ඒ සඳහා යෝග්‍ය වැඩපිළිවෙළ වන්නේ ධනවාදී වැඩපිළිවෙළ වන අතර මෙහි ධනාත්මක සහ ගුණාත්මක පැතිකඩක් ඇති බවත් ඇති හැකි අය තවත් ඇති හැකි අය වී ජන සමාජයේ පහළ සිටින අය තවත් පහළටම වැටිය හැකි නිසා සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ මිනිසත්කමට මුල් තැන ලබා දෙන මානුෂීය ධනවාදය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද බත්තරමුල්ල මොනාර්ක් උත්සව ශාලාවේ පැවැති සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් ආසන සංවිධායක හමුව අමතමිනි.
එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ධනය උත්පාදනය පෞද්ගලික ව්‍යවසායකත්වය හරහා
''ඉල්ලුම සැපයුමට පමණක් තනිවම තීන්දු තීරණ ගන්නා ධනවාදයට අපිට එකඟ විය නොහැකි යි. ධනවාදය තුළින් නිර්මාණය වන පරස්පරතා අසමතුලිතා ඇති හැකි නැති බැරි ගැටලුව විසදන්නට සීමා සහිත රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය යි. ඒ සඳහා සුබසාධන රාජ්‍යයක් සෑහෙනවා. එක්සත් රාජධානියේ පවා සුබසාධන රාජ්‍යයක් පවතිනවා. එහි ද සෞඛ්‍ය හා අධ්‍යාපනය නොමිලේ සපයනවා. රටක් ලෙස පොදු අවමයක් පිළිබඳ පිළිගැනීමක් තිබෙනවා. රටකට සමාජ ආරක්ෂණ දැලක් අවශ්‍ය යි. ඒ වෙනුවෙන් සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් කර, ධනවාදය හා නව ලිබරල්වාදය තුළ නිර්මාණය වන අසමතුලිතතා නිවැරදි කළ යුතු යි. රටක් ඉදිරියට යාමට පෞද්ගලික ව්‍යවසායකයත්වයට මුල්තැන දී රාජ්‍ය අංශයට සාර්ථකව ව්‍යාපාර කර ගෙන යාම අසාර්ථක නිසා පෞද්ගලික ව්‍යවසායකත්වය හරහා ධනය උත්පාදනය කර, නව ප්‍රවණතා අවබෝධ කර ගත යුතු යි.
රටට ඇති විකල්පය තුන්වන මාවත යි
ලෝකයේ වේගයෙන් තාක්ෂණික වශයෙන් ඉදිරියට යන නිසා රටක් ලෙස අප ඒ තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු යි. ලෝකයේ ඇති සාම්ප්‍රදායික රැකියා අතුරුදන් වී ඒ රැකියාවලින් කෙරුණු සේවාව ස්මාර්ට් ෆෝන් එකෙන් කරන තැනට පත්ව තිබෙනවා. මේ නව තත්ත්වය තුළ අපේ ආර්ථික ප්‍රතිපත්තිය යා යුතු දිශාව ගැන අප නැවත වරක් සිතිය යුතු යි. මානුෂිය ධනවාදය සමාජ වෙළෙදපොළ ආර්ථිකය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සීමාසහිත රාජ්‍ය මැදිහත්වීම යන සංකල්පය මැද මාවත හෙවත් තුන්වැනි මාවත රටට ඇති විකල්පය බවට පත් කළ යුතු යි.

අද ආණ්ඩු කරන අය සහ එදා සුව සැරිය
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ 1990 සුවසැරිය නව ලිබරල්වාදී ප්‍රතිපත්තියක් නෙවෙයි; එය රාජ්‍ය මැදිහත්වීම තුළ සුබසාධන රාජ්‍යයේ නොමිලේ සෞඛ්‍ය සේවාවට ලබා දෙන ලොකුම හයියක්. මෙය ගේන විට වත්මන් රජයේ සිටින අය එක්සත් රටක රහස් බුද්ධි අංශය අප රටේ ක්‍රියාත්මක කරන කුමනත්‍රණයක් කිව්වත් අද එය බොරුවක් බවට පත්ව වෙලා. සෑම දෙයක් ම ඉල්ලුම සැපයුමට කළ නොහැකි යි. සමාජයේ ඇති පිරමීඩයේ අන්ත දරිද්‍රතාවයේ ඇති ප්‍රජාව ප්‍රමුඛ සෑම තලයක ම අය ආරක්ෂා කළ යුතු යි.
අයි. එම්. එෆ්. ආර්ථික රටාව අපිට වෙනස් කරන්න බෑ
ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ පළමු මාස දෙකක් තුළ කෝටිපතියන්ට බිලියන 600ක 700ක බදු සහන දුන්නා. ඒ අවස්ථාවේ කෝටිපතියන් මෙය රටට හානියක් කියල කිව්වෙ නෑ. මේ බදු සහන ලැබෙන ප්‍රතිලාභීන් සතුටු වූවා මිස එයට එරෙහි වුණේ නෑ. ඊට අමතරව අයි. එම්. එෆ් එකේ සිව්වැනි වාරිකය වන ඩොලර් මිලියන 100 ප්‍රතික්ෂේප කිරීම නිසා බංකොලොත් වී නැවත වරක් අයි. එම්. එෆ් එකටම යාමට සිදුවණා. අයි. එම්. එෆ්. ලෝක බැංකු යනු ලෝකයේ ආර්ථික රටාවක් නිසා එය අපිට වෙනස් කළ නොහැකි යි. ඒ නිසා පවතින රටාව තුළ රටක් ලෙස අප ගත යුත්තේ රටට ගැළපෙන ගිවිසුම වුවත් පසුගිය රජය එම ගිවිසුම ගත්තෙ නෑ.එම ගිවිසුම වෙනස් කරනවා කියපු ජවිපෙ ආණ්ඩුව පවා හිටපු රජයේ අඩිපාරේමයි යනනෙ.

ණය සහනය අඩුවෙන්නෙ මෙහෙමයි
අයි. එම්. එෆ් එක කියන ප්‍රාථමික ශේෂය 2.3ක් පවත්වාගෙන යා යුතු යැයි කියන විට මේ රජය 3.8ක් එනම්වැ ඩිපුර 1.5ක් පවත්වාගෙන යනවා. ප්‍රාථමික ශේෂය අයි. එම්. එෆ් කොන්දේසි ඉක්මවා ගිය නිසා වැඩිපුර බදු ගසා රටට අවශ්‍ය සංවර්ධන වියදම් කපා දැමුවා. මේවා කර අපි තමයි වීරයෝ යැයි කීමට බැහැ. ආර්ථිකය වේගයෙන් වර්ධනය විය යුතු වුවත් මේ ගිවිසුම තුළ Macro link bond නම් දෙයක් තිබෙනවා. මේ සූත්‍රය තුළ ආර්ථික වර්ධනය වැඩි වෙන්න වැඩි වෙන්න ණය සහනය අඩු වෙනවා.''




