යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 නොවැම්බර් 3 වැනි සඳුදා විභාගයට ගෙන තිබුනේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේය.
අධිකරණ කටයුතු හමාරවීමෙන් පසු වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ සමුහ සුසානයෙන් ගොඩ ගත් පාරිහාරික වස්තු අතර වු සෙරෙප්පුවක් 1980 සහ 1995 අතර කාලය තුළ නිපද වුවක් විය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළ බවයි.
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළා. මෙතුවක් කැනීම් වලින් ගොඩගත් අංක 25 දරන සෙරෙප්පුව ගැන කරුණු දැක්වුවා. රුපියල් 39.90ට මිල කරලා තියෙන ඒ බාටා නිෂ්පාදනය 1980 සහ 1995 කාලය ඇතුලත නිෂ්පාදනය කරපු එකක් වෙන්න පුළුවන් කියලා ඒ වාර්තාවේ දැක්වෙනවා.”

චෙම්මනියේ සමූහ සුසාන මාලාවක් ඇති බවට මුලින්ම අනාවරණය වූයේ යුද හමුදා භට පිරිසක් විසින් 1986 දී දූෂණය කර මරා දමන ලද ක්‍රිෂාන්ති කුමරස්වාමි සිසුවිය සම්බන්ධ නඩු විභාගයේදී ය.
මිනිස් අස්ථි සමග චෙම්මනි සමූහ මිනීවලෙන් මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් ඔක්තෝබර් 3 වැනි සදුදා පළාත් බද මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් දැනුම් දී තිබුනේ ගොඩ ගෙන ඇති මිනිස් අස්ථි සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සදහා වන අයවැය වාර්තාවක්ද අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන සෙල්ලයියා ප්‍රණවන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
“මේ වනවිට පාදාගෙන තිබෙන ඇටසැකිලි 240 සම්බන්ධයෙන් පරීක්ෂා කර ඒවා පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා වන අයවැය අද අධිකරණයට ඉදිරිපත් කරා. විමර්ශන සිදුකරලා ඉදිරි කටයුතු තීන්දු කිරීම සඳහා හත් දෙනකුගෙන් යුත් මණ්ඩලයක නම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාර්තාවත් අධිකරණයට ඉදිරිපත් කළා. මේ වෙනකොට කැනීම් කටයුතුවලට සම්බන්ධ වුනු සෙල්ලයියා ප්‍රනවන් මහතා සහ අධිකරණ වෛද්‍ය නිලධාරි මයූරදන් ඇතුළු වෛද්‍යවරුන්ගේ නම් එහිදී සඳහන් වුනා. ”

එහි ප්‍රගතිය සොයා බැලීම සඳහා නඩුව 2025 දෙසැම්බර් 15 වැනි දින යළි කැඳවීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ.
අධිකරණයේ නඩු කටයුතු හමාර කිරීමෙන් පසු යාපනය මහේස්ත්‍රාත් එස් ලෙනින්කුමාර් නොවැම්බර් 3 වැනිදා චෙම්මනි සමුහ මිනි වළ නිරීක්ෂණය කිරීමට පැමිණ තිබුනේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන්, වී එස් නිරංජන් හා ජී රජිතා යන නීතිඥවරුන් හා අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නියෝජිතයන් සමගයි.
මේ වන විටත් වැසි දිය පිරී ඇති චෙම්මනි සමූහ මිනීවලේ කැනීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම 2026 ජනවාරි 19 දිනය දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුනි.
යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 13 වැනි සදුදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගැනීමෙන් අනතුරුව අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නීතිඥ පූරණී ජෝසප් මරියනායගම් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ සමුහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු වෙනුවෙන් ඉල්ලා තිබු රුපියල් එක්කෝටි අනූ ලක්ෂය මුදල ලැබී ඇති බවයි.
“කැණීම් කටයුතුවල තෙවැනි අදියර සඳහා අපට මුදල් ලැබී තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි රුපියල් මිලියන 19 ක මුදල් ලැබිලා තිබෙනවා.”
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.




