සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නිල තොරතුරුවල විශ්වසනීයත්වය බරපතල ලෙස අභියෝගයට ලක්ව තිබේ.
2010 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනයට, පැහැරගැනීමට සහ පහරදීමට ලක්වූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව කොපමණදැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා තිබුනේ 2025 මාර්තු 07 වැනිදායි.
එම පැනවලට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 2025 ඔක්තෝබර් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී දුන් පිළිතුර අනුව එම කාලය තුළ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම හැරුනුකොට පහර කෑමට ලක්ව ඇති මාධ්‍යවේදීන් ගණන අටක් පමණකි.
"2010 වර්ෂයේ සිට මේ දක්වා මේ පිළිතුර අනුව පැහැරගැනීම් 01යි, පහරකෑම් 08 ක් හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ," යි දොස්තර ජයතිස්ස පැවසීය.
| ප්‍රගීත් බණ්ඩාර එක්නැලිගොඩ
"පැහැරගැනීම් ප්‍රගීත් බණ්ඩාර එක්නැලිගොඩ. පහරදීම් මහින්ද ආරියවංශ, ධනුෂ්ක සම්පත් සෙනවිරත්න, රෆයිඩීන් ෆාරුක් මොහොමඩ් සුහායිල්, සුබ්‍රමනියම් බාස්කරන්, චමිල ජනිත් කුමාර ඒකනායක, අසංක ක්‍රිෂාන්ත බාලසුරිය, සිනේෂ් උපේන්ද්‍ර, ඉදුනිල් සිසිර විජේනායක"
අමාත්‍යවරයා සදහන් කළ රෆයිඩීන් ෆාරුක් මොහොමඩ් සුහායිල් යනු මාධ්‍යවේදියකු නොව Fuck Israel යනුවෙන් ඊශ්‍රායෙල් විරෝධී ඉමොජියක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීම නිසා ත්‍රස්ත නීතිය යොදා ගනිමින් මාස 9 ක කාලයක් තිස්සේ කිසිදු සාක්ෂියකින් තොරව රදවාගෙන සිටි 2025 සැප්තැම්බර් මාසයේ දී ගල්කිස්ස උසාවියෙන් නිදොස් කොට නිදහස් කළ ගුවන් මැදිරි කාර්ය මණ්ඩල පාඨමාලා සිසුවෙකි.

කෙසේවෙතත්, එම කාලය තුල රටපුරා අඩුම වශයෙන් පැහැරගෙන යාම් දෙකක් ඇතුළුව ජනමාධ්‍යවේදීන්ට වධබන්ධන පමුණුවා පහර දීම් විස්සකට වැඩි සංඛ්‍යාවක් ජනමාධ්‍ය මෙන්ම දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන විසින් හෙළිදරව් කර තිබීම නිසා අමාත්‍ය වරයාගේ දත්ත බරපතල අභියෝගයට ලක්වෙයි.
ඒ අතරින් සාතිශය බහුතරය තමන්ට සිදුවූ අපරාධය පිළිබඳව පොලිසියට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කර තිබේ. මේ අතරින් වන්නියේ එක් දෙමළ මාධ්‍යවේදියකු පහර කෑමට ලක්වී ඇති වාර ගණන තුනකට වැඩිය.
තමන් සතුව ඇති නම් නමය මෙන්ම ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන බව පැවසෙන විමර්ශනවල වර්තමාන තත්වයන්ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෙළි කර තිබුනි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන කරන්නේද නැද්ද, විමර්ශන කර ඇතිනම් දී ඇති නිර්දේශ කවරේද යන්න සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශයට පත් නොවිණි.
අවම වශයෙන් පසුගිය මාසයේදී පහර කෑමට ලක්වු දකුණේ මාධ්‍යවේදීන් දෙදෙනා සම්බන්ධයෙන් හෝ කිසිදු තොරතුරුක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ නැත.
මහියංගණය, රිදීමාලියද්ද ප්‍රාදේශීය මාධ්‍යවේදී විමුක්ති සංජය පෙරේරාට 2025 සැප්තැම්බර් 19 වැනිදා දැව ජාවාරම්කරුවකු ලෙස සැළකෙන තැනැත්තකු විසින් බරපතල ලෙස පහර දී ඇති ආකාරයත්, පොල්පිතිගම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටීම හේතුවෙන් ළදරුවකු මරණයට පත්වීම පිළිබඳ ලංකාදීප පුවත්පතෙහි වාර්තා කිරීමෙන් පසුව රූපවාහිනී නාළිකාවලද පළ වීම නිසා මොරගොල්ලාගම ප්‍රාදේශීය මාධ්‍යවේදී සිසිර නන්දන කැලේගමට සැපැතැම්බර් මාසයේදීම මැර ප්‍රහාරයක් එල්ල වු ආකාරයත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදන දෙකක් මගින් හෙළි කර තිබුනි.
2010 වසරේ සිට ගෙවීගිය පහලොස් වසරක කාලය තුළ උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍යවේදීන් ගණනාවක් රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ, දේශපාලඥයන්ගේ මෙන්ම ජාවාරාම්කරුවන්ගේ දරුණු පහර දීම් වලට ලක් වුවද එම පහර දීම් ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 2025 ඔක්තෝබර් 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු වලට ඇතුලත්ව තිබුනේ නැත.
අමාත්‍යවරයාට වාර්තා වී නැති එහෙත් ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති එවැනි පහර දීම් වලින් ශේෂයක් පහතින්;
නිදහස් මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න හට හලාවත රෝහලේදී, රෝහල් ආරක්ෂක නිලධාරියකු විසින් 2012 සැප්තැම්බර් මාසයේ දී පහර දී තිබුනි. මාධ්‍යවේදියා පොලීසියට පැමිණිලි කර තිබුනේ හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු ද පැමිණ සිටි අවස්ථාවක, තමාගේ වෘත්තීය කටයුතුවල නියැලෙමින් සිටියදී තමන්ට පහර දුන් බවටයි.
හම්බන්තොට වරායේ විරෝධතාවයක යෙදී සිටි කාර්ය මණ්ඩලය විසින් ග්‍රහණයට ගෙන තිබූ නෞකා දෙකක් මුදා ගැනීමට 2016 වසරේ මානව හිමිකම් දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව කඩා වැදීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හට ගෙන තිබුනි. ඒ අවස්ථාවේ එහි පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පරුෂ වචනයෙන් බැණ වැදි හම්බන්තොට මාධ්‍යවේදී දිලීප් රොෂාන් ගුණසේකර පහර දෙන වීඩියෝ දර්ශන මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වී තිබුනි.
| කනපතිපිල්ලෙයි කුමනන්
| ෂන්මුගම් තවසීලන්
මුලතිවු දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී තේක්ක ලී ජාවාරමක් ගවේෂණය කරමින් සිටි කනපතිපිල්ලෙයි කුමනන් සහ ශන්මුගම් තවසීලන් යන දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනාට 2020 වසරේ ඔක්තෝබර් 12 වැනි දා දැව ජාවාරම් කරුවන් විසින් අමානුෂික ලෙස පහර දී තිබුනි.
දූෂිතයන් හෙළිදරව් කිරීමට කටයුතු කළ මාධ්‍යවේදීන් දෙදනා අපරාධකරුවන්ගේ ඉලක්ක බවට පත් වූ ආකාරය වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් 2025 පෙබරවාරි මාසයේදීත් පාර්ලිමේන්තුවේ සිහිපත් කළේ පහත අයුරිනි.
“මුලතිව් දිස්ත්‍රික්කයේ අනවසරයෙන් ගස් කැපීම් හෙළිදරව් වුනාම, ඒ ගැන ප්‍රවෘත්ති එකතු කරන්න ගිය මාධ්‍යවේදීන් වන කනපතිපිල්ලෛ කුමනන් සහ ෂන්මුගම් තවසීලන් යන අයට හොර ලී ජාවාරම්කරුවන් පහර දුන්නා.”
| නිදහස් මාධ්‍යවේදී සුජීව ගමගේ
නිදහස් මාධ්‍යවේදී සුජීව ගමගේ 2021 මාර්තු 10 පැහැරගෙන ගොස් රඳවා තබා ගනිමින් පුළුස්සා, වධ හිංසා පමුණුවා පසුව මහ මග අතහැර දමා ගොස් තිබුණි. කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා විසින් මාධ්‍යවේදියාගේ බිරිඳට පවසා තිබුනේ ජනාධිපති කාර්යාලයේ අණ පරිදි තමන් කටයුතු කළ බවයි.
කටඋත්තරයක් දීම සඳහා සුජීව ගමගේ සමග ගිය නීතිඥ නාමල් රාජපක්ෂට අනුරංග නම් CCDයේ පොලිස් අධිකාරිවරයකු බැන වැදුණු බව නීතිඥවරයා පවසා තිබුණි. https://www.jdslanka.org/s/index.php/2014-12-19-17-57-19/2014-12-20-03-06-20/960-2021-03-25-10-45-05
අක්කරෙයිපත්තු පොලිස් නිලධාරින් විසින් අම්පාර නිදහස් මාධ්‍යවේදියකු වන ෂාහීර් ඛාන් ෆාරුක්ට කෝවිඩ් සමයේදී පහර දී ඔහුගේ රාජකාරි ආම්පන්නද කඩා බිඳ දමා තිබුනි.
පළාත් බද වාර්තාකරුවන් සඳහන් කර තිබුනේ අම්පාර අට්ටාලචේන පදිංචිකරුවකු වන ෂාහීර් ඛාන් ෆාරුක් ප්‍රවෘත්ති වාර්තාකරණය සදහා 2021 වසරේ සැප්තැම්බර් 2 වැනි බ්‍රහස්පතින්දා සිය නිවසින් බැහැරට යන මොහොතේ නිසි පරිදි මුඛ ආවරණය පැළඳ නොමැති බවට චෝදනා කරමින් පොලීසිය ඔහුට පහර දී ඇති බවයි.
මාධ්‍යවේදියාට පහර දුන් පොලිස් නිලධාරීන් අමානුෂික ආකාරයෙන් ඔහුව පොලිස් රථයක් වෙත ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල පල වී තිබුනි
නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට 2021 වසරේ නොවැම්බර් 27 වැනි සෙනසුරාදා දිනයේ මුල්ලිවයික්කාල් නාම පුවරුව වීඩියෝ ගත කරමින් සිටියදී යුද හමුදාව විසින් අමානුෂික ලෙස පහර දී වද හිංසා කර තිබුනි.
මුලතිව් මාධ්‍ය සමාජය ඡායාරුප ද පෙන්වා දෙමින් තහවුරු කර තිබුනේ යුද භටයන් විසින් විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මාධ්‍යවේදියාට පහර දී ඇත්තේ කටු කම්බි එතූ තල් පිත්තකින් බවටයි.
එම පහර දීමේ හා වධ හිංසා කිරීමේ චෝදනාවට මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පනස් නම වැනි සේනාංකයේ හමුදා භටයන් තිදෙනකු පැය කිහිපයක් ඇතුලත ඇප පිට නිදහස් කර තිබුනි.
2022 වසරේ පෙබරවාරි 26 වැනිදා පෙරවරුවේ IBC මාධ්‍ය ආයතනයේ මඩකලපුව ප්‍රාදේශීය වාර්තාකරු මාධ්‍යවේදී ලක්ෂ්මනන් දේවප්‍රදීපන් පහරකෑමකට ලක්ව තිබුනේ මඩකලපුවේ පැවති විරෝධතාවක් වාර්තා කරමින් සිටියදීය.
එවකට රාජ්‍ය අමාත්‍යවරයකු වු සතාසිවම් වියාලේන්ද්‍රන්ගේ ආධාරකරුවකු වන වේලුපිල්ලෙයි නන්දන් නැමැති සැකකරු ලක්ෂ්මනන් දේවප්‍රදීපන්ට පහරදීමේ චෝදනාව මත 2022 පෙබරවාරි 28 වැනි සදුදා පෙරවරුවේ එරාවුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනි.
මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි නගරයේ තෙල් පෝලිමක ජනතාව විඳින හිරිහැරය වාර්තා කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්ට 2022 වසරේ ජුනි 17 වැනිදා මල්ලාවි අනින්ඩියන්කුලම් පදිංචි අම්බුනාදන් දිනේෂ් කුමාර් නැමැත්තෙකු පහර දී තිබුණේ හමුදාව හා පොලිසිය බලා සිටියදීය.
ජනාධිතිපති රනිල් වික්‍රමසිංහ අගමැති වී සිටි අරගලය සමයේ කොල්ලුපිටියේ, පස්වැනි පටුමගේ ඔහුගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී 2022 ජුලි 9 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ ගේ අණ පරිදි මාධ්‍යවේදින්ට එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් ගණනාවකට තුවාල සිදුවිය.
සරසි පීරිස්, කාලිමුත්තු චන්ද්‍රන්, ඉමේෂ් සදර්ලන්ඩ්, චානුක වීරකෝන්, බනිඳු ලෝකුරුගේ, වරුණ සම්පත්, ජුඩින් සින්දුජන් සහ ජනිත මෙන්ඩිස් එම මාධ්‍යවේදීන් බව සිරස මාධ්‍ය ජාලය විසින් නම් කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් STF අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර, STF අධ්‍යක්ෂ රොමේෂ් ලියනගේ සහ විශේෂ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ඩී එස් වික්‍රමසිංහ කැඳවා විමර්ශනයක් කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබුනේ රොමේෂ් ලියනගේ වහාම කොළඹින් පිටතට මාරුකර යවා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
ඒ පිළිබඳ කිසිවක් ජනමාධ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට සැපයූ පිළිතුරේ නොතිබිණි.
ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජෂක්ගේ මිරිහානේ පිහිටි නිවස වටලා 2023 මැයි 31 වැනි දිනට වසරක් සපිරීම නිමිත්තෙන් පැවති උද්ඝෝෂණය වාර්තා කිරිම සදහා එහි ගිය මාධ්‍යවේදී ශාන්ත විජේසුරියට 2023 මැයි 31 දා පොලිසියෙන් පහර දී තිබුනේ නුගේගොඩ මංසන්දියේ පොලිස් මුර පොල ඉදිරිපිටදීය.
2023 වසරේ ජුලි 28 වැනිදා බොරැල්ලේ පැවති විරෝධතාවක් වාර්තාකරණයෙන් අනතුරුව නැවත නිවස බලා යන අවස්ථාවේදී බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම, පහරදීම සහ ප්‍රතිකාර සඳහා යොමු නොකොට පොලිස් සිර මැදිරියේ රඳවා තබා ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් කටයුතු කර තිබුනි.
2024 දෙසැම්බර් 26 බ්‍රහස්පතින්දා, කිලිනොච්චිය A-9 අධිවේගී මාර්ගයේ දී ස්වාධීන මාධ්‍යවේදියකු සහ කිලිනොච්චි පුවත්පත් සමාජයේ ලේකම් වන මුරුගයියා තමිල්සෙල්වන් පැහැරගෙන යාමට වාහනයකින් පැමිණි පිරිසක් එම උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඔහුට බරපතළ ලෙස තර්ජනය කර පිටව ගොස් තිබුනි.
යුද පීඩිත මුලතිව් දිස්ත්‍රික්කයේ සිදු වන වැලි ජාවාරමක් වාර්තාකරණයේ යෙදී සිටි මුලතිව් මාධ්‍ය සමාජයේ හිටපු සභාපති ද වන ශන්මුගම් තවසීලන් 2025 පෙබරවාරි 15 වැනිදා තමන්ට එල්ල වු මරණ තර්ජනය හා පහරදීම සම්බන්ධයෙන් මාන්කුලම පොලීසියට පැමිණිලි කර තිබුනේ තමන්ට මරණ තර්ජනය කළ දෙදෙනාගේ ඡායාරූප හා ඔවුන් පැමිණි NP BFR 8429 අංකය දරන යතුරුපැදියේ විස්තරද පොලීසියට ලබා දෙමිනි.
අට්ටාලචේනෙයි ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී රියා මසුර් ඇතුළු තිදෙනෙක් 2025 ජුලි 2 වැනිදා රාත්‍රියේ අට්ටාලචේනෙයි මහජන ක්‍රිඩාංගනය සමීපයේ දී තමන්ගේ වාර්තාකරණය ගැන ප්‍රශ්න කරමින් පහර දී මරණ තර්ජනය කළ බවට පහර කෑමට ලක්වු BBC දෙමළ සේවයේ නිදහස් මාධ්‍යවේදී යූ.එල් මබ්රූක් අක්කරෙයිපත්තු පොලීසියට පැමිණිලි කර තිබුනි.
පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති වාර්තාකරුවෝ (RSF) 2025 වසර සඳහා පලකළ ජගත් මාධ්‍ය නිදහසේ දර්ශකය අනුව ලෝකයේ රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව වැටී ඇත්තේ 139 වැනි තැනටය.




