතර සබඳතා යම් පසුගාමී ස්වරූපයක් පෙන්නුම් කළත් , ශ්‍රී ලංකාවට සහය ලබා දෙන ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයෙන් ඉල්ලා සිටීමෙන් පසු මෑත කාලීනව දෙරට අතර සබඳතා යළි වැඩිදියුණු විය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට මේවන විට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ශ්‍රී ලංකාවට ජපානයේ සහය ඉදිරියටත්

ශ්‍රී ලංකාව පවතින අර්බුදකාරී තත්ත්වය හැකි ඉක්මනින් ජයගෙන ඉදිරි ආර්ථික සංවර්ධන මාවතට යළි පැමිණෙනු ඇති බවත් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාකරනු ඇතැයි අපෙක්ෂා කරන බවත් ජපාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකාවට ජපානයේ සහය ලැබී ඇති අතර ඉදිරියටත් එම සහයෝගය ලැබෙනු ඇතැයි ඔහු පැවසීය.

IMF ගිවිසුමට අනුව ක්‍රියා කරමින් ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ විනිවිදභාවය ඇති කිරීමට දරන ප්‍රයත්නයන්ට ජපාන විදේශ අමාත්‍යවරයා ප්‍රසාදය පළ කර සිටියේය.



ජනපති සමගත් සාකච්ඡා

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද (29) කොළඹදී පැවැත්විණ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේ දී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

HE JFMමෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමග කළ සාකච්ඡාව පිළිබඳව ද කරුණු පැහැදිළි කළේය.

එසේම ජපාන - ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. 

 

විපක්ෂ නායක සහ ජපන් විදේශීය ඇමති අතර හමුවක්

kzdklf

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපන් විදේශීය අමාත්‍ය හයෂින් යෝෂිමාසා අතර හමුවක් අද (29) පස්වරුවේ කොළඹ දී පැවැත්වුණි.

මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව  අතර අතීතයේ පටන් පවතින මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිලිබඳව දෙපලගේ අවධානය යොමුවූ අතර (JAICA) සහ (JBIC) ණය ආධාර ක්‍රම යටතේ ශ්‍රී ලංකා ජනරජයටත් එහි මහජනතාවටත් ජපානය විසින් හෘදයාංගමව ලබා දී ඇති උදව් උපකාර පිළිබඳවත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික රූපවාහිනී සංස්ථාව ඇතුළු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ජාතික සම්පත් පිලිබදවත් විපක්ෂනායක වරයා  ජපන් රජයට මෙන්ම එහි පුරවැසියන්ටත් සිය කෘතඤතාවය පිරිනමන ලදී.



එසේම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) පටු දේශපාලන තීරණ මගින් නවතාලීම නිසා සිදුවූ මතභේදාත්මක තත්ත්වය පිලිබදව කණගාටුව පළකර සිටි විපක්ෂනායකවරයා සිය රජයක් යටතේ එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට ජපානය සමඟ අත්වැල් බැඳගැනීමට බලාසිටින බව අවධාරණය කළේය.



රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම සදහා දිය හැකි සියලුම සහය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලූ විපක්ෂනායකවරයා, එම ආධාර වල බාවිතය හා ඵලදායීතාවය අධීක්ෂණය කිරීමට දායක වන මෙන්ද ජපන් රජයෙන් ඉල්ලා සිටියේය.


(මුලාශ්‍රය - BBC සිංහල සේවය)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්