මේ අනුව ජනාධිපති අනුර දිසානායකගේ උපදෙස් මත ජල සැපයුම පාරිභෝගික ජනතාවට කඩිනමින් ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ විදුලිබල මණ්ඩලයේද සහාය ලබා ගෙන තිබෙන බවද සභාපති පෙන්වා දුන්නේය.
ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ.එම්.පී.සී.ටී බණ්ඩාර මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාර ජලයෙන් යටවූ බවත්, එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාරවලට විශාල හානියක් සිදුව තිබෙන බවත් සභාපති සඳහන් කළේය.
තිස්සමහාරාමය, කතරගම, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, අම්පාර, උතුරු මැද, උතුර සහ වයඹ පළාත්වලට මේ වනවිට ජල සැපයුම බිඳවැටී තිබෙන බව පැවසූ සභාපති, මේ වනවිට ගාල්ල, අනුරාධපුර, මඩකලපුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජල සැපයුම 100%ක්ම යථා තත්වයට පත් කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.
එසේම බස්නාහිර පළාතේ අඹතලේ, ලබුගම, කලපුවාව සහ බියගම යන ප්‍රධාන ජලමූලාශ්‍රවලට හානියක් සිදුව නොමැති බවත්, කැලණි ගඟ පිටාර ගැලීමෙන් එම ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාරවලට තිබූ අවධානමද මේ වනවිට පහව ගොස් තිබෙන බවත් ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ.එම්.පී.සී.ටී බණ්ඩාර සඳහන් කළේය.
ජල සැපයුම බිඳ වැටී තිබෙන බොහෝ ප්‍රදේශවලට ජල බවුසර් ආධාරයෙන් ජලය ලබාදීමට පියවර ගෙන තිබෙන බවත්, ජල සැපයුම බිඳ වැටී තිබෙන අනිකුත් ප්‍රදේශවල ජල සැපයුම යථාවත් කිරීමට ත්‍රිවිධ හමුදාවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, විදුලිබල මණ්ඩලයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේත් සහාය ඇතිව පියවර ගෙන තිබෙන බවත්, ඒ අනුව ඉදිරි දින තුන ඇතුළත ජල සැපයුම 100%ක්ම ලබාදීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.




