රටේ නීතිය හා සාමයට එල්ල වී ඇති අභියෝග හමුවේ මහජනතාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන්ගේ ආරක්ෂාව වහාම තහවුරු කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉල්ලා සිටින ලදී.
ඒ කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට අනුව අද (2025.10.31) පෙරවරුවේ පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සිදු කරනු ලැබුවේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බවයි.
එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් සඳහන් කළේ ආරක්ෂාව ඉවත් කිරීම දේශපාලනික තීරණයක් නම් මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව සැපයීමේ වගකීම කථානායකට පැවරෙන බවයි. එබැවින් වහාම සියළු මහජන නියෝජිතයින්ට ආරක්ෂාව සැපයීම පිළිබඳව උපදෙස් හා නියෝග පොලිස්පතිවරයාට ලබාදීම කථානායකවරයා විසින් සිදුකළ යුතු බව මන්ත්‍රීවරුන් විසින් අවධාරණය කරන ලදී.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඇගයීම් සිදු කොට වාර්තාවක් සකසන බවට මීට පෙර සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව මන්ත්‍රීවරුන් මෙහිදී විමසා සිටි අතර, එම ඇගයීම් සිදු කොට අවසන් වී ඇතැයි පොලිස්පති සඳහන් කළේය.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවත්, මහජනතාව වෙනුවෙන් ඉටු කරනු ලබන සේවාවන් ඉටු කිරීමේදී මහජන නියෝජිතයින් ආරක්ෂාව පිළිබඳව උද්ගත වී ඇති අභියෝගය හඳුනාගෙන කටයුතු කිරීමත් වැදගත් වන බවයි.
එමෙන්ම, මේ මොහොතේ අභියෝගයට ලක්ව ඇති පළාත් පාලන රැස්වීම් සහ මහජන දින පැවැත්වීම් වලට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
මෙම අවස්ථාවට කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සමග රංජිත් මද්දුම බණ්ඩාර, රවී කරුණානායක, ජේ.සී. අලවතුවල, නෝ ගනේෂන්, පලනි දිගම්බරම්, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, එස්.එම්. මරික්කාර්, සුජිත් සංජය, දිලිත් ජයවීර, ජගත් විතාන ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වු අතර, මන්ත්‍රී රාමනාතන් අර්ච්චුනා මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ විය.






