තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය

හෙට (ඔක්තෝම්බර් 01) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මේ අනුව, තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09ක් රට තුළ භාවිතය තහනම් කර තිබේ.

ඒ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර අමාත්‍යවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජූලි මස 19 වන දිනැති අංක 2341/30 දරන ගැසට් පත්‍රය මගිනි.

විෂය භාර ආමාත්‍ය නසීර් අහමඩ් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයට අනුව අදාළ අයිතම නමය යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා යොදාගැනීම තහනම් වෙයි.



මෙම තහනමට අනුව තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම 2023 ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.



මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ සඳහන් කළේ, ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි.

අද දිනයෙන් පසු උක්ත අයිතම රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වෙයි.

තහනම කඩ කළහොත් ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.

ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අවධාරණය කළේය.



“ප්ලාස්ටික් මගින් සිදුවන අතිවිශාල පරිසර දූෂණය වැළැක්වීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. ඒ අනුව, මෙම තහනම පනවනු ලැබුයේ ද අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් අයිතම භාවිතය සහ ඒ ආශ්‍රිතව පැන නගින පාරිසරික ගැටලු අවම කර ජීවීන් ඇතුළු පරිසරය රැකගැනීමට පිටිවහලක් ලබාදීමේ අරමුණෙනි. එමෙන්ම පරිසර හිතකාමී විකල්ප ආශ්‍රිත දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ද ප්ලාස්ටික් ආනයනයේදී විදේශ විනිමය අඩුකර ගැනීමට ද මින් පිටිවහලක් සැලසේ” පරිසර අමාත්‍යංශය විසින් නිකුත්කර තිබු නිවේදනයක සඳහන්වේ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්