සහ පශ්චාත් අපදා “උඩරට පරිසර සංරක්ෂණ සංවර්ධන සැලසුමක්” ඉල්ලා දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදි කුසල් පෙරේරා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විවෘත ලිපියක් යොමු කර ඇත.
මේ රටේ ජනතාවට, මේ රටේ පුරවැසියාට, “ඩිට්වා” සුළි කුණාටුව හේතුවෙන් සැබවින්ම සිදුවූයේ කුමක්දැයි සහ අනතුරුව සිදුවන්නේ කුමක්දැයි සවිස්තරව දැන ගැනීමේ පූර්ණ අයිතියක් ඇති බවත්, එකිනෙකට ගැට ගැසුණු ඉකුත් වසරේ (2024) පැවති මැතිවරණවල දී ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා කණ්ඩායම වේදිකාවදී ම පොරොන්දු වූ පාරදෘශ්‍ය භාවය හා යහපාලනය නම් ම විස්තර ලබා දීම යැයි ඔහු මෙම ලිපියෙන් අවධාරණය කර ඇත.
මතු පළ වන්නේ දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදි කුසල් පෙරේරා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඉදිරිපත් කරන ලද සම්පුර්ණ ලිපිය යි.
හදිසි සහ ඉතා වැදගත්
විද්යුත් තැපෑල මගින්
ps@presidentsoffice.lk
විවෘත සංදේශයකි.
2025 නොවැම්බර් 30 වන දින
අතිගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිඳුන්
ජනාධිපති ලේකම් කාර්යාලයය
කොළඹ.
“ඩිට්වා” සුළි කුණාටුවට අදාලව කෙරුණු සහන සේවා හා පුනරුත්ථාපන කටයුතු සම්බන්ධ පූර්ණ කාර්යසාධන වාර්තාවක් සහ පශ්චාත් අපදා “උඩරට පරිසර සංරක්ෂණ සංවර්ධන සැළසුමක්” ඉල්ලා සිටීම
පසුගිය අවුරුද්දේ (2024) ජුනි මාසයේ ඔබ දේශපාලන වේදිකා මත කියූ “වැස්ස ස්වාභාවික තමයි. නමුත් අනතුර ස්වාභාවික නැහැ” යන්න මම ද පිළිගනිමි. එවගේම, ඔබ කියූ ලෙස, බොහෝ ආපදා වලට හේතුව නිසි සැළසුම් නොවීමත් අද අප ඉන්නේ, අවශ්‍ය සියලු තොරතුරු හා දත්ත අප අතේ ඇති දියුණු තාක්ෂණික ලෝකයක හෙයින් මෙවැනි ආපදා වළකා ගත හැකි පූර්ව සූදානම් සැළසුම් කළ හැකි බවත් අවිවාදයෙන් පිළිගනිමි. ඒ අනුව ඔබගේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව කටයුතු කළේ නම්, පසුගිය නොවැම්බර් 22 වන දින සිදුවූ කඩුගන්නාවේ නාය යෑම කෙසේ වෙතත් ජීවිත විනාශය වළකාගත හැකිව තිබිණ.
එවගේම, පසුගිය දිනෙක, ඔබගේ ආණ්ඩුවේ දේශපාලන නායකත්වයෙහි ප්‍රධානියෙකු වන පාර්ලිමේන්තුවේ සභානායක, බිමල් රත්නායක ඇමති, ආපදාවේ මුල් දිනවල තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු මම ඇසුවෙමි. කඩුගන්නාවේ හා බදුල්ලේ මිය ගිය සංඛ්‍යාව 26 ක් බවත් නුවර එළියේ 04 කු අතුරුදහන් බවත් ඔහු කීවේය. මේ සුළි කුණාටුව පැමිණෙන බව කල් තියා දැන සිටියෙන් ඔවුන් ආණ්ඩුව ලෙස මාසයක පමණ කාලයක පූර්ව සූදානම් සැළසුම් කළ බවත් ඔහු පාර්ලිමේන්තුවට කීවේය.
එහෙත් එවැනි කිසිවක් සිදුව තිබුණේ නැත.
අවපාතයක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු දැනුම් දීම කෙරුණේ නොවැම්බර් 12 වන දින යැයි වාර්තාවී ඇත. එහෙත් ඒ ගැන අවධානයක් යොමුව නැත. “බෙංගාල බොක්කේ, ශ්‍රී ලංකා වෙරළට ආසන්නව” ඩිට්වා සුළි කුණාටුව වර්ධනය වන්නේ යැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් අපගේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් පළමු වරට කීවේ, කඩුගන්නාවේ නාය යෑමට දින 04 ට කලින් නොවැම්බර් මස 26 වන දිනයේ ය.
එනිසා නැවත කිව යුත්තේ, කඩුගන්නාවේ නාය යෑමෙන් කියන්නේ, ආපදාවක් සඳහා ආණ්ඩුවේ කිසිදු සූදානමක් නොතිබුණු බවය. තවද, ජනාධිපති ලෙස ඔබ සමග සියලු සහන කටයුතු සැළසුම් කළ බවත් ජාතික ගොඩනැගිල පර්යේෂණ ආයතනය කරන්නාවූ වත්මන් පර්යේෂණ සමග ඉදිරි සැළසුම් ඔබ හා සාකච්ඡාකර සකසන බවත් බිමල් රත්නායක ඇමතිවරයා පාර්ලිමේන්තුවට කියුවේය.
ඊයේ (නොවැ. 29) රාත්‍රී 08 ට පමණ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කළ නිවේදනය අනුව, සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 159 ක් වන අතර අතුරුදහන් සංඛ්‍යාව 203 කි. පුද්ගලයින් 8,34,000 ක් වන පවුල් 2,34,000 ක් අවතැන්ව ඇත. ඉන්දියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව, අපගේ ආරක්ෂක හමුදා සියලු ආපදා කටයුතු කරන බවද වාර්තා විය. අත්‍යාවශ්‍ය සේවා නිත්‍යානුකූලව පැහැදිලිව සඳහන් නොවුනු පසුබිමක, ඉකුත් 28 වන දින රජයේ සේවා සඳහා නිවාඩු ලබා දීමෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැසුණු පසු, ආපදාවට ලක්ව ඇති බහුතරයක් ප්‍රදේශ සඳහා සහන සේවා නිසි පරිදි නොලැබුණු බැව් සනාථව ඇත.
සෑම දිස්ත්‍රික්කයකම පාහේ බිම් මට්ටමේ ගැටළු සම්බන්ධ තව බොහෝ පැමිණිලි ඇති බැව් ඔබ දන්නේ යැයි සිතමි. ඉන් බරපතල පැමිණිල්ලක් වන්නේ රජයේ නිවේදන හා දැනුම් දීම් දෙමළ බසින් නිකුත් නොකිරීම ය.
ඒ සමග “ඩිට්වා” සුළි කුණාටුව රටින් බැහැර වූවත් අවසන් නොවුනු විනාසය, තවමත් ඉතිරිව ඇත. ප්‍රධාන ගංගාවල ජලය පහළට ගලා විත් පහත් බිම් යට කරති. තෙත්බර පොළොවේ ලොකු ගල් සමග මඩ තොග, පහළට රූට්ටනු ඇත. මිය යෑම් හා අවතැන්වීම් තව දුරටත් ඉහළ දමන මේ ආපදා, ඉදිරි දින කිහිපයේද සිදුවිය හැක.
එබැවින් මේ රටේ ජනතාවට, මේ රටේ පුරවැසියාට, “ඩිට්වා” සුළි කුණාටුව හේතුවෙන් සැබවින්ම සිදුවූයේ කුමක්දැයි සහ අනතුරුව සිදුවන්නේ කුමක්දැයි සවිස්තරව දැන ගැනීමේ පූර්ණ අයිතියක් ඇත. එකිනෙකට ගැට ගැසුණු ඉකුත් වසරේ (2024) පැවති මැතිවරණ වලදී ඔබ සෑම වේදිකාවදීම පොරොන්දු වූ පාරදෘශ්‍ය භාවය හා යහපාලනය එය ය.
එබැවින් මෙයින් මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ,
(1) ආණ්ඩුව ගනු ලැබූ තීන්දු තීරණ
(2) දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ගොනුකර මෙහෙයවනු ලැබූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන, ප්‍රජා සංවිධාන
(3) ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ 331 හි සිදු කෙරුණු සහන සැපයීම් හා පුනරුත්ථාපන කටයුතු
(4) රාජ්‍ය නොවන, විදේශ ආධාර හා සහනාධාර සම්බන්ධ පූර්ණ මූල්‍ය වාර්තාවක් සහ
(5) ඉන්දීය හමුදා සහාය අවශ්‍ය වීම හා ඊට හේතුවූ කාරණා සමග, සමස්ථ ක්‍රියාකාරකම් අඩංගු විය යුතුය.
(1) “ඩිට්වා” සුළි කුණාටුව විසින් විනාස කරන ලද සියලු ප්‍රදේශ තිරසායි ලෙස සංවර්ධනය කිරීම(2) “ඩිට්වා” සුළි කුණාටුව විසින් සහ මීට පෙර 2014 ඔක්තෝම්බර් මස කොස්ලන්දේ මීරියබැද්ද නාය යෑමේ සිට මෙතෙක් නාය යෑම් වලින් අනාථව සිටින සියල්ලන් සදහා නැවත ස්ථිර පදිංචි කිරීම්
(3) තර්ජනයට ලක් වෙතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කරවීම වෙනුවෙන් විකල්ප ආරක්ෂිත ප්‍රදේශ හැදීම සහ(4) සමස්ථ සංවර්ධන සැළසුම සඳහා වාර්ෂිකව වැය කෙරෙන ඇස්තමේන්තුගත මුදල අඩංගු කාරණා විය යුතුය.
මෙයට විශ්වාසී,
විමසිලිමත් පුරවැසි සහ දේශපාලන විචාරක
කුසල් පෙරේරා
kusal.perera@gmail.com




