``බැංකු සේවකයන්ගේ අයිතීන් පමණක් නොවේ රටක් හැටියට ජාතික ආර්ථිකය සංවර්ධනය, රාජ්‍ය බැංකු ඇතුළු රාජ්‍ය ව්‍යවසායකත්වය රැක ගැනීම,නීතියේ ආධිපත්‍ය තහවුරු කිරිම, අල්ලස හා දුෂණය අවම කරමින් සියළුම ආයතනවල යහපාලනය ගොඩනැගීම ගැන ආණ්ඩුවට යෝජනා කළා.``යැයි ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක පවසයි.
චන්න දිසානායක
2026 අයවැයට අදාලව බැංකු සේවක සංගමය මගින් ඉදිරිපත් කරන යෝජනා 23 ක් ඇතුලත් ලියවිල්ල ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දීමෙන් අනතුරුව ඒ පිළිබඳව ජනාධිපති හා මුදල් අමාත්‍යංශ ලේකම්වරුන් සමග සාකච්ජා කර තිබේ.
ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව වසරක් ගතවීමෙන් අනතුරුව ගෙන එම පළමු අයවැය සමස්ත ජනතාවටම තීරණාත්මක බවයි බැංකු සේවක සංගමයේ නායකයන් පෙන්වා දෙන්නේ.
``රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය නොකොට රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ එම ආයතන ප්‍රතියුහගත කළ යුතුයි. ඒ වගේම රාජ්‍ය ආයතැන ලෙස ඒවා සුරක්ෂිත කළ යුතුයි. ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කරන ආණ්ඩුව බැංකුවල ඩිජිටල් ගනුදෙනු සම්බන්ධයෙන් පිළිගන්න පුළුවන් නියාමනයන් ස්ථාපිත කරන්න ඕනෑ,``යැයි ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක පවසයි.
රන්ජන් සේනානායක
විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, රක්ෂණ සංස්ථාව, රාජ්‍ය බැංකු ඇතුළු දැනට ක්‍රියාත්මක රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය හෝ වසා දැමීමට ක්‍රියා නොකරන ලෙස ද බැංකු සේවක සංගමය සිය අයවැය යෝජනාවලිය මගින් අවධාරණය කර තිබේ.
``රජයේ බදු ප්‍රතිපත්තිය නිසා වෘත්තිකයන් ඇතුළු සමස්ත ජනතාවම පිඩාවට පත්වෙලා ඉන්නේ. අපි යෝජනා කරන්නේ මේ බදු ක්‍රමය සංශෝධනය කරලා සහනදායි විසදුමක් ලබා දෙන්න කියල.``යැයි බැංකු සේවක සංගම් ප්‍රධාන ලේකම්වරයා මෙවර අයවැය තුලින් ආණ්ඩුව විසදුමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් යුතුව පවසයි.
බැංකු සේවකයන්ට සෘජුවම බලපානු ලබන ඔවුන්ගේ විශ්‍රාමයට අදාළව ජාතික ප්‍රතිපත්තියක් සකසන ලෙස ද එම යෝජනාවලියේ ප්‍රමුඛ කරුණක් ලෙස දක්වා තිබේ.
``අද වෙන කොට දුගී දුප්පත් ජනතාව මේ ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලක අහුවෙලා ඉන්නේ,``යැයි අනතුරු අඟවන එම වෘත්තීය සමිතියේ ලේකම්වරයා ආණ්ඩුවට අවධාරණය කරන්නේ රටපුරා පිහිටි විධිමත් නොවන මුල්‍යයතන නිසි පාලනයකට ගෙන ඒම සඳහා නව නීති සම්පාදනය කළ යුතු බවයි.
එමෙන්ම රටේ සුළු හා මධ්‍ය පරිමාන ණය මෙන්ම ක්ෂුද්‍ර මුල්‍ය ණය යෝජනා ක්‍රම නගා සිටුවීමට ද රජයේ මැදිහත්වීම පිළිබඳව බැංකු සේවකයෝ සිය යෝජනා මගින් පෙන්වා දෙති.




