ඒ යුතුකම ඉටු කළ හේතුවෙන් දඬුවම් ලබනවා නම් මින් ඉදිරියට කිසිවකු රටේ සිදුවන දූෂණ හෙළි කිරීම සඳහා කටයුතු කටයුතු නොකරනු ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය අද (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...
පොලිස්පති නියෝජ්‍ය පොලිස්පතිට බැණලා
''පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත පොලිස් කොමිසම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව තමයි පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශවයින්ට ලබා දීමයි. ඇත්තෙන්ම මේක අතිශයින්ම භයානක පූර්වාදර්ශයක්. මේකට දැන්ම තිත තැබුවේ නැතිනම් අනාගතයේ දී අනිවාර්යේන්ම ලංකාවේ දූෂණයක් සොයන්න බැරි වෙනවා.
පොලිසියට බැනියම් මිල දී ගැනීමේ දී පිරිවිතරයේ සඳහන් කොන්දේසි සම්පූර්ණ නොකළ ඉහල මිලක් ඉදිරිපත් කර තිබුණු සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය පිරිනැමූ බවට පොලිස්පතිට චෝදනාවක් එල්ල වුණා. මිල අඩු සමහර කොන්දේසි සම්පූර්ණ කරන්න අසමත් වුණු සැපයුම්කරුවන්ට අඩුපාඩු සකසා සැපයීමට අවස්ථාව නොදී මිල වැඩි අයෙකුට තමන්ගේ අඩුපාඩු සකසා බැනියම් සපයන්න කියලා දැනුම් දීලා. නමුත් මේ සැපයුම්කරු අඩුපාඩු සකසන්නේ නැතිවම තමයි බැනියම් 175,000 සපයන්නේ. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි ඒවා භාර ගැනීම ප්‍රතික්ෂේප කළාම පොලිස්පති ඔහුට බැණලා ඒවා භාර ගන්න කිව්වාලු.
නළා පිඹින්නාගේ රාජකාරිය
මෙන්න මේ කතාව තමයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මාධ්‍යවේදි බිමල් රුහුණුගේට කියන්නේ. පතිනායක මේක කියන්නේ සමාජ මාධ්‍යවල දාලා පොලිස්පතිට මඩ ගහන්න කියලා නොවේ. මාධ්‍යවල දාලා මේක ප්‍රසිද්ධ කරන්න කියලා නොවේ. මේ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න කියලා. ඉතින් ඒකේ දඬුවම් ලබන්න තිබෙන වරද්ද මොකක්ද? මුකුත්ම නෑ. අල්ලස් කොමිසම රට පුරා පෝස්ටර් ගහලා සම්මන්ත්‍රණ තියලා ජනතාවට කියන දේ තමයි රාජ්‍ය ආයතනයක සිදුවන දූෂණයක් අල්ලස් කොමිසමට දැනුම් දීම පුරවැසියන්ගේ යුතුකම කියලා. පතිනායක කරලා තිබෙන්නේ ඒ යුතුකම. ඒ යුතුකම ඉටු කරන්න ගිහින් දඬුවම් ලබනවා නම් කවුරුවත් රටේ සිදුවන දූෂණ හෙලි කරන්න කටයුතු කරන එකක් නෑ.
පතිනායක ඉටු කරලා තිබෙන්නේ විස්ල් බ්ලෝවර් නැතිනම් නළා පිඹින්නාගේ රාජකාරිය; දූෂණයක් වන විට ඒ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරන එක. එවැනි අය රැක ගැනීමට දූෂණ විරෝධි පනතේ විධිවිධාන තිබෙනවා. අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන තිබෙනවා. එහෙම නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි පතිනායකට විරුද්ධව නොවේ. මාධ්‍යවේදියා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර දුරකතන සාකච්ඡාවේ හඬ පට එළියට දාලා දූෂණයක තොරතුරු හෙළි කරපු පතිනායකව හෙළිදරව් කරලා එයාව අවදානමක දැම්ම පුද්ගලයින්ට විරුද්ධව. අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වගේම අල්ලස් කොමිසමත් පතිනායක රැක ගන්න පෙරට ඒවි කියලා අපි ඉතාම අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.
පොලිස්පතිතුමාගේ කිල්ලෝටයෙත් හුනු
පොලිසියේ ලිපි ගොනුවල තිබෙන තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳ දඬුවම් කරනවා නම් මුලින් ම දඬුවම් කරන්න ඕනි පොලිසිය භාර ලේකම් රවි සෙනෙවිරත්නට. 2024 දී තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරද්දී තමන්ට එරෙහිව තිබෙන විමර්ශන ගොනුවේ තිබෙන සියලු ම ලේඛණ රහස් පොලිසිය ඇතුළෙ ඉන්න ගෝලයෝ හරහා අරගෙන නඩුවට ගොනු කළා. එදා පොලිසියේ නිලධාරින් සැකකරුවෙක් අත්අඩංගුවට පත්වන එක වළක්වන්නයි පොලිස් ලිපිගොනුවක තොරතුරු එළියට දුන්නේ. එදා රවි සෙනෙවිරත්න පොලිසියේ ලිපි ගොනු හෙළිදරව් කළේ තමන්ගෙ ගැලවිජ්ජාවට.
ලලිත් පතිනායක පොලිසියේ ලිපි ගොනු හෙළිදරව් කරන්නේ දූෂණයක් හෙළිදරව් කරන්න. එහෙව් රවි සෙනෙවිරත්නට පොලිසිය භාර ලේකම් ධුරය දීලා පතිනායකට දඬුවම් කරන එකේ තිබෙන පදනම මොකක්ද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. පොලිස්පතිතුමා ඇත්තටම අවංක නම් කළ යුතුව තිබුණේ පතිනායකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන එක නොවේ. පොලිස් කොමිසමට රහස් පොලිසියට පැමිණිලි කරන එක නොවේ. තමන්ට එරෙහිව තිබෙන දූෂණ චෝදනාව පිළිබඳ සියලු ම තොරතුරු අල්ලස් කොමිසමට දීලා සාධාරණ විමර්ශනයක් කරවලා තමන්ගේ නම පිරිසිදු කර ගන්න එක. චෝදනාවෙන් නිදහස් වෙනවා වෙනුවට චෝදනා කරන කෙනාට දඬුවම් කිරීමෙන් පේන්නේ පොලිස්පතිතුමාගේ කිල්ලෝටයෙත් හුනු තිබෙන බවයි.
විශාඛාවට ධනංජය සිටු පියාණන් දුන් අවවාදය
පොලිස්පතිතුමාට විශේෂ පණිවිඩයක් තිබෙනවා. ජ්‍යේෂ්ඨයෙකු නොසලකා කණිෂ්ඨයෙකු පොලිස්පති කළාම ඒ දෙන්නා අතර සීතල යුද්ධයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. එච්. එම්. ජී. බී. කොටකදෙණිය නොසලකා මුලින් ම ආනන්දරාජා පොලිස්පති කළා. ඊට පස්සේ ලකී කොඩිතුවක්කු පොලිස්පති කළා. එතැන සීතල යුද්ධයක් තිබුණා. ඒ වගේම මෑතක දී පූජිත ජයසුන්දර පොලිස්පති කළේ ජ්‍යෙෂ්ඨයා වුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ නොසලකා හරිමින්.
මේ කිසි අවස්ථාවක නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට එරෙහිව පොලිස්පති රහස් පොලිසියට දිව්වේ නෑ. මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළෙත් නෑ. ඒක කැතයි. හිරිකිතයි. ලැජ්ජයි. පොලිස්පති ධූරයට ගැළපෙන්නේ නෑ. ඒ නිසා විශාඛාවට ධනංජය සිටු පියාණන් දුන් අවවාදය ම යි මම පොලිස්පතිතුමාටත් දෙන්නේ. ඇතුළු ගිනි පිටතට නොදෙව.
විපක්ෂයත් ආණ්ඩුවත් අතර ඩීල් එකක්...?
නොවැම්බර් 21 දා නුගේගොඩ පැවැත්වෙන රැස්වීමට විපක්ෂයේ සමහර පක්ෂ ප්‍රතිපත්තිමය හේතුන් මත සහභාගි වෙන්නේ නෑ කියලා තිබුණා. නමුත් එක පක්ෂයක් හැර අනිත් සෑම පක්ෂයක් ම අපට සුබ පතලා තිබුණා. මේ රැස්වීමට සහභාගි නොවීම තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක විවේචනය කරන්නේ ආණ්ඩුවයි විපක්ෂයේ තිබෙන එකම එක පක්ෂයකුයි විතරයි නම් ඒ පක්ෂයත් ආණ්ඩුවත් අතර ඩීල් එකක් තිබෙන බව පැහැදිලියි. ආණ්ඩු විරෝධි රැස්වීමකට ආණ්ඩුව බය වීම තේරුම් ගන්න පුළුවන්. ඒත් විපක්ෂයේ පක්ෂයක් බය වෙලා තිබෙන්නේ ඇයි? විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම මේ රැස්වීමට සහභාගි වෙන්නේ නැත්තේ ප්‍රතිපත්තිමය එකඟතාවයක් නැති නිසා යැයි කියා තිබුණා. ඒක වැරදි අවබෝධයක්. ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇති කර ගන්න මේක ආණ්ඩුවක් හදන සංධානයක් නොවේ. මේක ආණ්ඩු විරෝධි රැළියක් විතරමයි.
දුන් පොරොන්දු ඉටු කරනු කියලා ආණ්ඩුවට බල කරන්න ප්‍රතිපත්තිමය එකඟතා ඕනෑ ද? රට පාලනය කරන්නේ පට්ට හොරු රැලක් කියලා පෙන්වා දෙන්න ප්‍රතිපත්තිමය එකඟතා ඕනෑ ද? මහජන නියෝජිතයින් මරා දාන මැතිවරණ අපේක්ෂකයින් මරා දාන වෘත්තීය සමිති නායකයින්ට පහර දෙන විපක්ෂයේ පක්ෂ කාර්යාල පොලිසියේ සහයෝගයෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගන්න වෙඩි තබා මිනිසුන් මරණ භීෂණයක් වපුරන ආණ්ඩුවට විරෝධය පල කරන්න ප්‍රතිපත්තිමය එකඟතා ඕනෑ ද?
මේක ත්‍රස්වාදීන් ගේ ආණ්ඩුවක්
බොහෝ දෙනෙක් සම්ප්‍රදායික විධියටයි ආණ්ඩුව ගැන හිතන්නේ. මේ තිබෙන්නේ සම්ප්‍රදායික ආණ්ඩුවක් නොවේ. ත්‍රස්තවාදින්ගේ ආණ්ඩුවක්. 1971, 1987 සහ 2022 දී ප්‍රචණ්ඩත්වයෙන් බලය ගන්න ගිහින් බැරි වෙලා ඉන්න අතරේ තමයි නොසිතූ වෙලාවක නොසිතූ විධියට තමන්ගේ ඔඩොක්කුවට බලය කඩා පාත් වුණේ. මේ අය ප්‍රජාතන්ත්‍රවාදීව බලය ආපසු භාර දෙන්නේ නැහැ. අපි බලය ලබා ගත්තේ නැවත දෙන්න නොවේ කියලා ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමා ජනවාරි 26 කිව්වා. මේ ආණ්ඩුව බලය ගත්තේ යන්න බලාගෙන නොවේ කියලා ජනාධිපතිතුමා කිව්වා.
නගරාධිපතිතුමෙක් කියනවානෙ බලය රැක ගැනීම වෙනුවෙන් ලක්ෂයක් වුණත් මරන්න ලැහැස්තියි කියලා. ඒ භීෂණයට එරෙහිවයි විපක්ෂය සමගි වෙන්න ඕනි. අද අපේ රටේ මතුවන භීෂණයම තමයි 1940 දශකයේ දී ජර්මනියේ හිට්ලර් ඇති කලේත්. ජනපති අනුර සහ ඇඩොලොෆ් හිට්ලර් අතර සමානතා හතක් තිබෙනවා. එදා හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කලාම ජීවත්වීමේ අයිතිය උදුරා ගත්තාම ලෝක බලවතුන් තමන්ගේ මතවාදි වෙනස්කම් ඓතිහාසික කෝන්තර සියල්ලම පැත්තකින් තියලා හිට්ලර්ට එරෙහිව සමගි වුණා. ධනවාදි ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වේල්ට්, සමාජවාදි සෝවියට් දේශයේ ජනාධිපති ජෝසෆ් ස්ටාලින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් රාජධානියේ අගමැති වින්ස්ටන් චර්චිල් මිත්‍ර සංධානයක් ගොඩ නැගුවා. එතැන තිබුණේ එකම එක අරමුණයි. ඒ හිට්ලර්ගේ ෆැසිස්ට්වාදය පරාජය කිරීමයි.
ඇමෙරිකාව ධනවාදය අත් හරින තුරු තමන් එන්නේ නෑ කියලා ස්ටාලින් කිව්වෙත් නෑ. සමාජවාදින් ඉන්නවා නම් බෑ කියලා රූස්වේල්ට් කිව්වෙත් නෑ. චර්චිල්ට ජනවරමක් නෑ කියලා වෙන කවුරුවත් කිව්වෙත් නෑ. එදා ෆැසිස්ට්වාදය පරාජය කරන්න කොන්දේසියක් විධියට සමාජවාදය අත් හරින්න කියලා ඇමෙරිකාව සෝවියට් දේශයට කොන්දේසි දැම්මා නම් ඒ දෙගොල්ලන් වාද කරන අතරේ හිට්ලර් මුළු ලෝකයම අල්ලා ගන්නවා.
ෆැසිස්ට්වාදය පරාජය කරන්න සමගි වෙමු
ඒ නිසා ලෝක නායකයෝ භීෂණය ඉදිරියේ අපිට දුන්නු ආදර්ශය අනුව යමින් ප්‍රතිපත්තිමය වෙනස්කම් පරණ කෝන්තර පෞද්ගලික අමනාපකම් සියල්ලම පැත්තක තියලා ෆැසිස්ට්වාදය පරාජය කරන්න සමගි වෙමු. සමගිව වැඩ කරන විට ප්‍රතිපත්තිමය එකඟතා හදා ගන්න පුළුවන් අයට බලය ගැනීම ඉලක්ක කරගෙන නැවුම් සංධානයක් ගොඩ නගා ගන්න පුළුවන්. අනිත් අයට හිට්ලර්ගේ පරාජයෙන් පස්සේ සීතල යුද්ධය යළි ඇරඹුවා වගේ වෙනම වැඩ කරන්නත් පුළුවන්. මේ වෙලාවේ ප්‍රතිපත්ති ප්‍රශ්න මතු කිරීමෙන් වෙන්නේ භීෂණයට එරෙහි සංධානයක් ගොඩ නැගීම කඩාකප්පල් වෙන එක විතරයි.''




