යාපනය කොකුවිල් හින්දු විද්‍යාලයේ ගේට්ටුව ඉදිරිපිටදී 2025 ඔක්තෝබර් 24 වැනි සිකුරාදා පෙරවරුවේ අනුස්මරණය සිදු කර ඇත්තේ ඉන්දීය සාමසාධක හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු දෙමළ පනස් පස් දෙනකුට වැඩි පිරිසක් සිහිකරමිනි.
ඝාතනයට ලක්වුවන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක සහභාගීත්වයෙන් කොකුවිල් අනුස්මරණය කමිටුව විසින් මෙම අනුස්මරණය සිදු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
මිය ගිය පිරිස සිහි කරමින් මලින් පහනින් උපහාර පිදීමට ඔවුන් කටයුතු කර තිබේ.

විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුව ඉන්දීය හමුදා විසින් 1987 වසරේ ඔක්තෝබර් මාසයේදී සමූහ ඝාතන මාලාවක් සිදු කර තිබුනි.
ප්‍රදේශවාසීන් පවසන්නේ 1987 ඔක්තෝබර් මාසයේදී කොකුවිල් සහ ආනෙයිකෝට්ටේ ප්‍රදේශවල ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර ගැටුම් ආරම්භ වීමෙන් පසුව ප්‍රදේශයේ දෙමළ ජනයා ආරක්ෂාව පවා කොකුවිල් හින්දු විද්‍යාලයට පැමිණි බවයි.
1987 ඔක්තෝබර් 24 වැනිදා යුද ටැංකි සහිතව එම විද්‍යාලයට ඇතුල් වු ඉන්දීය හමුදා පනහකට අධික සිවිල් වැසියන් ඝාතනය කළ බව පවසන ගම් වැසියන් වැඩි දුරටත් සඳහන් කරන්නේ ඝාතනයට ලක් වු පිරිස වෙනුවෙන් අවසන් කටයුතු සිදු කිරීමේ වාතාවරණයක් නොපැවති බැවින් ප්‍රදේශවාදීන් විසින් ඔවුන්ගේ සිරුරු පාසලේ ක්‍රිඩා පිටිය තුළම වළ දැමු බවයි.
ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ආරාධනයෙන් සාම සාධනය සඳහා යැයි පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් එයින් නොනැවතී ඔක්තෝබර් මාසයේ සමූහ ඝාතන මාලාවක් සිදුකර තිබේ.




