සහෝදර සහෝදරියන් වුව ද පසු දින ම ආණ්ඩුව ඇමරිකාව සමග පාවාදීමේ ද්‍රෝහී ගිවිසුමක් අත්සන් කළේ යැයි අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ නොවැම්බර් 14 දින ඇමරිකාව සහ ලංකාව අතර අත්සන් කළ ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් සහ එහි භයානක ප්‍රතිඵල සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය ඊයේ (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව...
දෛවෝපගත සිදුවීමක්
"මේ මාසේ 14 වෙනිදා ආණ්ඩුව ඇමරිකාව එක්ක ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම සම්බන්ධයෙන් අපිට බරපතළ ප්‍රශ්න ප්‍රමාණයක් මතුවෙලා තියනවා. මෙතන යම් දෛවෝපගත සිදුවීමකුත් තියනවා. ඒ තමයි නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ ඉල් විරු සමරුව පැවත්වුවා. මේ සමරුවේ දී සිහිපත් කරන්නේ අධිරාජ්‍යවාද්‍යට සහ නවලිබරල් ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව සටන් කරලා මිය ගිය සහෝදරයින්ව. ඒ සමරුව පවත්වලා පහුවෙනිදා තමයි ආණ්ඩුව මේ පාවාදීමේ ද්‍රෝහී ගිවිසුම අත්සන් කළේ. මේ ගිවිසුමට ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් තමයි අත්සන් කරලා තිබුණේ. ඒ වගේම ඇමරිකාව පැත්තෙන් ජූලි චන්ග් ඇතුළු පිරිසක් අත්සන් කළා.
ආණ්ඩුවේ ආඳ මාළු තියරිය
දැනට වාර්තා වෙන විදිහට ලංකාවේ වෙරළ ආරක්ෂාව, හමුදා පුහුණු වීම් වගේ කරුණු ප්‍රමාණයක් තමයි මේ ගිවිසුමේ අඩංගුව විදිහට තියෙන්නේ. නමුත් මේ ගිවිසුම සම්බන්ධයෙන් කිසිවක් රටේ ජනතාවට හෙළිදරව් කරලා නෑ. මේක පළමු අවස්ථාවත් නෙවෙයි; මේ ආණ්ඩුව බලයට ඇවිත් පසුගිය වසරක පමණ කාලය ඇතුළෙ මෙවැනි වංචනික සහ යටිකූට්ටු ගිවිසුම් ගණනාවක් රටවල් එක්ක අත්සන් කළා. ඒ ගිවිසුම් ගැන අහනකොට ආණ්ඩුවේ නියෝජිතයෝ ආඳෝ වගේ ලිස්සලා යනවා. පසුගියා අප්‍රේල් 5වෙනි දා ඉන්දියව එක්ක රහසිගත ගිවිසුම් 7ක් අත්සන් කළා. ඒ ගිවිසුම් හංගගෙන ඉන්න ගමන්ම ආණ්ඩුව දැන් ඒවගේ අඩංගුව ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ත්‍රීකුණාමලේට මන්නාරමට ගියාම අපිට දකින්න ලැබෙන්නේ මෙයට අදාළ සිදුවීම්. අහිංසක ගොවි සහ ධීවර ජනතාව තමන්ගේ වාසභූමිවලින් බලහත්කාරයෙන් එළවලා ඒ ඉඩම් ඉන්දියානු සමාගම්වලට දෙනවා. හැබැයි ඇහුවම කියන්නේ අපි එහෙම කරයි ද? අපි මේ රට පාවා දෙයි ද වගේ ලිස්සලා යන කතා.
ආණ්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාද්‍ය දෙසට තල්ලු වෙලා
අපි ජනතාවට කියනවා ආණ්ඩුවේ මේ කතන්දරවලට රැවටි රැවටි ඉන්න එපා. දැන් මේ ආණ්ඩුව ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කළා. ජපානය එක්ක පසුගිය දවසක රහසිගත ගිවිසුමක් අත්සන් කළා. දැන් ඇමරිකාව එක්ක ආයෙම ගිවිසුමක් ගහනවා. පැහැදිලිවම මෙතන තියෙන්නේ ආණ්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාද්‍ය දෙසට තල්ලු වීමක්. මොකද ඇමරිකාව, ඉන්දියාව, සහ ජපානය කියන මේ රටවල් තුනම ඉන්නේ ක්වඩ් සම්මුතිය ඇතුළෙ. කවඩ් එක කියන්නේ ආසියානු කලාපයේ භූ දේශපානලන බලයට ඉව අල්ලමින් ඉන්න යුද සංවිධානයක්. දැන් ඒ සංවිධානයට අයිති රටවල් තුනක් එක්ක අපි ගිවිසුම්වලට එළඹුනාට පස්සේ එහි ප්‍රතිවිපාක කොහොමත් අපිට අත් විඳින්න වෙනවා. ඒක වළක්වන්න බැහැ.
අපි, නවලිබරල් ප්‍රාග්ධනයේ ඉත්තෙක් විය යුතු ද...?
අපි දන්නවා ඉදිරියේ දී ආසියානු කලාපයේ දැවැන්ත දේශපානලන ආර්ථික යුද්ධයක් ඇති වීමේ වැඩි අවදානමක් තියනවා. මොකද චීනය සහ ඉන්දියාව ආර්ථික බලවතුන් විදිහට නැගී එමින් ඉන්නේ. ඒක කඩා වැටෙමින් පවතින ඇමරිකානු ආර්ථිකයට විශාල තර්ජයනයක්. ඒ නිසා මේ බලගැටුම උග්‍ර වෙන වෙලාවක එහි කේන්ද්‍රස්ථානය විදිහට ආසියානු කලාපය භාවිතා වීම නවත්වන්න බැහැ. එහෙම වෙලාවක නොබැඳි ප්‍රතිපත්තියක ඉන්න එක තමයි ලංකාව වගේ රටකට හිතකර වෙන්නේ. අනිත් එක තමයි අධිරාජ්‍යවාදීන්ගේ සහ නවලිබරල් ප්‍රාග්ධනයේ අපි ඉත්තෙක් විය යුතු නැහැ. නමුත් මේ ආණ්ඩුව දැන් කරමින් ඉන්නේ ඒ බලපොරය මැද්දට මුළු රටම ඇදගෙන යන එක.
රට ජාත්‍යන්තර මට්ටමේ ගැටුමක කොටස්කරුවෙක් බවට පත් කරලා
අපි මේ වෙලාවේ ආණ්ඩුවට කියනවා ඔබට මේ රටේ ජනතාව බලය දුන්නේ මෙවැනි අත්තනෝමතික තීන්දු තීරණ ගන්න නෙවෙයි. දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ සදාකාලිකව ම ඒගොල්ලන්ට මේ රටේ මිනිස්සු බලය දීලා කියලා හිතාගෙන. ඒ හින්දා තමයි මුළු රටම අවදානමේ දාන මේ විදිහේ මුග්ධ තීරණ ගන්නේ. එහෙන් මන්නාරමේ මුත්තු නගර්වල ඉඩම් විකුණනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය ආයතන ටික කෑලි කරලා විකුණනවා. ජනතාව මත විශාල බදු බරක් පටවලා. දැන් මේ ඔක්කොම මැද්දේ අපිව ජාත්‍යන්තර මට්ටමේ ගැටුමක කොටස්කරුවෙක් බවට පත් කරන්නත් ආණ්ඩුව උත්සහ කරමින් ඉන්නවා. මේක ඉතාම බරපතළ තත්වයක්. ආණ්ඩුව වහාම මේ තක්කඩි යුද ගිවිසුම් ජනතාවට හෙළි කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඒ ගිවිසුම් සියල්ල වහාම අහෝසි කරන්න ඕන. එහෙම නොකළොත් මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා මේ රටේ සියලු ජනතාව ඒකරාශි කිරීමට අපි පැකිලෙන්නේ නැහැ.
විපක්ෂයේ 'එදා වේල ටුවර්ස්'
අනික් පැත්තෙන් විපක්ෂයත් එදා දවස ගෙවාගන්න සිල්ලර ප්‍රශ්න තමයි කර තියාගෙන යන්නේ. දැන් ආයෙමත් ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ සෙට් එක ජාතිවාදය වගේ සිදුවීම් කරතියාගෙන ඇවිත් උත්සහා කරනවා නැවත ජන මතය තමන්ගේ පැත්තට හරව ගන්න. ඒ නිසා ඒ උගුලට නොවැටී මේ රටේ සියලු ජනතාවට අපි කියනවා සැබෑ අරගලයක් වටා එකතුවෙන්න කියලා. ඒ සැබෑ අරගලය සටන තියෙන්නේ ඉන්දියානු සහ ඇමරිකානු බලපෑමට එරෙහිව, සැබෑ අරගලය තියෙන්නේ රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව, ආර්ථික පීඩනයට බදු බරට එරෙහිව තමයි සැබෑ සටන තියෙන්නේ. ඒ සටන සඳහා අපි එක්ක එකතුවෙමු කියන ආරාධනාවත් අපි ජනතාවට ඉදිරිපත් කරනවා."
(සටහන - ජයසිරි අලවත්ත)





