අතින් අත ගිය ජීවිතාරක්ෂාව ඉල්ලූ ලිපිය
ඔක්තෝබර් 22 දා ඝාතනයට ලක් වුණු සභාපතිවරයා විසින්, තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉල්ලමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යවා ඇත්තේ පසුගිය සැප්තැම්බර් 06 දිනය.
වෙඩි තබා මරා දැමුනු ලසන්ත වික්‍රමසේකර
පොලිස්පතිවරයා විසින් ඉන් දින 6 ට පසුව දකුණු පලාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති (SDIG) කිත්සිරි ජයලත් වෙත යවන ලද එම ලිපිය ඔහු විසින් එම ලිපිය දකුණු පලාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙතත් යොමු කොට ඇතැයි පොලිසිය පවසයි.
පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නැවතත් ලිපිය හම්බන්තොට පොලිස් බල ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙතත් යොමු කොට තිබේ. ඉන් අනතුරුව ලිපිය මාතර සහකාර පොලිස් අධිකාරි වෙතින් වැලිගම ප්‍රධාන පොලිස් පරික්ෂක වෙතටත්, අවසාන වශයෙන් ඔහුගෙන් මිදිගම පොලිසියේ ස්ථානාධිපිතවරයා වෙතත් යොමුව තිබේ.
2025.10.24 දිනැතිව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති නිවේදනයේද දැක්වෙන්නේ අදාල ලිපිය ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස පොලිස්පති වරයා විසින් SDIG වෙත පසුගිය සැප්තැම්බර් මස 12 දින යොමු කර ඇති බවකි.
ඝාතනය ලක් වුණු සභාපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් කවර නම් ක්‍රියාමාර්ගයක් පොලිසිය විසින් ගනු ලැබුවේද? ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලැබුවේද යන කිසිදු කරුණක් එහි සඳහන් නොවේ.
නමුත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ නිවේදනයේ අවධාරණය කොට ඇත්තේ එම ලිපිය 'සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය' වන ලිපියක් ලෙසටය. මියගිය සභාපතිවරයා එවන් ඉල්ලීමක් කර තිබූ බව පිළිගන්නට පොලිසියට බලකෙරුණේ නම් එම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුවය.

අපරාධකරුවන්ටම පරික්ෂණ භාර දීලා
අදාල ලිපිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පති නියමයෙන් පළමුවෙන් භාර කෙරුනු දකුණු පලාත් භාර කිත්සිරි ජයලත් විසින් එම කාර්යය නිසි පරිදි සිදුකර නොමැති බව පෙනෙන්නට ඇති විටම ඝාතන පරික්ෂණ අධික්ෂණය ද ඔහු යටතටම පත් කිරීම අතිශයින්ම ගැටළු සහගත වන බවයි බොහෝ දෙනකු පවසන්නේ. එමෙන්ම එය විමර්ශනවල ස්වාධීනත්වයට ද බලපෑ හැකි බව ඔවුහු පෙන්නා දෙති.
"මේක තනිකරම ප්‍රෝඩාවක්. ජිවිත තර්ජන තියෙනවා ඒ ගැන හොයා බලන්න කියලා ඉල්ලමින් පොලිස්පතිට යවපු ලියුම භාර කෙරුණු පොලිස් ප්‍රධානියාටම එම ලියුමේ හිමිකරුගේ ඝාතන පරික්ෂණයත් භාර දීලා. මේවා විහිළු නෙමෙයි, අතිශය භයංකාර දේවල්. හරියටම අපරාධයක හවුල් කාරයෙක්ට ඒ අපරාධයට යුක්තිය ඉටු කර දෙන්න කියලා භාර දුන්නා හා සමාන වැඩක්," යනුවෙන් චෝදනා කරන්නේ සමගි ජන බලවේගයේ පාර්ලීමේන්තු මන්ත්‍රි මුජිබුර් රහුමාන් ය.
ඔහු දැඩිව පවසා සිටියේ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීම නොතකා හැර කටයුතු කළ සියළු පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
" මේ කාටවත් මේකෙන් ගැලවෙන්න බෑ ඒ කවුරුවත් තමන්ගේ රාජකාරිය, වගකීම හරියට ඉටු කරලා නෑ. පොලිස්පතිවරයාගේ ඉඳලා මිදිගම ඕ.අයි.සී දක්වාම හැමෝම කරලා කරලා තියෙන්නේ ලියුම එක එක්කෙනාට පාස් කරන එක විතරයි. එහෙම නම් ඒ වගකීම ඉටු නොකරපු අයත් මේ ඝාතනයට අනියමින් හරි වගකියන්න ඕනේ නැද්ද? එහෙම නම් කොහොමද ඒ පොලිස් කණ්ඩායමේ ප්‍රධානියාටම මේ ඝාතන විමර්ශනයේ අධික්ෂණයත් භාර දෙන්නේ? " යනුවෙන් ප්‍රශ්න කරන මන්ත්‍රී මුජිබුර් රහුමාන් වැඩිදුරටත් පවසන්නේ පොලිස්පතිවරයා ද මේ ඝාතනයට වගකිව යුතුව ඇති බවයි.
"පොලිස්පතිට බෑ මේ වගකීමෙන් මිදෙන්න. මේ ඝාතනය ගැන ස්වාධීනව, අවංක පරික්ෂණයක් පවත්වන්න ඔහුට උවමනාවක් තියෙනවා නම් ඔහු කරන්න ඕනේ වෙනත් නිලධාරියෙකු යටතට මේ විමර්ශනය භාර කරන එක. "
පොලිස්පතිත් වග කියන්න ඕනේ
ඕනෑම රාජකාරි ආවරණ ලිපියක් ඉහළ සිට පහළට යොමු කිරීමේදි ඒ සැම නිලයක් විසින්ම යම් සටහනක් ලිපියේ යෙදීම පිළිගත් සාමාන්‍ය ක්‍රමවේදය වන අතර, පොලිස්පතිවරයා සහ ඔහුගෙන් නියෝගය ලද දකුණු පලාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති කිත්සිර ජයලත් විසින් ද ඒ ආකරයෙන්ම එම ලිපියේ සටහන් තබා තිබිය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එසේ නම් විමර්ශකයන් විසින් ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුව තිබේ. නමුත් පොලිස්පතිවරයා විසින් සිදුකර තිබෙන මෙම ක්‍රියාව නිසා විමර්ශකයන් හට තව දුරටත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇත. මන්ද පොලිස්පති විසින් ස්වාධීන විමර්ශකයන්ගෙන් තොරව පරික්ෂණ මෙහෙයවීමට පත් කර ඇති පුද්ගලයාම හෝ සියළු දෙනාම හෝ මරණකරුගේ ජීවිතාරක්ෂාව පිළිබඳ ඉල්ලීම නොතකා හල හෝ අවතක්සේරු කළ අය හෝ වීමේ ඉඩක් පවතින බැවිනි.
එම තත්වය පෙර සුදානමක් හෝ යම් සැලසුම් සහගත ක්‍රියාවක් දැයි හෝ සැක මතු කිරීමට හේතුවන අනෙක් සිදුවීම වන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි ෆ්‍රෙඩ්රික් උදය කුමාර වුට්ලර් විසින් මාධ්‍ය හමුවේ පවසා ඇති කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමේදී ය.
" සාමාන්‍යයෙන් පොලීසියෙන් ආරක්ෂාව දෙන්නේ සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට පමණයි. අපරාධකරුවන්ට හෝ විත්තිකරුවන්ට ආරක්ෂාව සපයන්න ප්‍රතිපාදන නෑ."
එම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ සැකකරුවකු හෝ අපරාධකරුවකු ලෙස හඳුන්වන හෝ හඳුනා ගන්නා යමකුගේ ජීවිතයට වටිනාකමක් නොමැති බවද? නොඑසේ නම් එවැනි පුද්ගලයන් මරා දැමීම හෝ විනාශ කිරීම හෝ පොලීසියට ගැටළුවක් නොවන බවද? සාමාන්‍ය පුද්ගලයන් සේම යම් අපරාධයක සැකකරුවකුද ආරක්ෂා කිරීම නීතියේ වගකීමකි. අපරාධකරුවකු හෝ සැකකරුවකු හෝ මරා දැමීමට ඉඩ දීම මගින් ඔහු විසින් සිදු කර ඇති අපරාධවල වින්දියන්ට යුක්තියක් ඉටු නොවන්නේ ය. දඬුවම් නියම කිරීම අධිකරණයේ වගකීමක් මිස පොලිසියේ හෝ වෙන යම් පාර්ශවයක කාර්යයක් නොවේ. සැකකරුවකු වේවා අපරාධකරුවකු වේවා ඝාතනය කර දැමිමට ඉඩ දීමේ ක්‍රමවේදයක් පැවතිය නොහැකිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මතයම එයට පෙර පාර්ලීමේන්තුව හමුවේ කියා පෑවේ පොලිසිය භාර, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසිනි.
ඇමැතිගේ නඩු තීන්දුව
" ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් බවට පත් වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්. මොහුට නඩු 6 ක් තියෙනවා. මාතර මහාධිකරණයේ නඩු දෙකක් තියෙනවා. කුරුණෑගල මහාධිකරණයේ නඩු දෙකක් තියෙනවා. ගාල්ල අධිකරණයේ නඩුවක් තියෙනවා. සිර දඬුවම් ලබා තියෙනවා. අත්හිටවු සිරදඬුවම් මතයි ඔහු ඉඳලා තියෙන්නේ. ඔහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි."
මහජන ආරක්ෂක ඇමැතිවරයා එසේ කියා පෑම මගින් අදහස් කරනුයේ නාදුණන තුවක්කුකරුවන් විසින් අපරාධකරුවකු වෙඩි තමා මරා දැමීමේ වරදක් නොවන බවද?
අනෙක් පසින් වැලිගම ප්‍රදේශිය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සිදුවන බවට පොලිසිය සහ ආණ්ඩුව දැන සිටි බව මෙම ප්‍රකාශවලින් ගම්‍ය නොවන්නේද?
වඳ සැත්කම් බිල්ලෙක් මැවු කිත්සිරි ජයලත්
දකුණු පලාත් භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යනු වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි ට එරෙහිව 2019 දී වඳ සැත්කම් චෝදනා ඉදිරිපත් කරමින් එම වෛද්‍යවරයා සිරගත කරන්නට කටයුතු කළ ප්‍රධානතම පුද්ගලයෙකි. අතුරලියේ රතන භික්ෂුව, කුරුණෑගල රෝහලේ එවකට අධ්‍යක්ෂක වෛද්‍ය සරත් බණ්ඩාර වීරසේකර ඇතුළු සිංහල ජාතිවාදී පිරිස් සමඟ එකතුව වෛද්‍ය ෂාෆි ට එරෙහිව ව්‍යජ චෝදනා නගමින් සිංහල මව්වරුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නට නියෝග නිකුත් කර තිබුණේද ඔහු විසිනි. කිත්සිරි ජයලත් කිසිදු පදනමකින් තොරව අනීතිකව කටයුතු කර ඇතැයි අධිකරණයට කරුණු වාර්තා කළේද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්මය. එම චෝදනා ගොනු කරන ලද්දේ වෙනත් කිසිවකු විසින් නොව මාලිමා රජයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ශානී අබේසේකර ගේ මෙහෙයවීම මතය. ඔහුගේ ඉහළ නිලධාරියා මෙන්ම අධීක්ෂණ ප්‍රධානියා ද වූයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව එවකට සිටි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නයි. ඔහු වර්තමානයේ පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම්වරයායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා මත පදනම්ව කිත්සිරි ජයලත් ට එරෙහිව විනය පරික්ෂණ සිදු කරනු ලැබුවේ නම් වර්තමානය වන විට ඔහු සිටිය යුතු වන්නේ මාතර දිසාව භාරව නොව සේවය අත්හිටුවා චෝදනා පත්‍රයට පිළිතුරු බඳින මට්ටමකය.
" අපි දන්නවා මේ කිත්සිරි ජයලත් ඩොක්ටර් ෂාෆි සම්බන්ධයෙන් කොහොමද වැඩ කළේ කියලා. ඔහු ඉතාම ද්වේශ සහගතව කිසිම පදනමක් නැතුව එම වෛද්‍යවරයාට විරුද්ධව බොරු චෝදනා එල්ල කරලා හිරේ දැම්මා. අන්තිමට මොකද වුණේ උසාවිය ඒ චෝදනා හැම එකක්ම බොරු ඒවා බවට ප්‍රකාශ කරලා ඩොක්ටර් ෂාෆිව නිදහස් කළා. ඒ විතරක් නෙමෙයි කිත්සිරි ජයලත් වැරදියි කියලා ශානි අබේසේකර, රවි සෙනෙවිරත්න ලා ම තමයි වාර්තා ඉදිරිපත් කෙරුවේ. දැන් ඒ හැමෝම එකතු වෙලා අපරාධ යට ගහනවා," යැයි කියා සිටියේ පාර්ලීමේන්තු මන්ත්‍රි මුජිබුර් රහුමාන් ය.
වෛද්‍ය ෂාෆිට එරෙහිව ඇති චෝදනාවලින් ඔහු නිදහස් කොට එම චෝදනා නිශ්ප්‍රභ කරන බවට 2024 ඔක්තෝබර් 06 දා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වු වෛද්‍යවරයා කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වැනි තනතුරු අපේක්ෂාවෙන් තමන් සහ තම පවුලේ අය බිල්ලට දීම වැරදි දෙයක් බවයි.
මාධ්‍ය මෙහෙයුම්
BBC පුවතක්වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා නාදුණන තුවක්කුරුවකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආදීන් විසින් මරණකරු පිළිබඳන එල්ල කරන පාතාල සබඳතා සහිත ප්‍රකාශ කිසිදු වග විභාගයක් හෝ සොයා බැලීමකින් හෝ තොරව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් දිගින් දිගටම ලියා ප්‍රසිද්ධ කරමින් සිටින්නේය. කවර හෝ තරාතිරමක පුද්ගලයකු මරා දැමිය හැකිද? එසේ කිරීම නීතියට එකඟද යන වග ඒ කිසිදු මාධ්‍යයක් විසින් බලධාරින් වෙතින් පෙරලා ප්‍රශ්න කළ බවක් පෙනෙන්නට නැත. පොලිසිය සහ මහජන ආරක්ෂක ඇමැතිවරයා මියගිය සභාපතිවරයාගේ ' අතීත පැටිකිරිය' මෙතරම් ම හොඳට දැන සිටියේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළේ පාර්ලිමේන්තුවේද ප්‍රශ්න කරමින් මන්දැයි මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ ආනන්ද විජේපාල වැනි අයකු සමග පාර්ලිමේන්තුවේ එකට වාඩිගැනීමට සිදුවීම ලැජ්ජා සහගත බවයි.
මේ වන විට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ අධීක්ෂණය යටතේ මාතර කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කුමාර ගේ ප්‍රධානත්වය සහිත පොලිස් කණ්ඩායම් හතරක් ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාලව පත් කොට ඇති බව පොලිසිය පවසයි. කෙසේ නමුත්, එම පරික්ෂණ කණ්ඩායම්වලට තම ඉහළ නිලධාරින් වෙතින් ප්‍රශ්න කරන්නට හෝ ඔවුන් විසින් අතපසු කරන ලද දෑ පිළිබඳව තව දුරටත් සොයා බලා ඝාතනයේ සැලසුම්, ඒවාට ආධාර අනුබල දුන් පුද්ගලයන් පිළිබඳ තොරතුරු විමර්ශනයට හසු කර ගන්නට හෝ ඉඩක් ලැබේ දැයි සැක සහිතය.




