රජයට එම කාර්යාලය පිහිටුවීමට බලකෙරී ඇත්තේ පැමිණිලිකාර ආණ්ඩුවේ නීතිඥයාද වන නීතිපතිවරයාගේ කාර්යාලයම චූදිත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රමවේදය දේශීය හා ජාත්‍යන්තර නීතිවෙදීන්ගේත් මානව හිමිකම් සංවිධානවලත් දැඩි විවේචනයට ලක්වීම නිසායි.
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම අරමුණු කොටගෙන තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කොට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් මැයි මාසයේ අනුමත කරන ලද යෝජනාව පරිදි එහි සභාපතිත්වය දරනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩයි.
මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CHRD) විධායක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල් රජය පත් කළ විද්වත් කමිටුවේ සභාපතිත්වය දරන විනිසුරුවරයා ස්වාධීන අභිචෝදක කාර්යාලයට උපදෙස් දීම ප්‍රශ්න කර තිබේ.
"ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින්, ජනාධිපති කොමිසම යටතේ විමර්ශන මෙහෙයවමින් සිටියදී ACF ඝාතන ලෙස හැඳින්වුණු විමර්ශනය සඳහා පත් කරන ලද ජාත්‍යන්තර නීති විශාරදයන්, නීතිපතිවරයා ඒකපාර්ශ්විකව කටයුතු කරන බව පවසමින් එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර එයින් ඉවත් උනා. එමනිසා, එවැනි පුද්ගලයකුට දැන් ස්වාධීන අභිචෝදක කාර්යාලයට උපදෙස් දිය හැක්කේ කෙසේද සහ එයින් ඇතිවිය හැකි ඇඟවුම් මොනවාද යන්න පිළිබඳව අප විමසා බැලිය යුතුයි."
පැරිසිය මුලස්ථාන කොටගත් 'සාගින්නට එරෙහි ක්‍රියාකාරීත්වය' (Action Contre la Faim - ACF) කාර්යාල පරිශ්‍රයේදී සහන කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනකු 2006 අගෝස්තුවේදී ඝාතනය කිරීම ACF ඝාතන ලෙස හැඳින්වේ.
යාපනයේ ඩිජිටල් ලේඛනාගාරයක් විවෘත කිරීමට සමගාමීව ‘දේශපාලන විසදුම් සහ වගවීම’ මැයෙන් නීතිය ප්‍රතිපත්තිය සඳහා වන යාපනයේ ආයතනය (JILP) විසින් සංවිධානය කර තිබු සාකච්ඡා සභාවක් අමතමින්, වගවීම ළගා කරගත නොහැකි ඉලක්කයක් බවට පත්ව පවතින බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල් තව දුරටත් අවධාරණය කර තිබුනේ එයට මුලික හේතුව පවතින්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ, පොලිසියේ, ආරක්ෂක අංශවල සහ රාජ්‍ය නිලධාරීන්ගේ උදාසීන හෝ වෛරී ආකල්ප තුළ බවයි.
"වගවීම අපට ළඟා කරගත නොහැකි ඉලක්කයක්ව පවතිනවා. එය අඛණ්ඩව අප අතින් ගිලිහී යන්නේ කෙසේදැයි අප විමසා බැලුවහොත්, එයට මූලික හේතුව පවතින්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ, පොලිසියේ, ආරක්ෂක අංශවල සහ රාජ්‍ය නිලධාරීන්ගේ උදාසීන හෝ වෛරී ආකල්ප තුළයි. දේශපාලන අභිප්‍රාය ලෙස හඳුන්වනු ලබන දෙය අප රටේ දේශපාලනය තුළ හෝ කිසිදු රජයක් තුළ සැබවින්ම කිසිදාක පැවතුණේ නැහැ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් පීඩනයක් එල්ල වූ විට පමණක්, ඒවා සීමිත මට්ටමකින් ඉදිරියට ගමන් කර තිබෙනවා."
වගවීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලිවම නිෂේධාත්මක භූමිකාවක් ඉටු කරමින් සිටින බවත් මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CHRD) විධායක අධ්‍යක්ෂවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර තිබුනි.
"සාමාන්‍යයෙන්, නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 20ක් සේවය කරන අයකු අභියාචනාධිකරණයටත්, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් පත් කරනු ලබනවා. කෙසේ වෙතත්, අධිකරණය තුළ සිටින විනිසුරුවරුන් මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය සහ මහාධිකරණය හරහා ක්‍රමානුකූලව ඉහළට පැමිණිය යුතුය. එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණෙන අය වඩා ඉක්මනින් ඉහළ තනතුරුවලට පත්කරනවා. වගවීම සම්බන්ධයෙන් ගත් කල, නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලිවම නිෂේධාත්මක භූමිකාවක් ඉටු කරමින් ඉන්නවා."
මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස්
ස්වාධින අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව 2025 ඔක්තෝබර් 01 වැනිදා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සමග සාකච්ඡාවක් පවත්වා තිබු අතර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනය කර තිබුනේ ස්වාධින අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අදාළව මුලික සැලසුම් සකස් කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා වු බවයි.
එහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමට නියමිත බව එහි වැඩි දුරටත් සදහන්ව තිබුනි.
එම සාකච්ඡාව සඳහා එක්ව තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, නීතිපති ජනාධිපති නීති, පාරින්ද රණසිංහ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපත, නීතිඥ රජිව් අමරසූරිය, ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසකි.






