ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සංවිධානය කළ දකුණු පළාත් වැඩසටහනට ඊයේ (20) තංගල්ල මහජන ක්‍රීඩාංගනයේ දී පස්වරුවේ එක් වෙමිනි.
මේ අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සම්බන්ධ වූ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇගයීම ද ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මතු පළ වන්නේ මෙහි දී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ සම්පූර්ණ කතාව ය.
''අද අපි මෙහි රැස්ව සිටින්නේ ජාතියක් ලෙස මේ මොහොතේ අපි මුහුණ දී සිටින විනාශකාරී ම ව්‍යසනයෙන් අපේ ජාතිය මුදා ගැනීමේ තිර අදිටනින් යුතුව යි. මත්ද්‍රව්‍ය හා බැදුණු අපරාධ, දූෂණ, සමග රටකට ඉදිරියට යන්න බැහැ. මත්ද්‍රව්‍ය, අපරාධ ඒ හා බැදුණු කළු ආර්ථිකය අපේ රටට කිසිසේත්ම සංවර්ධනය, සාමය, සෞභාග්‍යය ගෙනත් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ව්‍යසනයෙන් අපේ ජාතිය ගලවා ගැනීමේ වගකීම ජනතාව අපිට පවරා තිබෙනවා.
ලක්ෂ ගණන් දරුවෝ මේ ව්‍යසනයේ ගොදුරු බවට පත්වෙලා
අපි දන්නවා මේ ව්‍යසනය මොනතරම් ගම්, නගර පවුල් සංස්ථා ආක්‍රමණය කර තිබෙනවද කියලා. විශාල බලාපොරොත්තු සහිතව තම තුරුලෙහි වැඩුණු දරුවා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයේ මහා ගොදුරක් බවට පත් වී තිබෙනවා. විශාල බලාපොරොත්තු සහ අපේක්ෂා සහිතව හදා වඩා ගත් දරුවා සමාජයට ව්‍යසනයක් ගෙන එන, සමාජ විරෝධී ක්‍රියාකාරිකයෙක් බවට පත් වී තිබෙනවා. තමන්ගේ ඇකයේ නැළවුණු සහ දෙතනේ කිරි පෙවු දරුවට එවැනි ඉරණමක් අත්වෙයි කියා කිසිදු අම්මෙක්, තාත්තෙක් බලාපොරොත්තු වුණේ නැහැ. හැබැයි ලක්ෂ ගණන් දරුවෝ මේ ව්‍යසනයේ ගොදුරු බවට පත්ව තිබෙනවා. එම දරුවාගේ ජීවිතය පමණක් නොවෙයි මුළු පවුල් සංස්ථාව ම බිඳ වට්ටවා තිබෙනවා. මේ ව්‍යසනය ගම් බියට පත් කර තිබෙනවා. ගම්වල තරුණ වියේ දරුවෙක් සිටිනවා නම් දෙමාපියන් තමන්ගේ දරුවාට නිදහසේ කටයුතු කිරීමට ඉඩ නොදෙන තරමට බියට පත්වී සිටිනවා. ඒ නිසා ඒ පැත්තෙන් බැලුවත් අපි මේ ව්‍යසනය පරාජයට පත් කළ යුතුයි.
රටේ ආර්ථිකයට සහ සමාජ පැවැත්මට විශාල බලපෑමක්
අනෙක් පසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් බවට පත් වෙනවා. අවසානයේ වංචාවේ, දූෂණයේ යෙදීමට පටන් ගන්නවා. තව පසෙකින් මේ මත්ද්‍රව්‍ය ජාලයේම ගොදුරක් බවට පත් වී කුලියට මිනී මරන්න පටන් ගන්නවා. අපරාධවලට අදාළව අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය අපේ රටේ අනාගතය මුළුමනින් ම ගිලගෙන තිබෙනවා.
එපමණක් නොවෙයි මත්ද්‍රව්‍ය හරහා විශාල මුදල් කන්දරාවක් සැරිසරනවා. සාමාන්‍යයෙන් අපේ රටේ කිසිදු ව්‍යාපාරයකින් වසර සිය ගණනකින් උපයාගත නොහැකි ධනයක් එක බෝට්ටුවකින් හොයනවා. එම ධනය විවිධ කළු ව්‍යාපාර වෙනුවෙන් යොදවනවා. අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වල පිරිස් මිලදී ගැනීමට එම ධනය සමත් වෙනවා. ඇතැම් විට බියට පත් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් සිරගත වී සිටින අපරාධකරුවාට පහසුකම් සපයනවා. එහෙම ලබා දෙන්නේ නැත්නම් බන්ධනාගාර නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට තර්ජන එල්ල කර තිබෙනවා. එසේ නම් රාජ්‍ය යාන්ත්‍රණයෙන් පරිබාහිරව, රාජ්‍ය යාන්ත්‍රණය බියට පත් කරමින් තමන්ගේ කාර්යයන් කර ගැනීමේ තත්ත්වයට මෙය වර්ධනය වී තිබෙනවා. සියලු ආයතන බිඳ වට්ටවා තමන් සතුව තිබෙන ධනයෙන් නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් ගොඩනගා තිබෙනවා. දැන් එය මේ මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ වී තිබෙනවා. එය අපේ රටේ ආර්ථිකයට සහ සමාජ පැවැත්මට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.
මගේ සහ අපේ වගකීම
අපිට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. මෙතෙක් ගමන් කරමින් සිටි පැරණි මාවත අපිට තෝරා ගනිමින් මේ තත්ත්වය වර්ධනය වීමට ඉඩ හැරිය හැකියි. මට ජනාධිපතිවරයා ලෙස, ධුරයෙන් විශ්‍රාම යන තෙක් ඔහේ සිදු වෙද්දෙන් කියා බලා සිටිය හැකියි. නිලධාරින්ට ඉවත බලා සිටිය හැකියි. එය තමයි පරණ පුරුදු මාවත. එසේ නම් අප තීරණය කළ යුතුයි දේශපාලන අධිකාරිය ලෙස මට පැවරී ඇති වගකීම සහ මේ රටේ ජනතාව කෙරෙහි ඇති වගවීමත්, නිලධාරින් ලෙස ඔබට පැවරී ඇති රාජකාරිය සහ මහජනතාව කෙරෙහි ඇති බැදීම ඉටු කිරීම සඳහා අපි සටන් කරනව ද නැද්ද? කියලා.
මේ මාතෘභූමිය සහ ජනතාව පිළිබඳ අපේ අකලංක බැඳීම හමුවේ අපි තෝරගත යුතු වන්නේ මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේ මාවතයි. තවදුරටත් අපේ දරුවන් මේ ව්‍යසනයේ මහා ගොදුරු බවට පත්වීමට ඉඩ නොදීම මගේ වගකීමක්. ඒ වගේම අප සියලුදෙනාගේ වගකීම එයයි. මේ ව්‍යසනයට අපේ මාතෘභූමිය, ජාතිය සහ අපේ දරුවන් ගොදුරුවීම වැළැක්වීම අපේ ඒකායන අරමුණ සහ විශ්වාසය බවට පත්වී තිබෙනවා. එහි ආරම්භක පියවර අපි තබා තිබෙනවා.
අපරාධකරුවන්ට දේශපාලන ආශිර්වාදය සහ රැකවරණය ලැබී තිබෙනවා
අපි දන්නවා මේ සන්නද්ධ අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය හා බැදුණු පාතාල නායකයන් ගොඩනැගුණේ දේශපාලන නායකයන්ගේ රැකවරණය යටතේ යි. ඔවුන්ට බලය දුන්නේ දේශපාලන නායකයින්. දේශපාලකයා සතුව තිබෙන බලය සුරියවැවේ කෙනකුට ආමන්ත්‍රණය කරනවා, ජූලම්පිටියේ තරුණයකුට ආමන්ත්‍රණය කරනවා. හැම තැනකම මේ සන්නද්ධ අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාලය හා බැඳුණු අපරාධකරුවන් මෙලෙස ප්‍රබල ලෙස වර්ධනය වුණේ දේශපාලන ආශිර්වාදය සහ රැකවරණය සහිතවයි. එය සියලුදෙනා දන්නා සත්‍යයක්.
කාලයක් පාතාල නායකයන් දේශපාලන පක්ෂවල කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කළා. ඒ වගේම ජනාධිපති ආරක්ෂක අංශවල කටයුතු කළා. ඒ වගේම කුමාරවරුන්ගේ ආරක්ෂාවට සිටියා. එයයි සත්‍යය. නමුත් කිසිදු අපරාධකරුවකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අයෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් දැන් පිහිටුවා තිබෙනවා. අපිට මහජනතාව විසින් වරමක් ලබා දී තිබෙනවා. එම වරම සමග මහජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවක් තිබෙනවා. නායකයන් ලෙස අපේ වගකීම වන්නේ එම ජනතා අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉටු කිරීමයි. ඒ නිසා තමයි අපි මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව ඉවත් වෙනු කියන මහා ජාතික ව්‍යාපාරය ගොඩනැගුවේ.
අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය, නිලධාරින්, නිසි පරිදි මෙහෙයවීම සිදු කරනවා
වෙන වෙන අය, වෙන වෙන කලබල කරලා අපේ න්‍යාය පත්‍රය අවුල් කරන්න උත්සාහ කරනවා. ඇත්ත ප්‍රශ්න යට ගහලා ඔවුන් විසින් නිර්මාණය කර ගත් කෘත්‍රීම ප්‍රශ්න සමාජයට ගෙන ඒමට උත්සාහ කරනවා. රාජ්‍යයක් ඒ හා බැදුණු නිලධාරී යාන්ත්‍රණය, මහජනතාව, ආගමික නායකයන් අපි සියලු දෙනා ඉලක්ක සහගතව මෙහෙයුමකට යන විට වෙන වෙන දිශාවට සමාජයේ ඇස් යොමු කිරීමට උත්සාහ කරනවා. අපි ඒ බොරු වළවල්වල වැටෙන්නේ නැහැ. අපි ස්ථිර අදිටනින් යුතුව මෙම මෙහෙයුම දියත් කර අනිවාර්යයෙන් ජයග්‍රහණය කර ජාතිය ගලවා ගන්නවා. අපේ නිලධාරින් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් මේ කාර්යය සඳහා විශාල වෙහෙසක් දරනවා. මම ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා...!
ඔබගේ නිල ඇඳුමේ සහ තනතුරේ ගෞරවය අපරාධකරුවන් ඉදිරියේ දියවීමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඔබ ගන්න තීරණ ක්‍රියාත්මක කරනවා මෙන්ම ඕනෑම අසීරු අවස්ථාවකදී අපි ඔබව ආරක්ෂා කරනවා. ඔබ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඔබ වැඩ කරන්න. ඔබ ඉතාමත් දුෂ්කරතාවලට මුහුණ දෙන බව මම දන්නවා. හැබැයි ඒ කාර්යය ඔබ නිර්භීතව ඉටු කරයි කියා අපි විශ්වාස කරනවා. අපේ නාවික හමුදාව රට පුරා මුහුදු සීමාව ආරක්ෂා කර ගනිමින් මේ මෙහෙයුමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අපේ බුද්ධි අංශ තොරතුරු සපයනවා. යුද හමුදාව, ගුවන් හමුදාව ඒ මෙහෙයුම්වලට අවශ්‍ය දායකත්වය සපයනවා. ඒ නිසා මේ ව්‍යසනය පරාජයට පත් කිරීම සඳහා දේශපාලන අධිෂ්ඨානය, ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය, නිලධාරින් නිසි පරිදි මෙහෙයවීම සිදුකරනවා කියා මම විශ්වාස කරනවා.
මත්ද්‍රව්‍යවලින් තොර රටක් අපි නිර්මාණය කළ යුතුයි
ඒ වගේම මේ මත්ද්‍රව්‍ය අළෙවිකරණ අය සහ ඊට ඇබ්බැහිවූවන් ගමේ එකවර විශාල ලෙස ධනය එක් රැස් කරගත් කෙනා පිළිබඳව මහජනතාව දන්නවා. හැබැයි ගමේ ජනතාව තොරතුරු ලබා දීමට බියෙන් සිටිනවා. ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මහජන ආරක්ෂක කමිටු පත් කරනවා. මේවා ගමේ ශක්තිමත්ව කමිටු බවට පත් විය යුතුයි. දුෂිතයන්, මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන් හා ඒ හා බැදුණු අපරාධ ජාලයට එරෙහිව ගමේ අය නැගිටිය යුතුයි. මේක මහා ප්‍රබල මහජන ව්‍යාපාරයක් බවට පත් කර මේ ව්‍යසනයට දායකත්වය සපයන ලෙස මම ඉල්ලා සිටිනවා. මත්ද්‍රව්‍යවලින් තොර පවුලක්, මත්ද්‍රව්‍යවලින් තොර ගමක්, මත්ද්‍රව්‍යවලින් තොර නරගයක් සහ මත්ද්‍රව්‍යවලින් තොර රටක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා ඔබ සියලුදෙනාගේ දායකත්ව ඉතා වැදගත් වෙනවා.
මෙහි දී අපේ ස්වාමීන්වහන්සේලා, පියතුමන්ලාට, මවුලවිතුමන්ලාට සහ කුරුක්කල්තුමන්ලාට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ආගමික ස්ථාන සහ ගම අතර තිබෙන බැඳීම මෙම ව්‍යසනය පරාජය කිරීමට අපිට උපයෝගී කරගත හැකියි. ඒ වගේම මේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටිනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය වෙනුවෙන් අපි මෙවර අයවැය ලේඛනයෙන් විශාල මුදලක් වෙන් කළා. අපි පුනරුත්ථාපනය ක්‍රියාවලිය ශක්තිමත් කරමින් ඊට ඇබ්බැහිවූවන් එයින් ගලවාගත යුතුයි. ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූයේ ඔවුන්ගේ වරදින් නොවෙයි. එය ඔවුන් එවැනි ව්‍යසනයකට ගොදුරු නොවන සමාජයක් ගොඩනැගීමට අපි අසමත් වීමේ ප්‍රතිඵලයක්. ඒ නිසා දෙමාපියන්ට අහිමි වූ තම දරුවන් අපි නැවත ලබා දිය යුතුයි. ඒ නිසා අපි සෑම දිස්ත්‍රික්කයක් ම කේන්ද්‍රකරගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා. එක් පසෙකින් මේ ජාලය බිඳ දමනවා වගේම අනෙක් පසින් පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. ඒ නිසා මේ ව්‍යායාමය තමයි අපිට මේ අවස්ථාවේ තිබෙන ජාතිකම කර්තව්‍යය. ඒ නිසා අපි රජයක් ලෙස විශාල මැදිහත්වීමක් සහ කාර්යයක් සිදු කරමින් මේ ව්‍යසනය මුලිනුපුටා දමනවා.
වසර කිහිපයක් අත්නොරින මෙහෙයුමක්
දශක හතරකට වැඩි කාලයක් දේශපාලන රැකවරණ සහිතව, විවිධ නිලධාරීන්ගේ අනුග්‍රහය සහිතව, තාක්ෂණයේ වර්ධනය විසින් මේ රාජ්‍ය ගොදුරුක් බවට පත්ව තිබෙනවා. අද මේ ව්‍යසනයට ගොදුරු නොවුණු ගමක් නගරයක් නැති තරමටම මේ ව්‍යසනය පැතිරී තිබෙනවා. තව අවසානයට තිබෙන්නේ ගොදුරු නොවුණු පවුලක් දක්වා මේ ව්‍යසනය වර්ධනය වීම පමණයි. ඊට පෙර මේ ව්‍යසනය අවසන් කළ යුතුයි. පොලිසිය හා ඒකාබද්ධව ත්‍රිවිධ හමුදාව විශාල මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඉස්සර මත්ද්‍රව්‍ය ආවේ කොහොම ද? ඉස්සර මත්ද්‍රව්‍ය ආවේ ගුවන් තොටුපළෙන්. දැන් කන්ටේනර්වලින්, බෝට්ටුවලින්. මේ මත්ද්‍රව්‍ය වර්ධනය වුණේ කොතැනට ද? ඉතිහාසයේ ගුවන් තොටුපළෙන් ආවත් අද බෝට්ටු පුරවලා, කන්ටේනර් පුරවලා සහ කුඩු නිෂ්පාදනාගාර දක්වා වර්ධනය වීමේ තත්ත්වයක් තිබෙනවා. එනිසා මේ ව්‍යසනය නතර කිරීමට වසර කිහිපයක් අත්නොරින මෙහෙයුමක් අවශ්‍යයි. අපි දන්නවා, මේවා නිකම් රැලි හැටියට එනවා, බෝට්ටුවක් අල්ලනවා, ප්‍රවෘත්තියක් දානවා, ආයේ ගිහිල්ලා නිදා ගන්නවා. ආයේ කවදා හරි කාලෙක බෝට්ටුවක් අල්ල ගන්නවා.
මේක එහෙම නෙමෙයි. අපි මේ මෙහෙයුම මේ ව්‍යසනය පරාජයට පත් කරන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. අපි විදෙස් රටවල්වලින් සහාය ඉල්ලා තිබෙනවා, විදෙස් රටවල විශාල පිරිසක් සැඟව සිටිනවා, ඉන් සැලකිය යුතු කණ්ඩායමක් අත්අඩංගුවට අරගෙන මෙරටට ගෙනැවිත් තිබෙනවා. තව කණ්ඩායමක් විදෙස් රටවල්වල අත්අඩංගුවේ ඉන්නවා. විදෙස් රටවල සැඟව සිටින කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ ජාලයේ මුදුන බිඳින්න ඕන. මේ රට තුළ තිබෙන මූලික බෙදාහැරීමේ දෙවැනි ලේයරය බිඳිය යුතු යි. අවසානයේ ගම දක්වා ග්‍රෑම් ගණනේ බෙදන අය සිටිනවා. ඒ දක්වාම මෙය මුලිනුපුටා දමන්න ඕන. මතක තබා ගන්න, මුළුමණින්ම සුද්දයක්.
මුදල් යෙවීම හරහා කුමන්ත්‍රණ ඇති කරන්න පුළුවන්
සමහර අය වෙන වේශයන්ගෙන් මේක යටගහලා සමාජය වෙන දිශාවකට කැඳවන්න උත්සාහ කරයි. මේවා ලෝකයේ වෙලා තිබෙනවා. හයිටියේ ජනාධිපතිවරයා ඝාතනය කළා, මෙක්සිකෝවේ ජනාධිපති අපේක්ෂකයාව ඝාතනය කළා. සමහර රටවල්වල අත්අඩංගුවට ගත්තාම ඒ නායකයන් නිදහස් කර ගැනීම සඳහා මහජන උද්ඝෝෂණ පවා සූදානම් කර තිබුණා. ඇයි? කුඩු ව්‍යාපාරිකයන් නිදහස් කර ගැනීමට ධනය තිබෙනවා. මොවුන්ගේ පැවැත්ම වෙනුවෙන් විවිධාකාරයෙන් සල්ලි වීසි කරනවා. විශාල ධනයක් ඔවුන් ළඟ තිබෙනවා. ජාවාරම්කරුවන් මිලක් නියම කරන්නේ, මේ මෙහෙයුම අඩාල කරන්නේ, මේ මෙහෙයුමේ නිරතව සිටින නිලධාරියාව ම ඉලක්ක කරගෙන ම නෙමෙයි. මේ මෙහෙයුමේ දිශානතිය වෙනස් කරන්න, මහජන උද්ඝෝෂණ ඇති කරවන්න, විවිධාකාරයේ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් උත්සන්න කරන්න, නැති ප්‍රශ්න ඇති කරන්න, අපේ මේ ජාතික ක්‍රියාන්විතය නතර කරන්න ඒ පැත්තෙන් මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන්. අපි ගේන එක වළක්වනවා, ඒ අය හැංගිලා ගේනවා. අපි ගේන එක වළක්වන්න උත්සාහ කරනවා, වළක්වන කෙනාට තර්ජනයක් එනවා. ඒක තමයි සෘජුවම එන කඩාකප්පල්කාරී ක්‍රියාව.
පොලිසිය හා හමුදාව මේ මෙහෙයුමට සෘජුවම මැදිහත් වෙනවා, ඔවුන් සැඟවිලා එනවා. ඔවුන් ඒ නිලධාරීන්ගේ පවුල් සහ ඥාතීන් ඉලක්ක කරගෙන එනවා. ඒක තමයි අපට පේන හස්තය. හැබැයි, නොපෙනන හස්තය මොකක්ද? රජයේ මේ අරමුණ දිය කරන්න, බොඳ කරන්න, වෙන දිශාවකට යොමු කරන්න මුදල් යෙවීම හරහා කුමන්ත්‍රණ ඇති කරන්න පුළුවන්. එනිසා අපි දන්නවා, මේ ව්‍යසනයට එරෙහි සටන සෘජු අපරාධකරුවා සහ අපරාධයට එරෙහි වන්නා අතර සටනක් විතරක් නෙමෙයි.
මේ තීරණය, අත් නොහරින තීරණයක්
ඒ හා බැඳුණු තවත් යාන්ත්‍රණයන්, මෙවලම් තිබෙනවා. එනිසා අපේ සටනට එරෙහිව නැඟිටින විනාශකාරී දේශපාලන පෙරමුණ දේශපාලනයෙන්ම පරාද කරන්නම්. අපේ ඒ දේශපාලන වැඩේට නිලධාරීන් කවුරුත් මැදිහත් වන්න අවශ්‍ය නැහැ. මේ ව්‍යසනයට එරෙහිව අපි ගොඩනගා තිබෙන දේශපාලන ව්‍යාපාරයට එරෙහිව ගොඩනැගෙන දේශපාලන පෙරමුණ අපි දේශපාලනයෙන් ම නතර කරනවා. ඒ දේශපාලන පෙරමුණට කිසිදු රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය ආයතනයක් උපයෝගී කර ගන්නේ නැහැ. ඉතාමත්ව ශක්තිමත්ව අපි මේ වැඩේ කරමු. ලෑස්තිද නැද්ද? කරනවද? නැද්ද? සම්මාන ගත් නිලධාරීන් පවා කිව්වේ මේ වැඩේ කරන්න පුළුවන් බවයි. පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ පුහුණුව ලත්, සුදුසුකම්ලත් වෘත්තීමය යාන්ත්‍රණයක් අපට තිබෙනවා.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ හම්බන්තොට වැලිගත්ත ශ්‍රී ගුණාරංලකාර ආරාමාධිපති බැරගම ඥානතිලක හිමි
බැරගම ඥානතිලක හිමිවිවිධ බාධක පැමිණිය හැකියි
''මේ රට මත් උවදුරින් මුදා ගැනීම සඳහා අපේ ජනාධිපතිතුමා දරණ ප්‍රයත්නයේදී ආගමික නායකයින් ලෙස අපට විශාල වගකීමක් පැවරෙනවා. මේ රටේ විෂ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය තුරන් කිරීමට එතුමා ඇතුළු පිරිස විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ සඳහා වෙහෙස වෙද්දී භික්ෂූන් වහන්සේලා ලෙස අපටත් අනෙකුත් ආගමික නායකයින්ටත්, එනම් ආගමක නායකයින් වන අපට පැවරෙන කාර්යභාරයක් තිබෙනවා. ඒ සැපයුම් ජාලය අඩාල කිරීමට, මර්දනය කිරීට ඔවුන් ගන්නා උත්සාහ ගනිද්දී, විෂ මත්ද්‍රව්‍ය ඉල්ලුම් ජාගය අඩපණ කිරීමේ වගකීම අපට පැවරෙනවා. ඒ නිසා මා යෝජනා කරන්නේ ඉල්ලුම් ජාලය අඩාල කිරීමේ උත්සාහට අපගේ සක්‍රීය දායකත්වය ලබා දී මේ උදාර පින්කමට අපගේ සහයෝගය පූර්ණකාලීනව ලබා දෙමු කියා මා සියලු ආගමික නායකයින්ට යෝජනා කරනවා.මේ වගේ වැඩ කරගෙන යද්දී බාධක එන්නේ ජනාධිපතිතුමනි ඔබතුමන්ට පමණක් නෙවෙයි. බුදු හාමුදුරුවන්ටත් මේ ආකාරයේම බාධක ආවා. බුදු හාමුදුරුවන්ට අප්‍රසාදය පළ කෙරෙන හේතු සොයා ගියා ම උන් වහන්සේ සතුන් මරන්න එපා කියන කොට සතුන් මරණ පිරිස බුදු හාමුදුරුවන්ට විරෝධය පෑවා. මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා කියන කොට මත්ද්‍රව්‍ය විකුණූ, පාවිච්චි කරන අයගෙන් විරෝධය මතු වුණා. එසේ නම් මේ කාර්යයේදීත් ජනාධිපතිතුමා ඇතුළු මීට සම්බන්ධ පිරිසට විවිධ බාධක පැමිණිය හැකියි.
ආගමික නායකයින් ලෙස අපේ දායකත්වය අනිවාර්යයෙන් ම අපි ලබා දෙනවා
මීට පෙර යම් යම් පාලන තන්ත්‍රයන් තුළ සිදු කළ 'මතට තිත' කෙසේ වෙතත් 'තිතට මත' ක්‍රියාත්මක කළ බව අප දන්නවා. මේ පින් බිමේ තිබෙන මහිමයට ඔබතුමාලට මේ රටේ පාලනය බලය හිමි වුණා. මම විශ්වාස කරන්නේ එසේ නොවුනා නම් කිසිසේත්ම ටොන් ගණනින් එන මත්ද්‍රව්‍ය මේ ආකාරයෙන් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔබතුමන්ලා මේ කර්තව්‍ය වෙනුවෙන් අවංකවම වෙහෙසෙන බව අපට පෙනෙන්න තිබෙනවා. එවිට සමහර රිදෙන උදවිය ඔවුන්ගේ ගැලවීම වෙනුවෙන් සුපුරුදු පරිදි නැවතත් චීවරය උපයෝගී කර ගෙන ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරන බව අපට දකින්න ලැබෙනවා. සමස්තයක් ලෙස මේ රටේ ගෞරවනීය සංඝරත්නය ඔබතුමාලා සමඟ අනිවාර්යයෙන්ම එක්වෙනවා. විවාදයකින් තොරව විෂ මත්ද්‍රව්‍ය උවදුරින් මේ රට බේරා ගැනීමේ උදාර පින්කමට ආගමික නායකයින් ලෙස අපේ දායකත්වය අනිවාර්යයෙන්ම අපි ලබා දෙනවා.
රංගන ශිල්පිනී අනෝජා වීරසිංහඅප අවට පරිසරය පිළිබඳව සිහියෙන් ඉඳිමු
''දෙමව්පියනි, අනුන්ට ඇඟිල්ල දිගු කිරීමට පෙර කරුණාකර තමන් දෙස බලන්න. දරුවාට වෙනදාට වඩා කේන්ති යන්නේ ඇයි? දරුවාගේ ඇස් රතු වන්නේ ඇයි? දරුවා කඩා වැටී ඉන්නේ ඇයි? හුස්ම ගැනීමට අපහසුවෙන් ඉන්න කොට සෘජුව ඉන්න බෑ. සෘජුව ඉන්න බැරි දරුවෙක් කඩා වැටෙන්නේ ඇයි? මේ ගැන හොයන්නේ නැතුව බණිනවා. ඵලයට බෙහෙත් කරනවා මිස හේතුව හොයන්නේ නැහැ. ඒ දරුවන්ට ආදරය ලැබුණ ද? මත් උවදුරින් අපේ රට මුදා ගැනීමට අද අපේ ජනාධිපතිතුමාත්, රජයත්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟ විශාල වෙහෙසක් ගන්නවා. පුරවැසියන් ලෙස අපට කළ හැකි දේ තමයි අප අවට පරිසරය පිළිබඳව සිහියෙන් සිටීම. බස් නැවතුමට ගිය ගමන් ෆෝන් එක දිහා බලන් ඉන්න එපා. දෙපස ඉන්න දරුවෝ ගැන ඇස් ඇරලා බලන්න. සමහර විට සියදිවි නසා ගැනීමට යන දරුවෙක් විය හැකියි. අපේ පුංචි ආදරය , සිනාව ඒ දරුවාව ජීවත් කරවීමට තරම් බලවත්. සමාජීය සෞඛ්‍ය මීට වඩා සුවපත් විය යුතු කාලයක් ලෙස මා දකින්නේ. මගේ දරුවා, මගේ ගෙදර කියන තැනින් අපි ඉවත් විය යුතුයි. අපි පුංචි කාලේ තිබුණේ පුංචි ගෙයක්, ලොකු පවුලක්. අද කාමර ගොඩක් තියෙන ලොකු ගෙයක, කාමරවල තනි වෙලා. කාමරවල දොර වසා ගත්තාම දරුවා මොනවද කරන්නේ කියලා දන්නේ නැහැ.
දරුවන් නැති රටක් දිනලා පලක් තියේවි ද...?
අද මේ වීඩියෝවල පෙන්නූ සිද්ධි අධ්‍යනයන් මා ළඟ ඕනෑ තරම් තිබෙනවා. සමහර දෙමව්පියන් දරුවා තේරුම් ගන්නේ නැතුව බොහෝ වියදම් කර අගෙන ගන්න කියලා පිටරට යවනවා. මාස තුනක් යන්නත් කලින් දරුවා සම්පූර්ණයෙන් විනාශ වෙලා ආපහු එනවා. මේ රටේ දී ටිකක් විනාශ වෙලා තිබුණා. දරුවා හදා ගන්න කියලා පිටරට යැව්වා. සම්පූර්ණයෙන් විනාශ වෙලා එනවා නැවත ගොඩ ගන්න බැරි තරමට. සියල්ලෝ ම පාරට වැටෙනවා. අපි බුද්ධිමත්ව අපේ පවුල කළමණාකරණය කර ගත්තා ද? දැන් මේ ව්‍යසනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඔඩු දුවපු වෙලාවක අපට ලැබෙන අත හපා කන්නේ නැතුව අපි අපට පුළුවන් ප්‍රමාණයෙන් අපේ දායකත්වය ලබා දිය යුතුයි. පක්ෂය, රජය මොකක් වුනත් කරන කාර්යය අප වෙනුවෙන් නම් ඇයි පසු බසින්නේ? අපි පස්සට යන්නේ අපේ දරුවෝ ටික විනාශ වෙනකම්ද?
මට මතක් වෙනවා මා රඟ පෑ ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය යේ එන දෙබසක්.
“නුවරක් දිනන්නට එම නුවර වනසා එහි වෙසෙන දන නසා, බැති පුද ලබන දේව පුදසුන් ද, මලවුන් නිසලව සැතපෙනා සොහොන් කොත් ද වනසාලන යම් අමනයෙක් වේද, සිදු කරන්නේ හෙතෙම තමා වටා කතරක් ඉදි කොට ඌද තනිවී නැසී යාමය”
දරුවන් නැති රටක් දිනලා වැඩක් තියෙයිද? දරුවන් නැති රටක්, තරුණයින් නැති රටක් අරගෙන මහලු වී ගිය අපි වගේ අය එක්ක අපිත් තව ටික දවසකින් මැරිලා යාවි. එහි කියූ අයුරින් නැසී යෑම හැර රටක් කරවන්නට කිසිවෙක් ඉතුරු නොවේවි.''
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, සදරුවන් මදරසිංහ යන අය ද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන අය සහ ආරක්ෂක අංශ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.








