*සියලු අතුරුදහන් කිරීම් වලට දැන්වත් යුක්තිය ඉටුකරනු!
*තවත් මර්ධන පනතක් එපා! - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු!
*සියලු ජාතික ජන කොටස් වලට සම අයිතිය තහවුරු කරන ව්‍යවස්ථාවක් සඳහා එක්ව සටන් වදිමු!
අපරාධ නොකරන සමාජයක් නිර්මාණය වීමට නම් සිදුවුණු අපරාධවල සත්‍ය සමාජයට හෙළිදරව් කළ යුතු බවත්, ඒතැනින් නතර නොවී මේ දැවැන්ත අපරාධවලට දායක වූ ඝාතකයින්ට ඳඬුවම් ලබා දිය යුතු බවත් '''සම අයිතිය ව්‍යාපාරයේ'' කැඳවුම්කරු, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ "චෙම්මනි නැවත වළ දැමීමට ඉඩ නොදෙනු! සත්‍ය හෙළිදරව් කරනු!!" යන මැයෙන් සම අයිතිය ව්‍යාපාරය යාපනය තන්දෙයි චෙල්වා ශාලාවේදී ඊයේ (01) පැවති සම්මන්ත්‍රණයක දී ය.
එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා...
මේ අපරාධවලට යුක්තිය ඉල්ලා සටන් කිරීම අපේ වගකීමක්

"චෙම්මනි නැවත වළ දැමීමට ඉඩ නොදෙනු !" කියන සාකාච්ඡාව සමාජය ඉදිරියේ තබන්නට ඇයි මේ වෙලාවේ සම අයිතිය ව්‍යාපාරය විදිහට අපි කටයුතු කරමින් ඉන්නේ ? චෙම්මනි ඇතුළු සියදහස් ගණන් සමූහ මිනීවලවල් මේ මහපොළොව යට තියනවා. අමානුෂික විදිහට ඝාතනය වුණු ඒ මිනිස්සුන්ට තවමත් කිසිඳු යුක්තියක් ඉටු වෙලා නැහැ. ඉතින් මේ අපරාධවලට යුක්තිය ඉල්ලා සටන් කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ අපිට.
චෙම්මනි කියන්නේ පස්වලට යට කරලා අමතක කරලා දාන්න පුළුවන් ඛේදනීය සිහිනයක් නෙවෙයි. මුළු මහත් ශිෂ්ටාචාරය විසින් ම චෙම්මනි සමූහ ඝාතනය සඳහා යුක්තිය ඉල්ලන්නේ නැවත එවැනි අපරාධ සිදු නොවීම පිණිස. අපරාධ නොකරන සමාජයක් හැදෙන්න නම් අපි සිදුවුණු අපරාධවල සත්‍ය සමාජයට හෙළිදරව් කරන්න ඕන. ඒ විතරක් මදි මේ දැවැන්ත අපරාධවලට දායක වූ ඝාතකයින්ට ඳඬුවම් ලැබෙන්නත් ඕන. අන්න ඒ සඳහා තමයි සම අයිතිය ව්‍යාපාරය විදිහට අද යාපනය නගරය ඇවිත් ඔබ එක්ක මේ සාකාච්ඡාව ආරම්භ කරන්නේ.
සූරියකන්ද හෑරීම නැවතුණ හේතුව
මම අද සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු වුනාට 88 - 89 කාලේ මම තමයි යුද්ධ හමුදාවේ නිත්‍ය ඡායාරූප ශිල්පියා විදිහට කටයුතු කළේ. ඒ කාලේ මට මතකයි බටලන්ද ඇතුළු වධකාගාරවල දහස් ගණනක් අමානුෂික විදිහට ඝාතනය වුණ විදිහ. ඒ ඝාතනය වූවන්ගේ ඡයාරූප ගත්තේ මම. ඒ නිසා රෝහණ විජේවීර ඇතුළු දහස් ගණනක් ඝාතනය වූවන් වෙනුවෙන් මට සාක්ෂි දෙන්න පුළුවන්.
අසූව දශකයේ ඒ මහා ඛේදවාචකයට පස්සේ ඒ ඝාතනවලට යුක්තිය ඉටු කරනවා කියලා බලයට අවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි දැක්කා චන්ද්‍රිකා ජනාධිපතිනිය කඳුළු පිසිමින් සූරියකන්ද සමූහ මිනී වළ හාරනවා. හැබැයි ඇයගේ හැරීම එක්තරා සීමාවකින් නැවතුණා. ඇයි ඒ ? ඒ ඊට වඩා යටට හෑරුවනම් ඊටපස්සෙ මතුවෙන්නේ එයාගෙම අම්මා වළදාපු මිනී.
ඊටපස්සෙත් පාලකයෝ අතුරදන් වූවන්ගේ මව් පෙරමුණු හැදුවා. අම්මලාගේ කඳුළු විකුණුවා. කොමිශන් සභා පත් කළා අතුරුදන් වූවන් ගැන හොයන්න. මම එදා සිරකරුවෙක් විදිහට මාංචු පිටින් මේ කොමිෂන් සභාවලට ගිහින් සාක්ෂි දුන්නා. පිටු ගණං ලිඛිත කටඋත්තර ලබා දුන්නා. හැබැයි මේවට මොකද වුණේ? කිසිවක්ම වුණේ නැහෑ. සමූහ මිනීවලවල් පස් යට ම වැහිලා ගියා. කොමිෂන් සභාවලින් අන්තිමට වුණු දෙයක් නෑ.
මුතාලිෆ් ගේ පැටිකිරිය
තරුණියන් සිය ගණං මේ වධකාගාර ඇතුළේ හමුදා ප්‍රදානීන් අතින් දිනපතා දූෂණය වුණා. මම දවසක් යටාරව කැපටේරියා වධකාගාරයට ඡායාරූප ගන්න යනකොට දැක්කා තරුණියෝ දහදෙනෙක් බලහත්කාරයෙන් රඳවගෙන ඉන්නවා. ඔවුන්ට දරුණු විදිහට වද දීලා. ඒ කාලේ මේ වධකාගාරය පාලනය කරපු කර්නල් තුවාන් මුතාලිෆ් කියන අලුගෝසුවා මේ තරුණියන්ව මරා දැමුව කියලා හමුදාවට නිල වශයෙන් දැනුවත් කරලා ඒ තරුණියන්ව රහසිගතව මේ වධකාගාරයේ කාමරවල හිරකරගෙන හිටියා. දිනපතා ඔවුන්ව සමූහ දූෂණයට ලක් කළා. අන්තිමට වධකාගාරය අත් හරින දවසේ තමයි ඒ තරුණියන් දසදෙනාව මරල දාලා තිබුණේ.
ඒ මුතාලිෆ් ඊටපස්සෙ 90 දශකයේ උතුරට ගිහිල්ලත් කළේ එවැනිම අළුගෝසු ක්‍රියා තමයි. හැබැයි අද ඔහුව යුද වීරයෙක් විදිහට දකුණේ සමාජය අදහනවා. මේ එක සිද්ධියක් විතරයි. මෙවැනි සිදුවීම් දහස් ගණනක් එදා සිදු වුණා.
සෝමරත්න රාජපක්ෂ හමුදා නිලධාරියා ගේ සාක්ෂිය

ක්‍රිශාන්ති කුමාර්ස්වාමී කියන පාසල් දැරිවිය
අද අපි කතාකරන චෙම්මනි සමූහ මිනීවල කියන්නෙත් මේ වගේම ඛේදනීය කතාවක් සඟවාගත් තැනක්. එදා ක්‍රිශාන්ති කුමාර්ස්වාමී කියන පාසල් දැරිවිය අමානුෂික විදිහට දූෂණය කරලා ඝාතනය කළේ මේ චෙම්මනි ප්‍රදේශයේ දී. ඇයගේ අතුරදන් වීම සොයාගෙන ගිය ක්‍රිශාන්තිගේ අම්මවත් එතනින් එහාට ඇයගේ පවුලේ විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ දී හමුදාව අතින් ඝාතනය වුණා. ඒ හැමෝව ම ඝාතනය කරලා වළ දාලා තිබුණේ චෙම්මනි සමූහ මිනීවල ඇතුළෙ.
මේ මිනී වළ ගැන මුල්වරට රටට හෙළිදරව් වුණේ ක්‍රිශාන්තිගේ ඝාතනයට විරුද්ධව අත් අඩංගුවට ගත්ත සෝමරත්න රාජපක්ෂ කියන හමුදා නිලධාරියාගේ සාක්ෂියක් එක්ක. එදා දූෂණය කරලා මරලා දාපු ක්‍රිශාන්ති කුමාරස්වාමි කියන පාසල් දැරිය ඇතුළු දෙතුන් සියයක් ඝාතනය වූවන් මේ ප්‍රදේශයේ වළ දැම්මා කියලා ඔහු සාක්ෂි දීලා තිබුණා.
මිනිස් ශිෂ්ටාචාරය ම භීතියෙන් කිලිපොළා යන භූමියක්
අපි දන්නවා 1997 දී අම්පාරේ දී කෝනේශ්වරී මරා දමන්නේ පොලිස් නිලධාරීන් දසදෙනෙක් එකතුවෙලා දූෂණය කරලා. ඊට පස්සෙ ඇගේ යෝනියට අත්බෝම්බයක් දාලා පුපුරුවා හැරියා. ඒ වෙද්දි ඇය දෙදරු මවක්. අපි දැක්කා එදා මේ වගේම තමයි මනම්පේරී තරුණිය ඝාතනය කළේ. හැබැයි ඇගේ මරණයට තරම්වත් පවුල් පිටින් සමූළ ඝාතනය වුණු චෙම්මනියේ ක්‍රිෂාන්ති කුමර්ස්වාමි වෙනුවෙන් සමාජය සංවේදි වුණේ නෑ. මේ වෙද්දි ඇය මියගිහිල්ලා අවුරුදු 29ක්. චෙම්මනි සමූහ මිනී වළේ මුල් ම කැණීම් ආරම්භ වුණෙ 1999 අගෝස්තු මාසේදි. ඒ කියන්නේ චෙම්ම්නි ප්‍රශ්නය උඩට ඇවිල්ලත් අවුරුදු 26ක්. එදා සුන්දර ප්‍රදේශයක් වුණ චෙම්මනිය කියන්නේ මුළු මහත් මිනිස් ශිෂ්ටාචාරයම භීතියෙන් කිලිපොළා යන විදිහේ අපරාධ සිදුවුණු භූමියක් වෙලා ඉවරයි.
ජාතිවාදයේ තුවාල සුවපත් වීමට නම්...
දැන් යුද්ධය අවසන්වෙලා අවුරුදු 17ක් ගෙවිලා ඉවරයි. එහෙම මොහොතක චෙම්මනි සමූහ මිනී වළ ගැන සාකාච්ඡාව ආයෙමත් සමාජය ඉදිරියේ තියනවා. අවුරුදු 26ක් තිස්සේ පත් වුණු ආණ්ඩු මේ මහා අපරාධය ගැන සිදුවුණු පරීක්ෂණ යටගහන්න විවිධ උත්සාහයන් ගත්තා. චෙම්මනි සමූහ මිනී වළේ කැණීම් කරන්න ප්‍රතිපාදන වෙන් වුණේ නැහැ. එවැනි තත්ත්වයක් ඇතුළෙ තමයි මිනිස්සු ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ගෙනාවේ. හැබැයි ඔවුනුත් චෙම්මනි ප්‍රශ්නය මාධ්‍ය සංදර්ශනයකට සීමා කරලා.
චෙම්මනි සමූහ මිනී වළේ තියෙන ඇටසැකිලිවල අයිතිකාරයින් කවුද? ඔවුන් ඝාතනය වුණේ කොහොමද? ඒ ඝාතකයින් කවුද? කියන ප්‍රශ්න තවමත් සමාජය ඉදිරියේ තියනවා. ඒවට උත්තර නොදී මගහැර යන්න අපිට අයිතියක් නැහෑ. ජාතිවාදයේ තුවාල සුවපත් වෙන්නේ සිදුවුණු අපරාධවලට යුක්තිය ඉටු වුණොත් විතරයි. හැබැයි ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වෙන්න සූදානම් නැත්තම් සම අයිතිය ව්‍යාපාරය විදිහට අපි ඉඩ තියන්නේ නෑ චෙම්මනි සමූහ මිනී වළ පස් යට වළ දමන්න.
සමූහ පරිකල්පනයකින් ඔබ්බට යුක්තිය දිනාගැනීමට නම්...
චෙම්මනි සමූහ මිනී වළ ඇතුළු පසුගිය ආණ්ඩු ගණනාවක් විසින් ඝාතනය කළ, අතුරදන් කළ සියල්ලන් ගැන විධිමත් පරීක්ෂණයක් වෙන්න ඕන. ඒ සඳහා මූලික පියවර චෙම්මනියෙන් ආරම්භ කරන්න ආණ්ඩුවට පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ ජාතික ගැටලුව විසඳීම සඳහා ප්‍රවේශයක් ගැනීමේ වගකීමත් මේ ආණ්ඩුවට තියනවා.
හැබැයි ආණ්ඩුව නෑසු කනින් මේ දේවල් දිහා බලාගෙන ඉන්නව නම් අපි හිතනවා ජනතාව ඒ සඳහා මැදිහත් වෙන්න ඕන. උතුරේත් දකුණේත් සියලු ජනතාව එකතුවෙලා චෙම්මනි ඇතුළු මෙවැනි ඝාතනවලට යුක්තිය ඉල්ලා සටන් කරන්න ඕන කාලය දැන් ඇවිත්. අපි හිතනවා එවැනි සමූහ පරිකල්පනයකින් මෙහා යුක්තිය දිනාගන්න වෙන්නේ නෑ. ඒ සටන සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, මලෛහ මක්කල් සියලු ජනතාව එක්ක අත්වැල් බැඳගන්න සම අයිතිය ව්‍යාපාරය විදිහට අපි සූදානම්."
( සටහන - ජයසිරි අලවත්ත)





