බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකිය.

සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


 ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග ගංඟා කිහිපයක ජල මට්ටම් තවදුරටත් ඉහළ ගොස් ඇත.

 කැලණි ගඟේ ජල මට්ටම නාගලගම්වීදියෙන් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟ පුටුපාවුල ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ කලවල්ලෑව ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සහ නිල්වලා ගඟ තලගහගොඩ ප්‍රදේශයෙන් මෙන්ම පානදුගම ප්‍රදේශයෙන් ද සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පවතින වර්ෂාව හමුවේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් ද වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයේ පවුල් 641 කට අයත් පුද්ගලයින් 2674 දෙනෙකු ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි වික්‍රමසිරි පැවසිය.

මීට අමතරව, අකුරැස්ස, තිහගොඩ, මාලිම්බඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ප්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යටව ඇතැයි වාර්තාවේ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්