ආණ්ඩු විරෝධීන් ලෙසින් වත්මන් ආණ්ඩුව පෙරළීමට කල හැකි ඕනෑම දෙයක් කිරීමට සූදානම් නමුත් 'චැනල් ෆෝ' වැනි නාලිකා වල අසත්‍ය ප්‍රචාර පදනම් කරගෙන රටත් රණවිරුවාත් පාවාදීමට සූදානම් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. 

ඔහු එබව කියා සිටියේ,  පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙල උරුමය නායකයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

චැනල් හතරේ හතරැස් බොරු

'' අපි විපක්ෂය විධියට ආණ්ඩුවට පහර දෙමු.  රාජපක්ෂලාට පහර දෙමු.  නමුත් ඒ පහරදීම් වලින් රටට හානියක් නොවන බවට වග බලා ගැනීමත් වගකිව යුතු විපක්ෂයක් ලෙස අපේ වගකීමක්. හතරැස් බොරු කියන චැනල් හතර හෙවත් චැනල් ෆෝ නාලිකාව විකාශනය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වැඩසටහන තමන්ගේ වාසියට යොදා ගන්න බොහෝ බලවේග උත්සාහ කරනවා. 

 

ඕනෑම කෙනෙකු උඩ පැනලා රාජපක්ෂලාට ගහන්න. ඒකට අපිට ප්‍රශ්ණයක් නෑ. නමුත් රාජපක්ෂලාට ගහන්න ගිහින් අපේ ජීවිත රැක දුන් රණවිරුවන්ට වදිනවා නම් අපේ ආදරණීය මව්බිමට වදිනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. 

 

චැනල් ෆෝ වැඩසටහන එක පැත්තකින් අතාර්කිකයි. අනිත් පැත්තෙන් සිද්ධිමය කරුණු වලට පටහැනියි.  බොදු බල සේනා බිහි කළ බවට චෝදනා ලැබූ සිංහල බෞද්ධ නායකයා බලයට ගේන්න මුස්ලිම් අන්තවාදින් නවදෙනෙක් තමන්ගේ ජීවිත පූජා කරනවා කියන එක අතාර්කිකයි. එහෙම කියන අය කරන්නේ තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීම පමණයි. 

 

ඒ වගේම සුරේෂ් සලේ මැලේසියාවේ ගත කළ සමයේ දී අසාද් මවුලානාගේ මැදිහත්වීමෙන් ලංකාවේ දී තව්හිද් ජමාත් අන්තවාදින් එක්ක සාකච්ඡා පැවැත්තුවා කියන එක පරස්පරයි. මැලේසියාවේ ජීව දත්ත පදනම් කරගත් ආගමන පාලන පද්ධතියක් තිබෙන නිසා හොර පාස්පෝට් එකකින්වත් ලංකාවට එන්න සුරේෂ්ට හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසා සුපුරුදු පරිදි චැනල් ෆෝ නාලිකාව සිය පච මෝල දිග හැරලා තිබෙන බව පැහැදිලියි.  

 

සමහරු ඉන්නවා පිටරට ගිහින් ඩොලර් වලට විකිණෙනවා. සමහරු ඉන්නවා ලංකාවේ දී රුපියල් වලට විකිණෙනවා. අසාද් මවුලානා කියන්නේ එහෙම චරිතයක්. එවැනි චරිත මත රැඳිලා රට තුලට ජාත්‍යන්තර පරීක්ෂණ ගෙන ඒම රටේ අවසානයේ ආරම්භය කියන එක හැමෝටම සිහිපත් කරනවා.

චැනල් ෆෝ වැඩසටහනේ පාස්කු සම්බන්ධ තිබෙන එකම චෝදනාව 

චැනල් ෆෝ වැඩසටහනේ පාස්කු සම්බන්ධ තිබෙන එකම චෝදනාව ජනපතිවරණයේ දී වාසිය ගන්න සුරේෂ් සලේ මුස්ලිම් අන්තවාදින් සමග සාකච්ඡා කලා කියන එකයි.  තමන් ඒ කාලයේ ලංකාවේ නොවේ මැලේසියාවේ හිටියේ කියන එක සුරේෂ් සලේ කියනවා. මේ කතාව ඇත්ත නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් මොකට ද? පචයට උපන් චැනල් ෆෝ නාලිකාවට සුජාත භාවයක් ලබා දෙන්නේ මොකටද?  

මුලින්ම කරන්න ඕනි සුරේෂ් සලේ කියන කතාව ඇත්තද කියන එක පරික්ෂා කිරීමයි.  ඒකට ආණ්ඩුව විසින් හෝ පාර්ලිමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතුයි. ඒක ආණ්ඩුවෙන් නම් කරන්නේ පල්ලියේ නියෝජිතයෙකු මෙන්ම විපක්ෂ නායකගේ නියෝජිතයෙකුත් ඒකට ඇතුළු කරන්න ඕනි.  
 
ඒකෙන් සුරේෂ් සලේ කියන්නේ බොරු කියලා ඔප්පු වෙනවා නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට ගියාට කමක් නෑ.  පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ වන විටත් ජාත්‍යන්තර පරීක්ෂණ තුනක් සිදු කලා කියන එක ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන අය දන්නේ නැද්ද?

ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ අපරාධකරුවන් රකින්නයි

අපරාධ තාක්ෂණය පිළිබඳ ලෝකයේ ඉදිරියෙන්ම ඉන්නා ඇමෙරිකාව සහ ප්‍රංශය 9/11 ප්‍රහාරයේ දී සහ පැරිස් බෝම්බ ප්‍රහාරයේ දී ත්‍රස්තවාදින්ට එරෙහිව නඩු පැවරීමට ගත් කාලයට වඩා ඉක්මනින් අපේ රටේ පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදින්ට විරුද්ධව නඩු පැවරුවා.  2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර 4 පිළිබඳ විමර්ශනය කරලා නඩු පවරන්න වසර 6 මාස 5ක් ගත වුණා.  

2015 නොවැම්බර් 13 ප්‍රංශයේ එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර 6 පිළිබඳ නඩු පවරන්න ප්‍රංශයට වසර 5 මාස 10ක් ගත වුණා. නමුත් අපි වසර 2 මාස 4 නඩු පැවරුවා නම් නඩු පැවරීමේ ප්‍රමාදයක් කොහෙද තිබෙන්නේ?  

මේ වන විටත් 45 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු විභාග කරනවා. නමුත් ආණ්ඩුව විසින් නැවත ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කලොත් චුදිතයින්ගේ නීතිඥයින්ට උසාවියට කියන්න පුළුවන් බාගෙට කරපු පරීක්ෂණයක් මතයි මේ නඩු පැවරීම කරලා තිබෙන්නේ. දැන් ඔන්න ආයෙත් පරීක්ෂණ පටන් අරන්. මේ නඩු ඉවත් කරගෙන ඒ පරීක්ෂණය අවසන් වුණාම සොයා ගන්නා කරුණු අනුව අදාළ අයට නඩු පවරන්න කියලා.
 
 
එහෙම බැලුවාම ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන අය දැන හෝ නොදැන සේවය කරන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ටයි. පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමයි.
 
 
''මහ මොලකරු අවුරුදු උත්සවයේ සැඟවුණු අමුත්තා වගේ''

ඒ වගේම පාස්කු මහ මොලකරු අවුරුදු උත්සවයේ සැඟවුණු අමුත්තා වගේ. සැරින් සැරේ මාරු වෙනවා.  මුලින්ම අයිඑස්අයිඑස්.  ඊ ළඟට ඇමෙරිකාව.  ඊට පස්සේ මෛත්‍රිපාල සිරිසේන.  ඊටත් පස්සේ ගෝඨාභය රාජපක්ෂ. දැන් ඔන්න සුරේෂ් සලේ.  පාස්කු ප්‍රහාරය සමග මෙහෙම සෙල්ලම් කරන්නේ නැතිව කවුරු හරි මහ මොලකරුවෙකු ගැන දන්නවා නම් ඒක පොලිසියට දැනුම් දෙන්න. පොලිසියට කියන්නේ නැතිව මාධ්‍ය හමුවල රැස්වීම් වල අදහස් දක්වලා වැඩක් නෑ.  මහ මොලකරුවෙකු ඉන්නවා කිව්වේ හිටපු නීතිපති දප්පුල ලිවේරා. එයාට ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කිව්වාම එයා දැන් සැඟවුණු අමුත්තා වෙලා.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ලේ කදුළු සමග දේශපාලන ගේම් ගහන්න එපා. ආණ්ඩු විරෝධීන් විදිහට අපි මේ ආණ්ඩුව පෙරළීමට කල හැකි කල යුතු ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි. ඒ වෙනුවෙන් රටත් රණවිරුවාත් පාවාදීමේ ගේම් එකකට නම් අප සූදානම් නෑ. 

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය
කතෝලික පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් වරින් වර විවිධ අදහස් පළ කරනවා නේද?

පිළිතුර
කතෝලිකයනුත් නෙවෙයි. කතෝලික පල්ලියත් නෙවෙයි. කතෝලික පල්ලියට සම්බන්ධ ඇතැම් අයගේ යම් යම් ප්‍රකාශ ගැන අපට විමතියක් තියෙනවා. නමුත් කතෝලික ප්‍රජාව මේ රටේ ඉන්න ඉතාම වැදගත් ප්‍රජාවක . ඒ නිසා ඇතැම් ප්‍රකාශ අප නොසලකා හරිනවා. එය කතෝලික ප්‍රජාවේ මතය නොවෙයි කියලා අප විශ්වාස කරනවා. 

ප්‍රශ්නය
කලින් කලට මෙවැනි චෝදනා මෙරටට එල්ල වන්නේ ඇයි ?

පිළිතුර
අපි දන්නවා දරුස්මාන් කොමිසම හරහා ශ්‍රී ලංකාව දැවැන්ත යුධ අපරාද කලා කියලා දඩුවම් කරන්න මානව හිමිකම් කොමිසම හරහා දෙමළ බෙදුම්වාදීන් ලොකු උත්සාහයක් දැරුවා. නමුත් අවසන් යුධ සමයේ සාමාන්‍ය දෙමළ ජනතාව හතලිස් දහසක් මේ කියනා ආකාරයට මිය ගියේ නෑ කියලා නේස්බි සාමිවරයා ලිපි ලේඛණ සහිතව ඉදිරිපත් කිරීමත් සමගම තවදුරටත් සමූල ඝාතන චෝදනාවට වටිනාකමක් නැති වුනා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාවට තලන්න අළුත් පොල්ලක් ඕනෑ. ඒ පොල්ල තමයි ඔය පාස්කු ප්‍රහාරය. මීලග පොල්ල ලැබෙන තුරු මේ පොල්ලෙන් අපිට තලාවි. 

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමය කළුතර දිසා සංවිධායක  නිමාලක සුරංග හෝමාගම ආසන සංවිධායක  ප්‍රියන්ත හේරත් ද සහභාගී වූහ.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්