ඔහු මෙම අදහස් පළ කළේ ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යවරයා කළ තවත් දූෂණ වංචා පිළිබඳ හෙළිදරව්වක් ද ඉදිරිපත් කරමිනි.
ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යවරයා සතු Omobio (Pvt) Ltd සහ Eimsky Business Solutions (Pvt) Ltd, යන ආයතන විසින් ආණ්ඩුවෙ කොන්ත්‍රාත් අරගෙන ඇතැයි සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන එහිදී බරපතල චෝදනාවක් එල්ල කළේය.
එහිදී ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා තමන් මේවනවිට එම සමාගම් දෙකේ CEO ( Chief Executive Officer) තනතුරෙන් ඉල්ලා අස් වී ඇතැයි පැවසිය.
තමන්ගෙ සමාගම් ආණ්ඩුව සමග එම ව්‍යාපෘති වලට ගිවිසුම් ගත වුයේ ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයා වීමට පෙර බවද ඔහු ප්‍රකාශ කළේය.
ඔහුම ප්‍රකාශ කරන පරිදි ඔහු අදාළ සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස් අස්වැන්නේ ඇමතිධූරයෙ දිවුරුම් දුන් දිනයෙය.
''මන්ත්‍රීධූරය දැරීමෙ නීත්‍යානුකූල අයිතියක් නෑ''
මේ සම්බන්ධයෙන් අතීතයේ නිදසුන් පැහැදිලි කරමින් අදහස් දැක්වූ සජබ මන්ත්‍රී අජිත් පී පෙරේරා, ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යවරයාට මන්ත්‍රී ධුරයක් දැරීමට හිමිකම් අහිමිවන බවට තර්ක කළේය.
ඔහු තව දුරටත් මෙසේද පැවසිය.
''මීට පෙර 1999 දී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාටත් මෙවැනි චෝදනාවක් යටතේ නඩු පවරලා ඔහුට සිය මන්ත්‍රීධූරය අහිමි වෙනවා. රාජිත සේනාරත්න මන්ත්‍රීධූරයෙ සිටිද්දී ඔහු රජයට දන්ත වෛද්‍ය උපකරණ සපයන ආයතනයක අයිතිය සහ කොටස්කරුවෙක් වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙ සිටිද්දී රජය සමග ව්‍යාපාර කටයුතු වල යෙදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට 1999 සැප්තැම්බර් මාසයේදී ඩිලාන් පෙරේරා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනවා.
එහිදී පෙත්සම්කාර ඩිලාන් පෙරේරා වෙනුවෙන් විජේදාස රාජපක්ෂ සහ එස් විමලසේකර පෙනී සිටි අතර විත්තිකාර රාජිත සේනාරත්න වෙනුවෙන් කේ එන් චොක්සි සහ දයා පැල්පොල පෙනී සිටිනවා. චොක්සි කියන්නෙ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට දායක වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ විශාරදයෙක්.
1999 දෙසැම්බර් 10 වෙනිදා මෙම පෙත්සමට අදාල තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. එහිදී ද්වී පුද්ගල විනිසුරු මඩුල්ල රාජිත සේනාරත්නගෙ මන්ත්‍රීධූරය අහෝසි කරමින් " ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක්" නිකුත් කරනවා.
ඒත් සමගම පාර්ලිමේන්තුවෙ මහලේකම් වරයා වෙත "මන්දාමුස් ආඥාවක්" නිකුත් කරමින් රාජිත සේනාරත්නගෙ මන්ත්‍රීධූරය අහිමි කිරීම සම්බන්ධව නිසි පියවර ගන්නා ලෙස නියෝග කරනවා. ඒ ක්‍රියාදාමයම අද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නටත් අදාළයි..''




