The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපතිගේ සිරුර තුළ හිට්ලර් කෙනෙක් ඉන්නවා - උදය ගම්මන්පිල

T

The Leader Desk

November 10, 2025 • 3:41 PM

ජනපතිගේ සිරුර තුළ හිට්ලර් කෙනෙක් ඉන්නවා - උදය ගම්මන්පිල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිතුමා පිළිබඳ ඔහුට ම බියක් දැනේවි යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
  • ඔහු එම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
  • විදේශ රටක රැකියාවක නිරත මගේ ආදරණීය බිරිඳටවත් ජනාධිපතිතුමාට තරම් මාව මතක් වෙන්නේ නැතිව ඇති.
  • නමුත් අවසානයේ දී මහාධිකරණ විනිසුරුතුමා උළුගේතැන්න මහතා නිදහස් කරමින් නියෝගයේ සඳහන් කළෙත් මම මාධ්‍ය හමුවේ සඳහන් කළ දේමයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනාධිපතිතුමා පිළිබඳ ඔහුට ම බියක් දැනේවි යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු එම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල

මගේ බිරිඳටත් වඩා මාව මතක් වෙන්නෙ ජනපතිට
''ජනාධිපතිතුමා පාර්ලිමේන්තු එන සෑම දවසක ම මම පාර්ලිමේන්තුවේ නැතත් මාව මතක් වෙනවා.  විදේශ රටක රැකියාවක නිරත මගේ ආදරණීය බිරිඳටවත් ජනාධිපතිතුමාට තරම් මාව මතක් වෙන්නේ නැතිව ඇති.  පසුගිය වතාවේ පාර්ලිමේන්තු ආවාම අද්මිරාල් උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම වැරදියි කියලා මම පෙන්වා දුන්නු එක එතුමා විවේචනය කළා.  නමුත් අවසානයේ දී මහාධිකරණ විනිසුරුතුමා උළුගේතැන්න මහතා නිදහස් කරමින් නියෝගයේ සඳහන් කළෙත් මම මාධ්‍ය හමුවේ සඳහන් කළ දේමයි. මෙදා ජනාධිපතිතුමාව මම හිට්ලර්ට සමාන කිරීම ගැන නෝක්කඩුවක් කිව්වා.  

ජනාධිපතිතුමනි..., මගේ කතාව සම්පූර්ණයෙන් අහන්න.  දෛවයේ සරදමක් වගේ ඔබතුමා සහ හිට්ලර් අතර අපූරු සමානකම් හතක් ඔබ දකිවි.  ඒ වගේම පසුගිය වසර සහ හිට්ලර්ගේ පාලනයේ මුල් වසර තුන අතර අපූරු සමානකම් ගණනාවක් ඔබ දකීවි.  ඔබතුමාගේ ඇඟ තුළ 1990 දී නිදා ගත් හිට්ලර් දැන් අවදි වෙමින් සිටිනා බව ඔබ තේරුම් ගත්තොත් ඔබ ගැන ඔබට ම බියක් දැනේවි. ඒ නිසා මතක ඇතිව මගේ කතාව සම්පූර්ණයෙන් අහලා ඒ ගැන කතා කරන්න කියලා ඔබතුමාට යෝජනා කරනවා.

පාර්ලිමේන්තුවට සුරංගනා කතා පොත් රාක්කයක්
අපේ පාර්ලිමේන්තු පුස්තකාලයට දරුවන් එන්නේ නැති නිසා සුරංගනා කතා අංශයක් පුස්තකාලයේ නෑ.  නමුත් මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනය වගේම පසුගිය අයවැය කතා දෙකත් අයිති වෙන්නේ සුරංගනා කතා කියන වර්ගීකරණයටයි.  ඒ නිසා ජනාධිපතිතුමාගේ අතීත වත්මන් සහ අනාගත අයවැය කතා තියන්න සුරංගනා කතා නමින් පොත් රාක්කයක් වෙන් කළ යුතු යැයි මම පාර්ලිමේන්තු පුස්තකාලයාධිපතිතුමාට යෝජනා කරනවා.  සාමාන්‍යයෙන් සුරංගනා කතා කියන්නේ පුංචි දරුවන් නිදි කර ගන්නනේ.  ජනාධිපතිතුමාගේ අයවැය කතාව අහගෙන ඉන්න විට නින්ද ගිය මන්ත්‍රිවරුන් දැක්කාමත් මේක සුරංගනා කතාවක් කියලා ඔප්පු වෙනවා.  මේ අයවැය කෙතරම් ප්‍රායෝගික නොවන සුරංගනා කතාවක් දැයි තේරුම් යන්නේ 2025 අයවැය කතාව කෙතරම් දුරට ඉටු වුණා ද කියන එක අධ්‍යනය කළාමයි.

මාලිමා ආණ්ඩුව ඉටු නොකළ පොරොන්දු 25ක්
2025 වසරේ පාරවල්, වැව් සහ ගොඩනැගිලි ඉදිකිරීම වගේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1,300ක් වෙන් කරලා තිබුණා.  නමුත් සැප්තැම්බර් 30 වන විටත් ඒ මුදලින් පාවිච්චි කරලා තිබුණේ 25%ක් පමණයි. වැඩිම වුණොත් වසර අග වන විට ප්‍රාග්ධන වියදම් 50% දක්වා වැඩි වේවි.  ඊට වඩා නම් වැය කරන්න බෑ.  සරලව කිව්වොත් පසුගිය අයවැයෙන් උජාරුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා වලින් 50%යි ඉටු කරලා තිබෙන්නේ.  හරි අඩක් ම බොරු පොරොන්දු විතරයි.  මොනවා ද කළේ? මොනවා ද නොකළේ? මොනවා ද බාගෙට කළේ කියන එක දැන ගන්න වෙන්නේ 2025 මහ බැංකු වාර්තාව එළි දැක්කුවාට පස්සේ තමයි. නිශ්චිත වශයෙන් ඉටු කළේ නැති බව තහවුරු වුණු පොරොන්දු 25ක් විතරක් සිහිපත් කරන්නම්.

උපායමාර්ගික හවුල්කාර රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹෙනවා කියලා 2025 අයවැය කතාවේ කිව්වා.  ඒක මේ වසරේ කරන්නේ නැතිව ලැජ්ජා නැතිව නැවත වතාවක් මේ අයවැය කතාවේ දීත් ඒකම කිව්වා.  ඒ වගේ 2025 දී කරනවා කියලා පසුගිය අයවැය කතාවේ දී කියලා ඒක කරන්නේ නැතිව නැවත මේ වතාවේත් කියපු එකම කාරණය මේක නොවේ.  ඒ වගේ ලැයිස්තුවක් තිබෙනවා. නව රේගු පනතක් සම්මත කරනවා කිව්වා.  පනතක් කෙසේ වෙතත් අඩුම ගණනේ කෙටුම්පතක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ.  ආයෝජකයින්ට One Stop Shop ක්‍රියාත්මක කිරීමට නීති සැකසීම, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ නව පනතක්  සම්මත කිරීම සහ රාජ්‍ය ව්‍යවසාය සඳහා පරිපාලක සමාගමක් බිහි කිරීම කියන යෝජනා පසුගිය අයවැයේ තිබිලා ඉටු කරන්නේ නැතිව නැවතත් මේ අයවැයටත් එකතු කරලා තිබෙනවා.  වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු1,700 කරන්න පසුගිය අයවැයෙන් පොරොන්දු වෙලා ඒක කරන්නේ නැතිව මෙවර අයවැයෙන් ඒක රු1,750ක් කරලා තිබෙනවා. ඒ අපි කිව්වේ 2025 සහ 2026 යන අයවැය කතා දෙකේම තිබුණු පොරොන්දු ගැන.

නොකර ම අතුරුදහන් වුණු පොරොන්දු
දැන් අපි බලමු පසුගිය අයවැයේ තිබිලා නොකර ම අතුරුදහන් වුණු පොරොන්දු. ද්විත්ව බදුකරණය වැලැක්වීමේ ගිවිසුම් අත්සන් තැබීම, ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීම, බංකොලොත්භාවය පිළිබඳ නව පනතක් ඉදිරිපත් කිරීම, ඩිජිටල් ආර්ථික අධිකාරියක් ස්ථාපිත කිරීම, නව සංවර්ධන බැංකුවක් ඇරඹීම, බුද්ධිමය දේපළ ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා කිරීම සඳහා මැඩ්රිඩ් ප්‍රොටකෝලයට ඇතුළුවීම, නව ඉපැයුම් සඳහා අරමුදල් සැපයීමට නවෝත්පාදන අරමුදලක් ස්ථාපිත කිරීම, වතු රෝහල් දියුණු කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර ඇරඹීම, ඕටිසම් දරුවන්ට ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, උසස් පෙල ඉහළින් ම සමත් වන ශිෂ්‍යයින්ට විදෙස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව පිරිනැමීම, රුපියල් මිලියන 5,000ක් වටිනා වී ආරක්ෂිත තොගයක් ආණ්ඩුව මගින් පවත්වා ගෙන යෑම, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව යටතේ ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක් බිහි කිරීම, අවුරුදු සමයේ සහන මිලට වියළි ආහාර ලබා දීම, ශ්‍රිලන්කන් ගුවන් සේවය මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීම, මෝටර් රථ එකලස් කිරීමේ සහ රබර් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කාර්මික ජනපදයක් බිහි කිරීම සහ කිලෝ මීටර් 5,611ක් අලි මිනිස් ගැටුම නතර කරන්න විදුලි වැට ඉදි කිරීම කියන මේ යෝජනා එකක්වත් 2025 වසර තුළ ක්‍රියාත්මක වුණේ නෑ.

මෝධිවත් රවටපු ජනපති
එතුමා තමන්ට බොරුවක් කියන්න ඕනෑ වුණාම පාර්ලිමේන්තුවට ඇවිත් කතාවක් කරනවා කියලා ඉතාම පැහැදිලිව රටට කියලා තිබෙනවා.  සරලව ම කිව්වොත් තමන් පාර්ලිමේන්තුවේ දී කියන්නේ බොරු බව කලින් ම කියලයි තිබෙන්නේ. ඒ නිසා 2025 අයවැය කතාව බොරුවලින් පිරිලා කියලා ජනාධිපතිතුමාට දොස් කියන්න බෑ.  අපට දුක ඒකට අත්පුඩි තළපු 159 ගැනයි, 
ඒ යෝජනා ගැන කවි ගී ලියපු ඩෝබි බළකාය ගැනයි විතරයි. 2025 අප්‍රේල් මාසයේ දී මෝදි අගමැතිතුමාගේ ලංකා සංචාරයේ දී ඉන්දියාවේ ප්‍රදානයකින් ඉදි වුණු දඹුල්ලේ ශීත ගබඩාව ඔන්න දැන් සම්පූර්ණයි කියලා එතුමා අතින් විවෘත කළා.  අපි අගෝස්තු මාසයේ දී මාධ්‍ය සමගම එතැනට ගිහින් ජනාධිපතිතුමා බොරු කරලා මෝදි අගමැතිතුමාත් රැවැට්ටුවා මේක තවම ඉදි කිරීම් අවසන් කරලා නෑ කියලා රටට පෙන්නුවා.  ඊට පස්සේ අල සහ ලූනු ගොවියන් අස්වනු විකුණා ගන්න විධියක් නෑ කියලා මැසිවිලි නගන විටත් දඹුල්ලේ ශීතාගාරය සම්පූර්ණ නම් ඒකේ මේ අස්වැන්න ගබඩා කරන්නේ නැත්තේ ඇයි කියලා අපි ප්‍රශ්න කළා.  මෙදා අයවැය කතාවේ දී ශීතාගාරයේ වැඩ සම්පූර්ණ කරන්න රුපියල් මිලියන 250ක් වෙන් කරලා පසුගිය අප්‍රේල් මාසයේ දී අපි වගේ ම මෝදි අගමැතිතුමාවත් බොරු කරලා ඇන්දුවා කියන එක එතුමා පිළිගැනීම ලොකු දෙයක්.

ආණ්ඩුවේ නායකයින්ට ඩිමෙන්ෂියා

ආර්ථිකය ගොඩ යන්න වසර දහයක්වත් යාවි කියලා සමහරු කිව්වත් අපි 2019 දී ආර්ථිකය තිබුණු තැනට 2025 දී ගෙනාවා කියලා අයවැය කතාවේ දී ජනාධිපතිතුමා කිව්වා.  ග්‍රීසියට ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න වසර දහයක් ගත වුණාට අපට ගොඩ යන්න වසර දහයක් යාවි කියලා අපි නම් කිව්වේ නෑ.  එතුමා රට බාර ගන්නකොටත් ආර්ථික වර්ධන වේගය 5%යි;  විදෙස් සංචිත ඩොලර් බිලියන හයයි.  ඒ නිසා එතුමාට තිබුණේ ගොඩට ගෙනා ආර්ථිකය රැක ගන්න මිස වළේ වැටුණු ආර්ථිකය ගොඩ ගන්න නොවේ.  ආණ්ඩුවේ නායකයින්ට මතකය අහිමි වෙන ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වී හිටියත් මේ රටේ ජනතාවගේ මතකය ඉතාම හොඳයි කියන එක සිහිපත් කරනවා. 
තමන්ගේ වත්කම් ප්‍රකාශනය සාමවිනිසුරුවරයෙක්ගෙන් අත්සන් කරන්න අමතක වුණු හර්ෂණ නානායක්කාර ඇමතිතුමාට මාලිමාව රට භාර ගන්නා විට ආර්ථික අර්බූදයක් තිබුණා ද නැද්ද කියන එක අමතක වීම ගැන අපි නම් පුදුම වෙන්නේ නෑ. 2019 අග දී පෙට්‍රල් ලීටරයක් මිල රු 137යි.  ඩීසල් 104යි.  විදුලි ඒකකයක් රු2.50යි.  ඒ වගේම ගෑස් සිලින්ඩරේ රුපියල් 1,500යි.  2019 තිබුණු තැනට ආර්ථිකය ගෙනාවා නම් අන්න ඒ මිලට පෙට්‍රල්, ඩීසල්, විදුලිය සහ ගෑස් දෙන්න.  එතකොට ආර්ථිකය 2019 තිබුණු තැනට ගෙන ගියා කියලා අපි පිළිගන්නම්.  නැතිනම් තමන් සිරිතක් ලෙස බොරු කියන්න ඕනෑ වුණාම යන පාර්ලිමේන්තුවට ගිහින් දැන් ආර්ථිකය 2019 තැනට ඇවිත් කියූ පමණින් ඒක පිළිගන්න අපි සූදානම් නෑ.

අද එකතු නොවන අය හෙට එකතු වේවි
සමහර දේශපාලන පක්ෂ විවිධ හේතුන් මත නුගේගොඩ රැළියට සහභාගි වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කර තිබෙනවා.  සමහරු ඒ පිළිබඳ කර්කශ විවේචනත් ඉදිරිපත් කර තිබෙනවා.  නමුත් රැළියට සහභාගි වෙන සියලු ම පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ ඒ අයව විවේචනය කරන්න එපා.  ඒ අයට සරදම් කරන්න එපා.  අද එකතු නොවන අයව හෙට මේ මහ ප්‍රවාහයට එකතු එකතු කර ගන්න එක තමයි අපේ ඉලක්කය වෙන්න ඕනි.  හැමදාමත් සංධාන ගොඩ නගන්න ඉන්නේ ටික දෙනයි.  
නමුත් ඒක අවසානයේ ආණ්ඩු පෙරළන මහ බලවේගයක් වෙනවා.  ඒක හරියට පුංචි දිය පාරක් සෙමින් සෙමින් ඉදිරියට ඇදිලා මහ ගංගාවක් වෙනවා වගේ. කොහොමත් බස් එක කොට උඩ තිබෙන කොට ඒක හදන්න එකතු වෙන්නේ ටික දෙනෙක් වුණාට බස් එක පාරට දැම්මාම ඒකේ නැගලා යන්න ගොඩ දෙනෙක් ඉන්නවා.  ඒක තමයි ලෝක ස්වභාවය.

මහත්මා ගාන්ධි ගේ උපදෙස
දේශපාලන උපාය මාර්ගවල දැවැන්තයෙකු වන මහත්මා ගාන්ධි වරක් අපූරු උපදෙසක් දුන්නා.  ඔබ අලුත් ව්‍යාපෘතියක් පටන් ගත්තාම මුලින් ම ඔබව ගනන් නොගෙන ඉඳීවි,  දෙවනුව ඔබට සරදම් කරාවි,  තුන්වෙනුව ඔබව සැක කරාවි,  සිව්වෙනුව ඔබව විවේචනය කරාවි,  පස්වෙනුව ඔබට අපහාස කරාවි,  හයවෙනුව ඔබට බාධා කරාවි.  
මේ සියල්ලෙන්ම ඔබ නොසැලී ඉදිරියට ගියොත් ඒ සියලු දෙනා ම ඔබත් සමග එකතු වේවි.  අපි මේ වන විට ඉන්නේ ගාන්ධිතුමා කියූ සරදම් කරන සැක කරන අපහාස කරන අවධිවල.  ඊළඟට බාධා කරන අවධිය ඒවි.  ඒ සියල්ලටම අපි අධිෂ්ඨානයෙන් මුහුණ දුන්නාම අවසානයේ දී ඒ සියල්ලම මේ ආණ්ඩුවට එරෙහිව අපත් සමග එකතු වේවි.  එදා දවස උදාවන තුරු අධිෂ්ඨානයෙන් සිටීමත් විපක්ෂයේ අන් බලවේගවල මත ඉවසීමත් අපි කළ යුතු වෙනවා.

21වන දා නුගේගොඩට එන්න හේතු තුනක්
එකම එක පක්ෂයක විතරක් අපි අතර ආණ්ඩුවේ ඔත්තුකරුවන් සිටින නිසා අපි සමග එකතු වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කරලා තිබුණා. පසුගිය සතියේ මම උත්තර දුන්නේ ඒ ප්‍රකාශයට.  අපේ ගමන ගැන සැකයන් මතු කරන ප්‍රකාශවල අපි පිළිතුරු දුන්නත් අන් කිසිවකු සමග ගැටුම් ඇති කර ගෙන අනාගතයේ අපෙත් එක්ක එකතු වෙන්න තිබෙන අවස්ථාව අහිමි කර ගන්න අපි කැමැති නෑ.  
වත්මන් ආණ්ඩුවට දුන් පොරොන්දු ඉටු කරනු කියලා පොරොන්දු සිහිපත් කළ යුතුයි කියා ඔබ හිතනවා නම්, හොරු අල්ලන්න ඇවිත් කම්බ හොරුන් බවට මාලිමාව පත් වෙලා කියන එක රටට හෙළි කළ යුතුයි කියා ඔබ හිතනවා නම්, වැඩ බැරි නම් කයියෙන් ඇති වැඩක් නෑ කියලා ආණ්ඩුවට කියන්න ඕනි කියලා ඔබත් හිතනවා නම්, ඔබ මේ මොහොතේ විශ්වයේ කොතැනක හිටියත් නොවැම්බර් 21 සවස ඔබ සිටිය යුතු එකම තැන නුගේගොඩ පමණමයි කියන එක අපි නැවත වතාවක් සිහිපත් කරනවා.''

 
 
  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...