බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ අත්සනින් යුතුව 2025 නොවැම්බර් මස 1 වැනි සෙනසුරාදා නිකුත් කර ඇති අංක 2460/ 56 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පත් කළ පුරා විද්‍යා උපදේශක කමිටුවේ කාල සිමාව 2025.03.10 දින සිට 2027.03.09 දක්වා බල පැවැත්වේ.


පොළොන්නරුව සොලොස්මස්ථාන රජමහා විහාරාධිපති, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති පුජ්‍ය වෙඬරුවේ ධර්ම කීර්ති ශ්‍රී රතනපාල උපාලි නායක ස්වාමීන් වහන්සේ මුල් පුටුවේ තබා ඇති එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී පුජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ, ආචාර්ය ගල්වැව විමලකාන්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය පී.බී මණ්ඩාවල, මහාචාර්ය සෙනරත් දිසානායක, සම්මානිත මහාචාර්ය ජගත් වීරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරා විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මංගල කටුගම්පොළ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ආර්.එම්.එම් චන්ද්‍රරත්න, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, සම්මානිත මහාචාර්ය සමිත මානවඩු, ආචාර්ය රෝස් සෝලංග ආරච්චි, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ශ්‍රියාණි හතුරුසිංහ, රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරා විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය විජේරත්න බෝහිංගමුව, ආචාර්ය බී.ඩී නන්දේව, ආචාර්ය ගාමිණි විජේසුරිය, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය අරුණ රාජපක්ෂ, වාස්තු විද්‍යාඥ හේමන්ත කුමාර බාලචන්ද්‍රය.
හිටපු ජනාධිපති ලුතිනන් කර්නල් (විශ්‍රාමික) නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 2020 ජුනි මස 2 වැනි අගහරුවාදා අංක 2178/18 දරණ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් එවකට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සභාපති පුටුවේ තබා පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු, බුද්ධි ප්‍රධානින් ඇතුළු 13 දෙනෙකුගෙන් සමන්විත සර්ව පුරුෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබුනි.
ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම අරමුණු කොටගෙන 2021 වසරේ ඔක්තෝබර් 26 වැනිදා 2251/ 30 දරණ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී ගලබොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ සභාපතිත්වයෙන් යුතුව “එක් රටක් එක් නීතියක් ගොඩනැගීම සඳහා වූ කාර්ය සාධක බලකාය” පිහිටවු අතර එහිද එකදු දෙමළ නියෝජනයක් නොවීය.




