සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා

නැමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑම සඳහා උදව් කළ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල් සංදීප ගුණසේකර අතුරුදන්ව මේවන විට දින තුනක් ගත වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් අනාවරණ කරගෙන ඇත්තේ, සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වූ පසුගිය ඉරුදින රාත්‍රීයේ ත්‍රිකුණාමලයේ සේරුවිල පිහිටි තම නිවසට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි.


තමන් විදෙස් රටක කරදරයක් නොමැතිව සිටින බව පොලිස් කොස්තාපල්වරයා එහි දී පවසා ඇති බව වාර්තා වේ. අනතුරුව පසුගිය සඳුදා දිනයේ ද ඔහු සිය නිවසට වට්ස්ඇප් මාර්ගයෙන් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව ද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත. කෙසේවුවද පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ඔහු නිවසට දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ මෙරට සිට බවයි.



සැකකාර පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට පැමිණ ඇති බව ද අනාවරණ වී ඇති නමුත් ඉන් පසු එම ස්ථානයෙන් පළා ගිය ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැත.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට කහ පැහැති ටී ෂර්ටයකින් සැරසී දිව යන අයුරු අසල වූ සීසීටීවී කැමරාවක ද සටහන් ව තිබිණි.

ඔහු ඒ වන විට දුරකථන ඇමතුමක රැඳී සිටින අයුරු ද එහි දී දැකගත හැකිය.

මේ අතර, පොලිස් කොස්තාපල්වරයා හරක් කටා සමඟ සමීප සබඳතාවක් පවත්වන බව ඔහුගේ පෙම්වතිය බව පැවසෙන පොලිස් කොස්තාපල්වරිය දැන සිටි බවට ද විමර්ශකයන්ට සැක පළ වී තිබේ.



අදාළ සිදුවීම සිදුවූ දිනයේ හරක් කටාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ උපපොලිස් පරීක්ෂකවයරයාට, පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනාට හා කාන්තා පොලිස් කොස්තාපල්වරියට අභන්තර ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි වාර්තා වේ. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.



අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත

මේ අතර, පසුගිය 10 වැනිදා පළා යෑමට උත්සාහ කළ අවස්ථාවේ දී ඇති වූ කලබලකාරී තත්ත්වය හමුවේ තුවාල ලැබූ බව පැවසෙන හරක් කටා නැමැත්තා, සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරිපත් කළ වාර්තාව අධිකරණයට යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සැකකාර හරක් කටා නැමැත්තා වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඇතුළු නීතිඥ මඬුල්ල පැවසුවේ, එම සිද්ධිය හේතුවෙන් සැකකාර හරක් කටා තුවාල ලබා ඇති බැවින් ඊට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසයි.

මෙහි දී දෙවැනි සැකකාර කුඩු සළිදු තුවාල වී ඇති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා නිසි පරිදි ඉල්ලීම සිදු කරන ලෙස දන්වා, සිද්ධිය වන අවස්ථාවේ දී ඔහු ප්‍රධාන සිර මැදිරියේ රඳවා සිට ඇති බව අධිකරණය හමුවේ කියා සිටියේය.

එමෙන්ම ඔහු විශේෂ කාර්ය බළකා නිලධාරින් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ රඳවා සිට ඇති බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.


හරක් කටා ඝාතනය කිරීමේ උත්සාහයක් !

මේ අතර හරක් කටා නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමට දැරූ උත්සාහය පදනම් කරගනිමින් ඔහුව ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බව ඔහුගේ නීතිඥයින් පවසති.

සැකකරු මේවනවිට ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටියි.

ඔහු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පලා  යාමට උත්සාහ කර ඇති බවට මාධ්‍ය වාර්තා පලවී ඇති අතර ඒ  සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද කරුණු වාර්තා කර තිබේ.

එම තත්වය තුළදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම තත්වය වඩා උත්කර්ශයට නංවමින් හරක් කටා ඝාතනය කිරීමට අවශ්‍ය පසුබිම සකසනවාද යන්න සම්බන්ධ බරපතල සැකයක් මතුව ඇතැයි හරක් කටාගේ නැමැත්තාගේ නිතිඥවරු අද දින කොටුව මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වමින් සඳහන් කළේය.



කිසියම් සිදුවීමක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව නීත්‍යනුකූලව කරන විමර්ශනයකට බාධා නොකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන යාමට නොහැකිවන ලෙස නියෝගයක් ලබා දී ඇති නිසා අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙසට පෙන්වා දෙමින් ඝාතනය කිරීමට දරන උත්සාහයක්ද යන්න සැකයක් ඇති බව නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේය.


සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවලදී ඉදිරියේදීද නියෝග නිකුත් කරන බවත් ⁣ඒ පිළිබඳව වෙනත් විමර්ශනයක් පවතින බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්