අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 'පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානියාගේ අනුමැතියත් ඕනෑ' යන සිරස්තලය යටතේ ‘ අරුණ පුවත්පතේ පෙරේදා (19) පළ කළ පුවත සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
එම අවස්ථාවේ වැඩ් දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා...
මෙබඳු සිදුවීමක් වෙලා නැහැ
''ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස මේ සභාවේ අවධානය යොමු කරන්න කැමතියි, ඊයේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ගැන. පොලිස් වාර්තා ගන්න මහජන ආරක්ෂක කමිටු ප්‍රධානියාගේ අනුමැතියත් ඕනෑ කියලා තියෙනවා. මේ ප්‍රවෘත්තියට පදනම් වෙන මූලාශ්‍රය මොකක්ද? මූලාශ්‍රයක් කියන්නෙත් නැහැ. මහජන ආරක්ෂක ඇමැතිතුමා කිව්වාට පසුව අද මුල් පිටුවෙ බොහොම පොඩි තැනක පළ කරනවා ඒක කිව්වේ ග්‍රාම නිලධාරීන් කියලා නිවැරදි කිරීමක් ආකාරයට දාලා තියනවා. නිවැරදි කිරීමක් නෙමෙයි. ඒක දාන්නෙ ඔවුන්ගේ ප්‍රවෘත්තිය සාධාරණීකරණය කර ගන්න.
මේ කියලා තියෙන්නෙත් අනුරාධපුරයෙ නැගෙනහිර නුවර ගම් පළාතේ ග්‍රාම නිලධාරී කිහිප දෙනෙක් ලියපු කෙනට කිව්වා කියලා ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් කරන්න උත්සාහ කරනවා. ඒ තුලානේ කිසිම ග්‍රාම නිලධාරියෙක් කියලා නැහැ. නැති දෙයක් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් කරලා කැලඹිමක් හදන්න උත්සාහ කිරීමක් මේ.
රටේ ජනතාව කැළඹීට පත් කිරීමට උත්සාහ කිරීමක්
මීට කලිනුත් පළ කරලා තියෙනවා ජනවාරි 3 වැනිදා ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කොස් විකුණන්න බෑ කොළකැඳ වීකුණූ අයටත් නඩු දාලා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර දින දෙකක් යන්නටත් මත්තෙන් අරුණ පුවත්පත ප්‍රවෘත්තියක් දානවා කොළ කැඳ විකුණූ අයටත් කොස් කපපු අයටත් නඩු දාලා කියලා . මේ කියන්න හදන්නෙ මොකක්ද? පාරෙවත් පොඩි දෙයක්වත් කරන්න දෙන්නේ නැහැ කියාල. වැරදියි කිව්වා. පොලිසිය මෙහෙම කියලත් නැහැ. නිවරදි කිරීමක් කළේ නැහැ. කෙනෙක් කිව්වා කියලා දැම්මා එච්චරයි.
දැන් සූදානම් වෙලා ඇති උතුරේ සැමරුම් ගැන එල්ටීටී බැනර් ලාංඡන ප්‍රදර්ශනයට අවසර. මහජන ආරක්ෂක ඉතාම සාවද්‍ය ප්‍රවෘත්තියක්. රටේ ජනතාව කැළඹීට පත් කිරීමට උත්සාහ කිරීමක්. මේ පත්තරේ මෙහෙම ප්‍රවෘත්ති දාලා නිකං ඉන්නවා නෙමෙයිනේ. එහෙම දාලා රස කර කර දෙරණෙ කියවනවා. මූලාශ්‍රයක් නැති ප්‍රවෘත්ති කියවන්න සලස්වා තිබෙනවා. චතුර ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. එෆ් එම් එකෙත් කියවනවා ඇති. මේක වවනවා. වවලා මහජනතාව අතර කැලඹීමක් ඇති කරන්නයි මේ හදන්නෙ. මොකක්ද අරමුණ. තනිකරම කඩාකප්පපල්කාරී ක්‍රියාවක්. රටේ ඉදිරි ගමන වළක්වන්න කරන වැඩක්.
ඒ ගොල්ලන් කියන උත්තරේ තියෙන්නෙ කවුරු හරි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් කොළඹට කතා කරලා කිව්වා ඒක අපි පළ කළා කියලා. නයි කථාවට කිව්වෙත් ඕකමයි. කැලණියෙ වාර්තාකාරය කිව්වා; කිව්වාම අපිට කරන්න දෙයක් නැහැ අපි දැම්මා. මාධ්‍ය ලෝකයේ එහෙම කොහොමද වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැතිතුමාගෙන් අහන්න තිබුණා. නියෝජ්‍ය ඇමැති කෙනෙක් ඉන්නවා. අමාත්‍යාංශ ලේකම් ඉන්නවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉන්නවා. ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ කිසිවකුගෙන් ඇහැව්වෙ නැහැ. කිසිවක් නැහැ.
නීතිමය කටයුතු කරනවා
නුවර ගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්ගෙන් අහන්න ග්‍රාමනිලධාරීන්ට මෙහෙම උපදෙස් දිලා තියෙනව ද කියලා. එහෙම වෙලා නැහැ. එවන් තත්ත්වයක් තියෙද්දි ඉතාම සාහසික හා සාවද්‍ය ලෙස කටයුතු කරනවා. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පුවත්පත් මණ්ඩලයට කිව්වාම ඕං කියනවා මාධ්‍ය මර්දනය කියලා. ජනතාවට තියෙන තොරතුරු දැන ගැනීමේ අයිතියට මුවා වෙලා මේ ආකාරයේ විකෘති කරන්න එපා. මේ වගේ ප්‍රවෘත්ති පළ කරන එක ගැන ලැජ්ජා වෙන්න ඕන. මොකද හැමදාම මේ කට්ටිය අරුණ පත්තරේම වැඩ කරන්නෙත් නැහැනේ. තමන් වෙනත් තැනකට වෙන ගියාට පසුව ලැජ්ජා නොවන ආකාරයට වැඩ කරන්න වෙනවා. තමන් වැඩ කළේ අරුණ පත්තරේ කියලා ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ නෙ. පත්තරේ අයිතිකරුට මොන දේශපාලනයක් තිබුණත්. මාධ්‍යවේදීන්ට කියන්න හැකියාව තිබිය යුතුයි අහවල් පත්තරේ වැඩ කළේ කියලා ලැජ්ජා නැතුව කියන්න .
මේක කතා කරන්න මෙතැන තමයි හොඳම තැන. මොකද මේකට අදාළ කරන පුද්ගලයා මෙතැන ඉන්න නිසා. ආණ්ඩු විවේචනය කළාට කමක් නැහැ නමුත් මේ වගේ සාවද්‍ය ප්‍රවෘත්ති පළ කරලා ජනතාව අතර කැළඹීමක් ඇති කරන්න ගත් උත්සාහය සම්බන්ධයෙන් කළ හැකි නීතිමය කටයුතු කරනවා. පැමිණිලි කරන්න අවශ්‍ය තැන්වලට පැමිණිලි කරනවා.අපිට අවශ්‍ය වන්නේ මාධ්‍ය නිදහස ආරක්ෂා කර ගනිමින් ජනතාවට ඇත්ත තොරතුරු දැන්ගන්න තියෙන අයිතිය ආරක්ෂා කරගන්නයි.''
මේ මුල පුරන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට ද? - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
''මේක කඩාකප්පල්කාරී දෙයක් නෙමෙයි; මේක සාවද්‍ය දෙයක් නෙමෙයි. මේ ගැන කියන්න හොඳම තැන මෙතැනයි කියලා ඇමැතිතුමා කිව්වා. මේ ප්‍රවෘත්තියේ මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස. මහජන ආරක්ෂක ඇමැතිතුමා කිව්වා පොලිස් සහතික ගන්න ප්‍රජාපොලිස් කමිටුවල සභාපතිගේ නිර්දෙශය අවශ්‍ය නැහැ කිව්වා. මාතර කිරින්ද පුහුල් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගොඩ ගාම නිලධාරී වසමේ කංකානම් පතිරණගේ අනුරාධ මධුෂංක පෞද්ගලික රැකියාවකට පොලිස් සහතිකයක් ගන්න ගිය වෙලාවේ හක්මන පොලිස් ස්ථානයෙන් කියනවා ග්‍රාම නිලධාරී වාර්තාවට අමතරව ප්‍රජා පොලිස් කමිටු සභාපතිගෙ ලිපිය අවශ්‍යයි කියලා. සභාපති පී. රාමවික්‍රම. සභාපතිවරයා ලිපිය දුන් පසුවයි පොලිස් වාර්තාව ලබා දීලා තියෙන්නෙ .
ඒ වගේම කඹුරුපිටිය පොලිස් වසමේ ලේනවටුව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ 317 සී ලිපිනයේ පදිංචි ඩී.ජී. දෙනෙත්ටත් කියනවා ප්‍රජා පොලිස් කමිටු සභාපතිගෙ ලිපිය අවශ්‍යයි කියලා. සභාපති සම්පත් වික්‍රමසිංහ ඔහු තමයි එන්.පී.පී. සභාපති. මම මේ සිදුවීම් කියන්නේ නම්ගම් හා පොලිස් ස්ථාන සහිතවයි. මේ මුල පුරන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට ද? පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කරන්නට ද . මරණාධාර ,ප්‍රජාසංවර්ධන ඇතුළු සියලු සමිතිවලින් ඒකාධිපතිත්වයක් නිර්මාණය කරන්නයි හදන්නේ. තොරතුරු දත්ත සහිතව කියන්නෙ. මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස. චතුර චමුදිත ගැන කිව්වා. ඒ අය හොඳ කියනකොට හොඳයි .විවේචනයත් ඉවසන්න. දෙකම හොඳට භාර ගන්න.''
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල
ඒ කමිටුවෙ ලේකම් ග්‍රාම නිලධාරි
''ඔබතුමා උත්සාහ කරනවා මේ ප්‍රවෘත්තිය සත්‍යයි කියලා කියන්න . ඔබතුමා කිව්වා මහජන ආරක්ෂක කමිටු දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා කියලා. ඔබතුමා දන්නවා ද ඒ කමිටුවෙ ලේකම් ග්‍රාම නිලධාරි කියලා. ප්‍රජා පොලිස් නිලධාරියා තමයි කැඳවුම්කරු. කමිටුවෙ ඡන්දෙන් සභාපතිවරයා පත් කර ගන්නවා. මෙතැන කිසිම දේශපාලනයක් නැහැ. ඡන්දයෙන් මාලිමාවට ලැබෙනවා නම් කරන්න දෙයක් නැහැ.''
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි ( සජබ )
වරප්‍රසාද කමිටුවට යන්න
''ජනමාධ්‍ය ඇමැතිතුමා කළේ අමාත්‍යාංශ නිවේදනයක් නෙමෙයි. එතුමා පත්තරේ ගෙනැල්ලා පත්තරේ කියවනවා. එක් වරප්‍රසාද කමිටුවට යන්න ඕන. පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරලා එයාලට ගහන මඩ ටික හෝදන්න අවස්ථාව දෙන්න එපා.''
ජනමාධ්‍ය අමාත්‍යවරයා
ප්‍රජා ආරක්ෂක කමිටුවලට ගහන්න හදන්නෙ ඇයි?
''මට ඒකට අයිතියක් තියෙනවා . එකක් මාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීම අනෙක් එක ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම. ප්‍රජා ආරක්ෂක කමිටුවලට ගහන්න හදන්නෙ ඇයි. කුඩු ව්‍යාපාරය මර්දනය කරන්න වැඩ කරද්දි මේ අය ඒවාට බාධා කරනවා.''
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් (සජබ)
''අපේ ප්‍රදේශවලත් මේ ලිපිය ඉල්ලනවා .අවශ්‍ය නම් මම ඉදිරිපත් කරන්නම්.''
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක (ශ්‍රී පො පෙ)
බොරුවක් කියනවා නම් ඇමැතිවරු දෙන්න කතා කරගෙන කියන්න
''උදේ සිට ම දෙරණට ගැහැව්වා. අරුණට ගැහැව්වා. පොලිස් වාර්තාව සාවද්‍යයි කියලා කිව්වා. ඒ වගේම මහජන කැළඹීමක් කරන්න හදනවා කිව්වා. මාධ්‍ය මර්දනය කිරීමට ගත් උත්සාහයක් කියලයි කියන්නේ. මම ඊයෙ මේ ප්‍රශ්නය රාජ්‍ය පරිපාලන ඇමැතිතුමාගෙන් විමසුවා. රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා කිව්ව එක හැන්සාඩ් වාර්තාවෙත් තියනවා. එතුමා කිව්වෙ පොලිස් වාර්තා ගන්න මීට පෙර සිවිල් ආරක්ෂක කමිටු තියෙන කාලේ සභාපතිගෙන් ලිපියක් අවශ්‍යයක් වුණා කියලා. දැන් මහජන ආරක්ෂක කමිටු කියලා කියන්නෙත් ඒකමයි. ඒ නිසා කලින් පැවති ක්‍රියාවලියම තමයි ක්‍රියාත්මක වෙන්නේ මේකෙ නම වෙනස් වෙලා විතරයි කියලා. දැන් වෙනසක් නැහැ. ඒක දෙරණත් කියනවා අරුණත් කියනවා. එහෙම තියෙද්දි පොලිස් ඇමැතිතුමා ආනන්ද විජේපාල ඇමැතිතුමා කියනවා මාධ්‍යයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා.
සබැඳි ලිපියක් :
මහජන ආරක්ෂක ඇමති වැරදියි, අරුණ පත්තරේ නිවැරදියි! | Uvindu Kurukulasuriya




