පිරිසිදු කිරීමේ කටයුතු දෙමළ ජනයා විසින් ආරම්භ කර තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකම මහවිරු සුසාන භුමි පිරිසිදු කිරීමේ කටයුතු නොවැම්බර් මස පළමු දිනයේ ම ආරම්භ වු බවයි.
නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය නිමිති කරගනිමින් නොවැම්බර් 1 වැනි සෙනසුරාදා යාපනය, කෝපායි සුසාන භුමිය ඉදිරිපිට මාර්ගය ශ්‍රමදානයෙන් ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකර තිබුනේ කෝපායි මහවිරු අනුස්මරණ කමිටුව විසිනි.
ශ්‍රමදාන කටයුතු ආරම්භ කිරීමට පෙර මහවිරු සුසාන භුමියේ පහන් දල්වා එහි මිහිදන් කොට සිටින සිය සමීපතමයන් අනුස්මරණය කිරීමටත් ඔවුන් කටයුතු කර තිබුනි.
කෝපායි මහවිරු සොහොන් බිම රජයේ හමුදා විසින් විනාශ කර දමා ඒ මත දැවැන්ත හමුදා කඳවුරක් ඉදිකරන්නට රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු කළේ මිට වසර කිහිපයකට පෙරය. ඉන්පසු සෑම වසරකම මහවිරු සැමරුම පවත්වන්නට සිදුවුයේ කෝපායි හමුදා කඳවුර ඉදිරිපිට පෞද්ගලික ඉඩමකය.
ත්‍රිකුණාමලයේ සාම්පුර්, ආලන්කුලම් මහවිරු සුසාන භුමියේ පිරිසිදු කිරීමේ කටයුතු ද ආලන්කුලම් මහවිරු අනුස්මරණ කමිටුව විසින් ආරම්භ කර තිබුනේද නොවැම්බර් 1 වැනි සෙනසුරාදා දිනයි.
කිලිනොච්චි, කනගපුරම් මහවිරු සුසාන භුමිය සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු නොවැම්බර් 2 වැනි ඉරිදා සිදු කර තිබුනේ කනගපුරම් මහවිරු අනුස්මරණ කමිටුව විසිනි. එම අවස්ථාව සදහා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
මුලතිව් මුල්ලියවලෙයි මහවිරු සුසාන භුමිය සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු නොවැම්බර් 2 වැනිදා සිදු කර ඇත්තේ වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් ඇතුළු ප්‍රාදේශිය දෙමළ ජනතා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙනි.
මුල්ලියවලෙයි මහවිරු සුසාන භුමියයේ ශ්‍රමදාන කටයුතු ආරම්භ කිරීමට පෙර මහවිරු සුසාන භුමියේ පහන් දල්වා එහි සැතපී සිටින සිය සමීපතමයන් අනුස්මරණය කිරීමටත් ශ්‍රමදානයට එක්වු පිරිස කටයුතු කර තිබුනි.
දශක තුනක යුද්ධයෙන් මියගිය දෙමළ තරුණ - තරුණියන් මිහිදන් කෙරුණු සුසාන භූමි විසි පහක ඔවුන් ස්මරණය කරනු වස් ඉදිකොට තිබූ 20,400කට වැඩි සොහොන් කොත් විනාශ කළ බවට ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා එල්ල වී තිබේ.
ඒ පිළිබඳව විප්‍රවාසික මාධ්‍යවේදී රෝහිත භාෂණ අබේවර්ධන විසින් 2015 දී 'රාවය' පත්‍රයේ පල කරන ලද ලිපියක දැක්වෙන විස්තර මෙසේය:
“සොහොන් කොත් 795කින් සමන්විත උඩුප්පිඩ්ඩි එල්ලාන්කුලම් මහ විරු සුසාන භූමිය විනාශ කොට ඒ මත එල්ලාන්කුලම් හමුදා කඳවුර ඉදිකරනු ලැබිණ. සොහොන් කොත් 1832කින් යුතු දැවැන්ත කෝපායි සුසාන භූමිය දෙවන වරටත් සමතලා කොට ඒ මත ඉදිකළ ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිනව යාපන ආඥා මූලස්ථානය 2011 මාර්තු මාසයේ උත්සවාකාරයෙන් විවෘත කළ රාජ්‍ය හමුදාවෝ සොහොන් කොත් 795කින් සහිත කොඩිකාමම් සුසාන භූමියද දෙවන වරටත් මුළුමණින්ම විසුණු කොට හමුදා කඳවුරක් බවට පෙරලූහ. විනාශ කරන ලද අවශේෂ සුසාන භූමි අතරට සොහොන් ඵලක 1968ක් සහිත කනකපුරම් මහවිරු සුසාන භූමිය මෙන්ම සොහොන් කොත් 2575කින් යුතු මුල්ලියාවෙලෙ සුසාන භූමියද අයත් වේ. සිහිවටන ඵලක දෙදහස් හත් සියයකට වැඩි ගණනකින් සමන්විත මළවුන් වෙනුවෙන් කැප වූ සුවිශාලතම සැමරුම් ස්ථානය සේ සැළකුණු විසුවමඩු සුසාන භූමිය සහමුලින් විනාශ කිරීමේ කාර්යය 2009දී සම්පූර්ණ කරන ලදී.”





