රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට‌ පත් කර ඇති බැවින් සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට

අධ්‍යාපනය ලබාගැනීමට කඩිනමින් මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරිමට රජය තීරණය කර ඇති බවත් ඒ අනුව, රුපියල් ලක්ෂ 7000 ක පමණ මුදලක් වියදම් කර ගොඩනැගිලි ඇතුලු භෞතික සම්පත් සංවර්ධනයට තීරණය කර ඇති බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් පැවසුවාය.

ඇය එබව සඳහන් කර සිටියේ, ඊයේ (19) රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධන අවශ්‍යතාවයන් සහ පහසුකම් සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

සබරගමුව පළාතේ 1877 වසරේ ආරම්භ කරන ලද රත්නපුර ශික්ෂණ රෝහල ඇදන් 1400 කින් යුක්තය. එම රෝහලෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය වන 1,171,000 කට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ  ජනගහනය වන 887,000 ක ජනතාවකට ‌සෞඛ්‍ය සේවා සපයනු ලබයි.

 

මිලියන 300 ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්:

මෙම නිරික්ෂණ චාරිකාවේ දී රත්නපුර ශික්ෂණ රෝහල සදහා රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ ලබාදීම සෞඛ්‍ය ඇමතිවරිය විසින් සිදුකළාය.

එම ලබාදුන් උපකරණ අතර Ultra Sound Scanners 03 ක් (10,000,000.00), Ultra Sound Scanners Protable 01 ක් (4,500,000.00), Anesthetic Work Stations 02 ක් (4,000,000.00), Multi Parameter Monitor 04 ක්, 1,000,000.00, Syringe Pumps 17 ක් (2,200,000.00), Infusion Pumps 07 ක් (700,000.00), defibrillators 02 ක් (1,300,000.00), Pulse Oxymeters 03 ක් (450,000.00), Phototherapy Unit 01 ක් (500,000.00), CTG Machines 02 ක් (500,000.00), FCG Recorders 03 ක් (750,000.00) ද වශයෙන් රුපියල් මිලියන 26 කට ආසන්න උපකරණ තොගයක් වේ.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.

Pavithra W“සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් මගේ දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය උපරිම සෞඛ්‍ය ප්‍රතිලාභ අමාත්‍යාංශය හරහා ලබාදීමට හැකි වීම මා ලද භාග්‍යයක්. මෙම රෝහල නිසි ප්‍රමිතියකට තිබුනේ නැහැ. ICU එකේ පුස් බැදිලා, වැසිකිලි උතුරලා, එක වාට්ටුවකවත් එක ටයිල් කැටයක් වත් තිබුනේ නැහැ. විශාල දුෂ්කරතා මැද පළාත් සභාව යටතේ මෙම රෝහල තිබුනේ.

අවුරුදු 25 කට කළින් මම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය විදිහට මේ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළා. ඒ අනුව මේ රෝහල මධ්‍යම රජයට පවරා ගෙන සංවර්ධනය කරන්න හැකි වුණා. ජයිකා සංවිධානයට මම පෙන්වා දුන්නා අඩුපහසුකම් හේතුවෙන් මගේ දිස්ත්‍රික්කයේ  රත්නපුර රෝහලේ ඉපදෙන ළමයි 30 කගෙන් එක්  දරුවෙක් මිය යන බව. මාතෘ හා ළමා ප්‍රතිකාර ඒකකයක අවශ්‍යතාවය පෙන්වා දුන්නා. ඒ වගේම ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් හදිසි අනතුරු ඒකකයක් ලබාදුන්නා.”  

“රත්නපුර රෝහල කොළඹ ජාතික රෝහල හැරුණු විට ලංකාවේ තිබෙන දියුණුම රෝහල බවට පත් කිරීමට හැකිවෙයි කියා මා සිතනවා. මෙම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම නිසා අපට තව රුපියල් ලක්ෂ 7000 කට වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කරලා සබරගමුව වෛද්‍ය විද්‍යාලය ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට මහාචාර්ය ඒකකයක් ඇතුලු අලුතින් ගොඩනැගිලි හා සංකීර්ණ එකතු කර සබරගමුව වෛද්‍ය විද්‍යාලය සමග සම්බන්ධ ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරනවා.”

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පොදුජන පෙරමුණේ රත්නපුර ආසන සංවිධායක රංජිත් බණ්ඩාර, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ එම්.බී.ඒ රොද්‍රිගෝ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය, සබරගමුව පළාත් සභාවේ සභාපති, ඇමතිවරියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න, සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර, පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්