The Leader News
BREAKING
Top Ad
පුවත්

ශුද්ධාසනය සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් මග පෙන්වනවා - විජිත හේරත්

T

The Leader Desk

November 4, 2025 • 11:06 AM

ශුද්ධාසනය සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් මග පෙන්වනවා - විජිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2025 නොවැම්බර් 04 වැනි දින ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් අතිගරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් සමඟ පැවැති ක්‍රියාකාරී රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
  • මතු පළ වන්නේ අමාත්‍යවරයා එම අවස්ථාවේ දී කළ සම්පූර්ණ ප්‍රකාශයේ සිංහල පරිවර්තනයකි.
  • මෙම සංචාරය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කරයි.
  • මෙම ඉහළ මට්ටමේ සම්බන්ධතාව අපගේ සමීප සබඳතා සහ ඉදිරි වසරවලදී මෙම හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කිරීමට ඇති අප දෙරට සතු අන්‍යෝන්‍ය අභිලාශය පිළිබඳ පැහැදිලි පිළිබිඹුවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2025 නොවැම්බර් 04 වැනි දින ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් අතිගරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් සමඟ පැවැති ක්‍රියාකාරී රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මතු පළ වන්නේ අමාත්‍යවරයා එම අවස්ථාවේ දී කළ සම්පූර්ණ ප්‍රකාශයේ සිංහල පරිවර්තනයකි.

 

mf2
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් අතිගරු, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෙනි,

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සම්භාවනීය සාමාජිකයිනි / මිතුරනි,

අතිගරු පෝල් රිචඩ් ගැලගර් අගරදගුරුතුමන්ව අද මෙම අමාත්‍යාංශයේදී පිළිගැනීමට ලැබීම මම ඉමහත් ගෞරවයක් සේ සලකමි.

 

මෙම සංචාරය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කරයි. මෙම සංවත්සරය අප ආඩම්බරයෙන් සමරන විශේෂ අවස්ථාවක් වන අතර, මෙමඟින් දශක පහක මිත්‍රත්වය, සහයෝගීතාව සහ සාමය, මානව සංවර්ධනය සහ සමාජ සාධාරණත්වය සඳහා වූ හවුල් කැපවීම පිළිබිඹු කරයි. මෙම ඉහළ මට්ටමේ සම්බන්ධතාව අපගේ සමීප සබඳතා සහ ඉදිරි වසරවලදී මෙම හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කිරීමට ඇති අප දෙරට සතු අන්‍යෝන්‍ය අභිලාශය පිළිබඳ පැහැදිලි පිළිබිඹුවකි.

 

ශුද්ධාසනය දිගු කලක් පුරා, ජාත්‍යන්තර වශයෙන් සදාචාරාත්මක හඬ නැගීමක් ලෙස සේවය කරන අතර ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තු සහ වටිනාකම් සමඟ දැඩි ලෙස අනුකූල වන මූලධර්ම වන යුක්තිය, සංහිඳියාව, සාමය, නිරායුධකරණය සහ සියලු දෙනාගේ මානව හිමිකම් වැනි කරුණු වෙනුවෙන් මඟ පෙන්වයි.

පසුගිය දශක පහ තුළ, විශේෂයෙන් මානුෂීය සේවය, අධ්‍යාපනය, ආගමික සහජීවනය සහ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීම යන ක්ෂේත්‍රවල අපගේ සබඳතා බෙදාගත් වටිනාකම් මගින් ශක්තිමත් වී ඇත. කතෝලික පල්ලිය ශ්‍රී ලංකාවේ ආගමික හා සමාජීය භූ දර්ශනය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර, විශේෂයෙන් පශ්චාත් ගැටුම් සන්දර්භයන් තුළ ජාතිය ගොඩනැගීමට සහ සංහිඳියාවට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

1970 වසරේදී ශුද්ධෝත්තම හයවන පාවුළු පාප්තුමාගේ, 1995 වසරේදී ශුද්ධෝත්තම දෙවන ජුවාම් පාවුළු පාප්තුමාගේ සහ 2015 වසරේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ඓතිහාසික සංචාර අප ඉමහත්  කෘතඥතාවෙන් සිහිපත් කරමු. ඒ සෑම සංචාරයක්ම අපගේ ජනතාවගේ හදවත් තුළ සදාකාලික සලකුණක් තැබූ අතර අපගේ ජාතීන් අතර අධ්‍යාත්මික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කළේය.

 

mf1
2025 අප්‍රේල් 26 වැනි දින ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙයට සහභාගී වීම සඳහා වතිකානුවට මා මෑතකදී කළ සංචාරය මම ශෝකයෙන් හා ගෞරවයෙන් සිහිපත් කරමි. එම වැදගත් සිදුවීම ගෝලීය වේදිකාවේ ශුද්ධාසනයේ නොසැලෙන සදාචාරාත්මක හඬ නැගීම සඳහා වූ ශක්තිමත් සිහි කැඳවීමක් වූ අතර අප දෙරට අතර ශක්තිමත් සහ කල් පවතින ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ‍යළි තහවුරු කළේය. උන්වහන්සේගේ ගෞරවනීය නායකත්වය යටතේ ශුද්ධාසනය සමඟ අපගේ සම්බන්ධතාව ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වන බැවින්, ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව වෙනුවෙන් XIV වැනි ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේට අපගේ නිහතමානී ගෞරවය පළ කිරීමටද මම මෙය අවස්ථාවක් කර ගනිමි.

 

අද දින, අපගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ස්වර්ණමය ජුබිලිය සැමරෙන මේ මොහොතේ, ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර, විශේෂයෙන් ආගම, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, අන්තර් ආගමික සංවාද සහ මානුෂීය සහයෝගීතාව යන ක්ෂේත්‍රවල බහුවිධ සම්බන්ධතාය පිළිබඳව අපි සාඩම්බරයෙන් සිහිපත් කරන්නෙමු.

 

ශ්‍රී ලංකා-වතිකානු සබඳතා යා කෙරෙන මාවතක් ලෙස ක්‍රියා කරන ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාවේ දිගු කාලීන සහයෝගය සහ දායකත්වය පිළිබඳ සඳහන් කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි. ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය, ජාතිය ගොඩනැගීම, සමාජ සහජීවනය, සමාජ සේවා සහ රට තුල දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනතාව අරමුණු කරගත් පුණ්‍ය කටයුතු සිදු කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. බහු වාර්ගික සංයුතියකින් යුත් කතෝලික ප්‍රජාව, සියලු ප්‍රජාවන් අතර පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර වන සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
 
අද දින පැවැති සාකච්ඡා අතරතුරදී, පසුගිය දශක පහ තුළ, ශුද්ධාසනය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය අගය කිරීමට සහ අපගේ බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම නැවත තහවුරු කිරීමට මම අවස්ථාව ලබා ගත්තෙමි.

 

mf3
අගරදගුරු ගැලගර් හිමිපාණන් විසින් අතිගරු ජනාධිපතිතුමා, අතිගරු අග්‍රාමාත්‍යතුමා සහ මා සමඟ පවත්වන ලද සාකච්ඡා අතරතුරදී, පසුගිය වසරේ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ සංවර්ධනයන්, ආර්ථික ස්ථාවරත්වය, අපගේ ජනතාව අතර සැබෑ සංහිඳියාව සහතික කිරීම, අල්ලස හා දූෂණයට එරෙහිව සටන් කිරීම මෙන්ම යහ පාලනය, වගවීම සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා අපගේ රජය ගත් පියවර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසුණි.

 

ශ්‍රී ලංකාව, දිගු කාලීන සාමය, සංහිඳියාව සහ සමෘද්ධිය කරා යන ගමනේදී, ශුද්ධාසනය, සියලු ප්‍රජාවන් සඳහා සංවාදය, සමානව සැළකීම සහ ආගමික නිදහස ආරක්ෂා කිරීම සඳහා හවුල්කරුවෙකු සහ ස්ථිර උපදේශකයෙකු ලෙස අපි සලකන්නෙමු. විශේෂයෙන් පාරිසරික තිරසාරභාවය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අභියෝග වැනි ගෝලීය ගැටළු සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් බහුපාර්ශ්වික සංසදවලදී, ශුද්ධාසනය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ සූදානමද අපි ප්‍රකාශ කළෙමු.
 
ශ්‍රී ලාංකික ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් සේවය කරමින්, සහ ශක්තිමත් අවබෝධයක් වර්ධනය කරමින්, ශුද්ධාසනය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශිෂ්ට සබඳතා තවදුරටත් සමෘද්ධිමත් වනු ඇති බව අපි දැඩි ලෙස විශ්වාස කරන්නෙමු.
 
ස්තූතියි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...