මාර්ග අනතුරු හේතුවෙන් තුවාල ලබන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට හා අනතුරුවලට ලක්වූ

වාහන අලුත්වැඩියාවට අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ගෙන්වීම සඳහා රජයට වසරකට රුපියල් බිලියන 700ක් පමණ වැය කරන්නට සිදුවී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ  ප්‍රකාශ කළේය.

මෙම ප්‍රමාණය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයවැයෙන් වසරකට වෙන් කරන මුදල මෙන් දෙගුණයක් යැයිද ලෝක බැංකු වාර්තා අනුව එය මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 3%ත් 5%ත් අතර අගයක් ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

පොලිස් වාර්තා සඳහන් කරන පරිදි වසරකට මාර්ග අනතුරු හතළිස් දහසක් පමණ වාර්තා වුවද ඇතැම් අනතුරු පොලීසියට වාර්තා නොකරන හෙයින් රක්ෂණ සමාගම් වාර්තා සැසඳීමේදී එය ලක්ෂ හතරක් පමණ වන බව සනාථ වී ඇත.

මෙරට සිදුවන මාර්ග අනතුරුවලින් 25%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.



බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) ඉන්දික හපුගොඩ සඳහන් කළේ, දිනකට 8 දෙනකු පමණ මාරක රිය අනතුරු හේතුවෙන් මරණයට පත් වන බවයි. රිය අනතුරුවලින් තුවාල ලබන පිරිසට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වසරකට බිලියන 135ක් පමණ වැය කරන බවද ඔහු සඳහන් කළේය.


විවිධ ආකාරයේ අනතුරුවලින් වසරකට මියයන සංඛ්‍යාව 12,000ක් පමණ වන අතර ඉන් මාර්ග අනතුරුවලින් මියයන සංඛ්‍යාව 3000ක් පමණ වේ.

2022 වසරේදී මාර්ග අනතුරු 19,740ක් වාර්තා වී තිබේ. ඉන් 2,418ක්ම මාරක අනතුරුය. ඉන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 2538 කි.

2023 ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 31 දක්වා රිය අනතුරු 17,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ඉන් අනතුරු 1427ක් මාරක රිය අනතුරු වන අතර ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 1513 කි.

මෙරට භාවිත කෙරෙන යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 41ක් වන අතර මාර්ග අනතුරු නිසා මරණයට පත්වන පිරිසෙන් තුනෙන් එකක්ම යතුරුපැදිකරුවන්ය.


(deshaya.lk - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්