ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍යය දුමින්ද දිසානායක ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේ ය.
ඔහු මෙම ඉල්ලීම කළේ ඊයේ (02) මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් අවතැන් ජනතාවට අවශ්‍ය කරන උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක...
පක්ෂ, පාට, භේද දුරලලා අපි එකට හිට ගමු
''අපි එකතු වෙමු; සමගි වෙමු. අපි දේශපාලනය පැත්තකින් තියලා මේ රට ගොඩ ගමු කියලා නිකං කිව්වට වැඩක් නෑ, ඒකට ඔබතුමා දරණ කැපවීම මොකක්ද ? ඒකට ඔබතුමා දරණ අවංක උත්සහය මොකක්ද කියන එක මේ රටේ ජනතාවට පෙන්වන්න. අපි දේශපාලනය නවත්තමු. සර්ව පාක්ෂික සමුළුවක් හෝ කැඳවලා ඔබතුමා අවංකව මේකට නායකත්වය දීලා ඉතාමත් ඉක්මනින් රට ගොඩ ගමු. මේ වෙලාවේ අපි සියලු දෙනාම එකතු වෙන්න ඕන වෙලාවක්. මේ රටේ දැන් තාක්ෂණය බොහෝ විට භාවිතා කරනවා කියලා කියනවා. මේ ආපදා තත්ත්වය ගත්තම බොහෝ දෙනෙක් සාකච්ජා කරනවා ඇයි 12 වැනිදා මේ පණිවිඩය ලැබිලත්, දේශගුණික විපර්යාස පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් මේ සියලු තොරතුරු සාකච්ජාවකින් පමණක් නෙමෙයි, මාධ්‍ය ඉදිරියේ ලෝකය සහ රටේ ජනතාව දැකලත් ඇයි මේකට උත්තරයක් හෙව්වේ නැත්තේ කියලා.
අපි දොස් කියනවා නෙමෙයි, උදාහරණයක් කියන්න ඕන. සමාජ මාධ්‍යවල දැක්කා ආපදා කළමණාකරනය පිළිබඳ කමිටුව අවුරුදු 8 කින්ද, 6 කින්ද කැඳවලා නෑ කියලා. කාටවත් බැණ බැණ ඉන්නවාට වඩා 12 වැනිදා නම් මේ පිළිබඳ තොරතුරු ලැබුනේ, අඩුම තරමේ 13 වැනිදා මේක කැඳෙව්වා නම් මං හිතන්නේ අපිට මීට වඩා ජීවිත සංඛ්‍යාවක් බේරා ගන්න තිබුණා. ඔබතුමන්ලාට පේනවා මේ දේපළ හානි වෙලා තියෙන තරම්, විහාරස්ථාන, ජනතාව තමන් උපයා ගත්ත සියලු දේ නැති වෙලා තියෙනවා. මේක කළමණාකරණය කර ගන්න තිබුණා. හැබැයි දැන් අපි පවතින ආණ්ඩුවට දොස් කියලා වැඩක් නෑ. දොස් කිව්වා කියලා මේ පන්සල හැදෙන්නේ නෑ. වෙච්ච පාඩුව නැති වෙන්නේ නෑ. ජීවිතවලට පණ ලැබෙන්නේ නෑ. ජනාධිපතිතුමා කොච්චර ජීවිතවලට පණ දෙන්න ලෑස්ති වුණත් අපි දන්නවා ලෝකයේ හැමෝම දන්නවා මැරිච්ච මනුස්සයා මැරුණා. ඒ මනුස්සයාට ආයේ ජීවිතයක් දෙන්න පුළුවන්කමක් නෑ,
ඒ නිසා මං කියන්නේ දැන්වත් අපි එකි නෙකාට දොස් කියා ගන්නා එක නවත්තලා අපි කාර්යක්ෂම වෙමු. දැන් සියලු දෙනා පක්ෂ භේද අමතක කරලා දාලා අපි එකට එකතු වෙලා මේ දුක් විඳින, ඒ වගේම තමන් ජීවිත කාලය පුරාම උපයා ගත්ත දේ නැති වුණ මේ ජනතාව වෙනුවෙන් අපි හැමෝම පක්ෂ පාට භේද දුරලලා අපි එකට හිට ගමු.
ආණ්ඩුව රජයේ නිලධාරීන් ගේ විශ්වාසය බින්දා
අපි දැකලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ තමන් බලයේ නැති කොට රතු තරුව කියලා තොප්පිය දාගෙන බැස්සේ ගම්වල ගංවතුරට, හැබැයි අපි නිල් තොප්පි, කොළ තොප්පි, රතු තොප්පි දාලා නෑ, අපි හැමෝම එකට එකතු වෙලා ජනාධිපතිතුමා කිව්වා වගේ අපි පස්සේ හොයා ගමු මේකේ වැරැද්ද කාගේද? ඇයි මේකට පියවරක් ගත්තේ නැත්තේ? මොකක්ද වුණේ කියලා. දැන් අවශ්‍යය කරන්නේ මේ රටේ ජනතාවට අවශ්‍ය සහන සලසන එක. විශේෂයෙන් ගත්තොත් අනුරාධපුරයේ මම අද දිසාපතිතුමා එක්ක කතා කළා. ඊයෙත් මම කතා කළා, අපි කඳවුරු බලන්න ගියා. සමහර කඳවුරුවලට ආණ්ඩුවෙන් ලැබෙන ඒ බඩු මල්ල ලැබෙන්නේ නෑ, සමහර තැන්වලට කෑම ටික නිසි ආකාරව ලැබෙන්නේ නෑ, අපි නිලධාරීන් කාටවත් දොස් කියලා තේරුමක් නෑ. කළමණාකරණය කිරීමේ දී මම හිතන්නේ ආණ්ඩුව පහුගිය ආපදාවල දි පැවති ආණ්ඩු කොහොමද ආපදා කළමණාකරණය කර ගත්තේ කියලා දන්න කියන අයගෙන් ඇහුවා නම්, ඒ රැස්වීම්වලට දේශපාලන අධිකාරිය වාඩි වුණාට තේරුමක් නෑ ඒ නායකත්වය දෙන්නේ නැත්නම්.
ජනාධිපතිතුමා අදටත් කියනවා මිලියන 50 ක් දක්වා ප්‍රාදේශීය ලේකම්තුමන්ලාට බලය දුන්නා කියලා. හැබැයි අදටත් ගරු ජනාධිපතිතුමනි සමහර ප්‍රාදේශීය ලේකම්තුමන්ලා බඩු මල්ල ගන්නේ ණයට, ඒ අය බයයි. ඒ මොකද බය...? තමන් ආණ්ඩුව කියන විදිහට මේ බඩු මල්ල අරගෙන බෙදලා ඊළඟට මේ අයට නීත්‍යනකූළ ප්‍රශ්නයක් ආවොත් කවුද බේර ගන්නේ කියන ගැටලුව තියෙනවා. මේ ආණ්ඩුව රජයේ නිලධාරීන් ගේ විශ්වාසය බින්දා; විශ්වාසය රැක ගත්තේ නෑ.
නිලධාරීන් විශ්වාස කරන්න
12 වැනිදා ලැබුණු තොරතුරුවලට ක්‍රියාමාර්ග ගත්තේ 28 වැනිදා, 29 වැනිදා. අපි දැක්කා ඒක. ජනාධිපතිතුමා රැස්වීම කැඳෙව්වෙත් 27 හරි 28 හරි, මේ ආපදාවන් සිදු වෙලා දවස් ගානක් ගිහිල්ලා.මෙවැනි දේවල් දැක්කාම රජයේ නිලධාරීන් තවත් භය වෙනවා. ඒ නිසා මම රජයේ නිලධාරින්ට කියන්නේ, අත්දැකීම් තියෙන නිලධාරීන්ට කියන්නේ මේ වෙලාවේ පුළුවන් තරම් ශක්තියක් දෙන්න. මේ වෙලාවේ යම් යම් අඩුපාඩු හැමෝ අතින්ම වෙන්න පුළුවන්කම තියෙනවා. මේකට නීතියම බල බල ඉන්නේ නැතිව, මේකට වැරැද්දම හොයා හොයා ඉන්නේ නැතිව, මේ නිලධාරීන් විශ්වාස කරන්න; මේ නිලධාරීන් විශ්වාස කරලා මේ බඩු ක්ෂණිකව ලබා දෙන්න.
රුපියල් ලක්ෂයක්, ලක්ෂ එක හමාරක් ගොවියන් ගේ අතට එන ක්‍රමයක් හදන්න
ඒ වගේම වන්දි මුදල්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් මම දිසාපතිතුමා එක්ක සාකච්ජා කරද්දී එතුමා කිව්වේ තාම හරියට කියන්න බෑ, දළ වශයෙන් ගත්තොත් කුඹුරු 60 000 කට වඩා විනාශ වෙලා තියෙනවා. මේක පූර්ණ හානිද? අර්ධ හානිද ? අපි දන්නේ නෑ, හැබැයි අපි දන්න එකම දේ තමයි ගොවි මහත්වරු විදිහට එක කන්නයක් පමණක් වගා කරලා අවුරුද්දක්ම ජීවත් වෙන ගොවියෙක් ගත්තොත් ලක්ෂ 1 1/2 කට වඩා වියදම් කරලා ඉවරයි අක්කරයකට. හැබැයි ආණ්ඩුවෙන් තාම පොහොරවලට මුදල් දීලත් නෑ, ඔබතුමන්ලා කිව්වේ ගොවියෝ කියන්නේ හිඟන්නෝ නෙමෙයි ගොවියෝ ගාව පොහොර ගන්න සල්ලි තියෙනවා, ඒ නිසා පොහොර ටික ඔයගොල්ල ගහන්න අපි පස්සේ සල්ලි දෙන්නම් කියලා. එහෙම කියලා පොහොරවලට ණය වෙච්ච ගොවියට, බිත්තර වීවලට ණය වෙච්ච එක, පොහොරවලට ණය වෙච්ච එක, බිම් සකස් කරන්න ණය වෙච්ච එක මේ සේරම ණය වෙච්ච එක පමණක් නෙමෙයි, අද තමන්ගේ සමස්ත වගාවමත් නැති වෙලා තියෙනවා.
ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ගොඩ ගන්න පුළුවන් කුඹුරු ටික ගොඩ ගන්න, නැවත වතාවක් වපුරා ගන්න පරීක්ෂණ තිය තිය ඉන්නේ නැතිව කෘෂි පර්යේෂණ නිලධාරීන් විශ්වාස කරලා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විශ්වාස කරලා, මේ රටේ රාජ්‍යය නිලධාරීන් විශ්වාස කරලා ඉතාමත් ඉක්මනින් ඒ අයට රුපියල් ලක්ෂයක්, ලක්ෂ එක හමාරක් අතට එන ක්‍රමයක් හදන්න කුඹුරු වපුරා ගන්න නැවත වතාවක්.එහෙම නැත්නම් විශාල ආහාර අර්බුධයකටත් අපිට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි.
බඩඉරිඟු ගොවියත්, වී ගොවියත් ණයකාරයෝ බවට පත් වෙලා
බඩඉරඟු ගත්තොත් දිසාපතිතුමා කිව්වා හානිය තාම කියන්න බෑ කියලා. අපි දන්නේ නෑ මේක රටේ ම අක්කර ලක්ෂයක් ද , ලක්ෂ දෙකක් ද කියන කාරණය. බඩ ඉරඟු වගාව රටේ ම නැති වුණොත් එහෙම විශාල ප්‍රශ්නයක්. ඔබතුමන්ලා දන්නවා බඩඉරිඟු එක්ක ගැටගැහුණු කර්මාන්ත රාශියක් තියෙනවා. මේක විශාල අර්බුදයක් බවට පත් වෙනවා. බඩ ඉරඟු ගොවි මහතෙක් ගත්තත් මේ වෙන කොට අක්කරයකට එක් ලක්ෂ විසි දහසක් පමණ වියදම් කරලා තියෙනවා. ඒ සියල්ලම ගරු ජනාධිපතිතුමනි, ගරු කෘෂිකර්ම ඇමතිතුමනී ඔබතුමන්ලා මේක කොහොම අර්ථ දක්වන්න දැඟලුවත් ඔබතුමත් ගමේ මමත් ගමේ, ලාල් කාන්ත කෘෂිකර්ම ඇමතිවරයත් හිටියේ අනුරාධපුරයේ, අපි දන්නවා අපේ ගොවියන්ගේ තත්ත්වය කොහොමද කියලා, මේ කන්නය කරලා මේක ඒ අයගේ පරිපාලනයේ දෝෂයක් වෙන්න පුළුවන්, හැබැයි ඒක කටින් කිව්වාට හරි යන්නේ නෑ, ඒ අයගේ කළමණාකරනය පිළිබඳ යම් දෝෂයක් තිබෙනවා.එහෙම නැත්නම් ගොවිමහත්වරු හැමදාම ණයකාරයෝ වෙන්නේ නෑ, හැබැයි අපි දන්නවා අපේ ගොවි මහත්වරු ටික මේ කන්නයේ ගන්න ආදායමෙන් පුළුවන් තරම් වියදම් කරනවා. ඊට පස්සේ ලබන කන්නයට ණය වෙනවා. ඒ අස්වැන්න විකුණලා තමයි ඒ ණය ටික ගෙවන්නේ. ඒ නිසා අද අපේ බඩඉරිඟු ගොවියත්, වී ගොවියත් ඉන්නේ ණය කාරයෝ බවට පත් වෙලා.
භාණ්ඩාගාරය පිරී ඉතිරිලා යන මුදල් ටික දැන් එවන්න
ආහාර හිඟයට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එක ඔබතුමන්ලා ගේ වගකීමක් වගේ ම මේ අය තමන් ගේ ළමයා ඉස්කෝලේ යවන එකේ ඉඳන්, ගමනක් යන එකේ ඉඳන්, බෙහෙත් හේත් ටිකක් ගන්න එකේ ඉඳන් මේ සියල්ලම කරන්න වෙලා තියෙන්නේ මේ මුදලින්, හැබැයි අද ඒ අය ණයකාරයෝ බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඉතාමත් ඉක්මනින් රජයේ නිලධාරීන් ටික විශ්වාස කරන්න. මේ කුඹුරු ටික සතියක් ඇතුළත බිම් සකස් කර ගත්තේ නැත්නම්, බිත්තර වී ටික හොයා ගත්තේ නැත්නම් හාල් හිඟයක් ඉදිරියට එනවා. ඒ වගේම මේ වර්ෂාව ආයේ වහින්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මොකද? තව දවස් කීපයක් මෙහෙම වහින් නැතිව තිබ්බොත් අපිට බඩඉරඟුවලින් යම් ප්‍රමාණයක් බේරා ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා රජයේ නිලධාරීන් ටික විශ්වාස කරලා ඉතාමත් ඉක්මනින් අර ඔබතුමා කිව්ව භාණ්ඩාගාරය පිරී ඉතිරිලා යන මුදල් ටික දැන් එවන්න දිස්ත්‍රික්කවලට, ඒ ටික ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා , ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා මේකේ යම් වරදක් අඩුපාඩුවක් වෙයිද? අත්වැරැද්දක් වෙයිද? කියන භය නැති කරගෙන, කෙලින් තීන්දු අරන් ඉක්මනින් මේ ටික ගොඩ දාන්න, එහෙම නැත්නම් අපි හරි අමාරුවක වැටෙනවා. බඩගින්නේ ඉන්න, ගෙවල් නැති වෙච්ච, තමන්ගේ පවුලේ සාමාජිකයෝ අහිමි වෙච්ච, ගම් පිටින් නාය ගියපු අයට අදාළ නෑ මේක 12 වැනිදා කිව්වාද? 13 වැනිදා කිව්වාද? කවුද මේකේ වැරදි කාරයා කියලා ඒ අයට අදාළ නෑ. මේක අදාළ වෙන්නේ තමන්ගේ දේපළ නැති වුණා, තමන්ගේ ඥාතියා නැති වුණා, තමන්ගේ ගමම නාය ගියා කියලා පමණයි.
මේක බය නැතිව ගන්න ඕන සෘජු තීන්දුවක්
මම ආපදා කළමනාකරණ අමාත්‍යයවරයා විදිහට ඉන්න කොට අපි තීන්දුවක් ගත්තා ආපදාවට පෙර සූදානම් වෙමු කියලා. ඒක අනුරාධපුරයේ පමණක් නෙමෙයි, අපි ලංකාව පුරාම ක්‍රියාත්මක කළා. එතනදී අපි මල්වතු ඔය හාරපු නිසා, සුද්ධ කරපු නිසා, වැටිච්ච ගස් අයින් කරපු නිසා, මැද එකතු වෙලා තිබුණ වැලි ටික අයින් කරපු නිසා අද මේ ජනතාව මෙහෙමවත් බේරිලා ඉන්නවා. ඒ නිසා ඉතාමත් ඉක්මනින් මේ වතුර ටික අපිට බස්සා ගන්න පුළුවන්කම ලැබුණා. ආපදා කළමණාකරණයේ දී අපි හැම විටම හැම දිස්ත්‍රික්කයක ම අපිට සැලැස්මක් තිබුණා බැරි වෙලා හරි උඩින් වතුර ටික වැඩි වෙන කොට කොහොමද වතුර ටික කළමණාකරණය කරගෙන මේ වතුර ටික නිදහස් කරන්නේ කියන කාරණය. මේක බය නැතිව ගන්න ඕන සෘජු තීන්දුවක් මොකද වහිනවා කියලා වැස්සේ නැත්නම් මොකද වෙන්නේ කියලා කාට හරි තර්කයක් ගේන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් මේවාට බය නැතිව තීන්දු ගන්න ඕන; ඒවාට දේශපාලන නායකයෝ මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. මටත් මේ මල්වතු ඔය හාරද්දී බැන්නා, දොස් කිව්වා. දුමින්ද වැලි ගොඩ දානවා කිව්වා, තමන්ගේ හිතවතුන්ට වැලි අදින්න දෙනවා කිව්වා, කුඹුක් ගස් කපනවා කිව්වා හැබැයි අද ඒ සියලු දෙනාටම තේරිලා තියෙනවා දුමින්ද එදා භය නැතිව තින්දුව ගත්තා. ඒ මඩවලට දුමින්ද යට වුණා නම් අද මේ ජනතාවට තාමත් වතුරෙන් යට වෙලා තමයි ඉන්න සිද්ධ වෙන්නේ. අද පුළුවන්කම ලැබිලා තියෙනවා දවස් කීපයක් ඇතුළත තමන්ට වෙච්ච හානිය මොකක් වුණත් දැන් ආයේ පාරක් තමන්ගේ ගෙදර සුද්ධ කර ගෙන යන්න පුළුවන් වතාවරණය උදා වෙලා තියෙනවා.
අපි සම්බන්ධ කර ගෙන හෝ කර නොගෙන ප්‍රශ්නයට විසඳුමක් හොයන්න
හිටපු ඇමතිවරු විදිහට අපිට මේ අවස්ථාවේ කිසිම කැඳවීමක් කරලා නෑ, මම දැක්කා ජනාධිපතිතුමා ගේ කතාවෙ දි 'අපි පක්ෂ භේද අමතක කරමු' කියලා කතා බහ කරනවා. මේක බිමේ නෑ, අඩුම තරමේ ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවකට වර්තමානයේ ඉන්න විපක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් කැඳවන්නේ නෑ, මේක තමයි ඇත්ත කතාව. ඒ වගේම සමහර කඳවුරුවලට ගියහම ග්‍රාම නිලධාරීතුමා විතරයි තනියම වැඩ කරන්නේ, එතන සමෘද්ධි නිලධාරියා නෑ, එතන කෘෂිපර්යේෂණ නිලධාරී නෑ, එතන සංවර්ධන නිධාරී නැ. එක ග්‍රාම සේවා වසමක රජයේ නිලධාරීන් කීයක් ඉන්නවාද? අපි හැමෝම මේ වගකීම ඇඟට ගත්තොත් කෘෂිකර්මාන්තයේ කොයි තරම් පාඩුවක් වෙලා ද කියලා හොයන එක හොයා ගන්න පුළුවන්. ජනාධිපතිතුමා කියන ඩ්‍රෝන තාක්ෂණය හරි ඒ. අයි. තාක්ෂණය හරි භාවිතා කරලා දැන්ම කෘෂි පර්යේෂණ නිලධාරීන්ට උපදෙස් දීලා දැන්ම මේක පටන් ගන්න ඕන.
මේ කෘපනිස මහත්වරුන්ට තාමත් ගමට යන්න බැරි වෙලා තියෙනවා. ගමේ ගිහිල්ලා මේක හොයන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඒ්.අයි. තාක්ෂණය වෙන්න පුළුවන්, ඩ්‍රෝන තාක්ෂණය වෙන්න පුලුවන් මොකක් හරි තාක්ෂණයක් භාවිතා කරලා දැන්ම මේවා ටික ඇස්තමේන්තු කරන්න වෙයි. කොච්චර හානියක් වෙලාද කියලා දැන්ම බලා ගන්න වෙයි. උදාහරණයකට අනුරාධපුරය ගත්තොත් ගංවතුර ඉවර වෙලා සතියක් වෙන කොටත් තාමත් බැරි වෙලා තියෙනවා නම් මේ වැඩ ටික කර ගන්න අපි පසුතැවිලි වෙන්න ඕන. අපිව කැඳෙව්වේ නැතත් කමක් නෑ. ගරු ජනාධිපතිතුමනි ඔබතුමන්ලා අපි කරපු විදිහ අහලා හරි, එදා ඒක දැක්ක නිසා හරි ඔබතුමන්ලා පුළුවන් විදිහකට අපිව සම්බන්ධ කර ගෙන හෝ නොකර ගෙන මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
අදාළ නැති අමාත්‍යංශයක වුණත් වගකීම ගන්න ජනපතිට බලය තියෙනවා
රටකට මේ වගේ ප්‍රශ්නයක් වෙන කොට කථාවෙන් විතරක් මිනිසුන් සනසන්න පුළුවන්කමක් නෑ, කථාවෙන් විතරක් තමන් නිහතමානී කියලා කියන්න පුළුවන්කමක් නෑ, කතාවෙන් විතරක් එකතු වෙන්න අපි දේශපාලනය පැත්තකින් තියලා මේකට සාමූහිකව මුහුණ දෙමු කියලා කිව්වට වැඩක් නෑ ඒකට බලය තියෙන්නේ ඔබතුමන්ලාට.ඔබතුමන්ලා ගේ රැස්වීමේ අපිට බලෙන් ඇවිත් වාඩි වෙන්න බෑ, ඔබතුමන්ලා ගේ රැස්වීමකට බලෙන් ඇවිත් ඒ ගන්න තීන්දු තීරණ වල හරි අදහස මොකක්ද? වැරදි අදහස මොකක්ද? මොකක්ද වෙන්න ඕන එක කියලා කියන්න පුළුවන්කමක් නෑ, ඒ නිසා ඔබතුමා මේකට නායකත්වය අරගෙන සර්ව පාක්ෂික සමුළුවක් හරි කැඳවලා ඔබතුමා මේක අතට ගන්න මේක 100% ක් ම ඔබතුමා යටතේ තියෙන විෂයක් කියලා අමතක කරන්න එපා. ඔබතුමාට බලය තියෙනවා, ඔබතුමාට පුළුවන්කම තියෙනවා, ඔබතුමන්ට අදාළ නැති අමාත්‍යංශයක වුණත් වගකීම ගන්න ඔබතුමන්ට බලය තියෙනවා නමුත් ආපදා කළමනාකරණය 100% ක්ම පැවරිලා තියෙන්නේ ඔබතුමාට.
රතු තොප්පිය දාගෙන හිටියට වැඩක් නෑ
අපි මේ අවතැන් කඳවුරුවලට යන කොට හෝ අපි ආධාරයක් බෙදන කොට අපි ඔබතුමන්ලා වගේ රතු පාට තොප්පියක් දාගෙන ගියෙත් නෑ, රතු තරුව ගහන් ගියෙත් නෑ, අපි දැක්කා මේ ආපදාව වෙච්ච වෙලාවෙත් සමහර ඔබතුමන්ලාගේ මාලිමාවේ මන්ත්‍රීතුමන්ලා අපිට තමයි බිමේ වැඩේ හොඳටම කරන්න පුළුවන් අපි රතු තරුවත් එක්ක ගමේ හිටියා, බිමේ හිටියා කියලා. හැබැයි ගරු ජනාධිපතිතුමනි එදා ඒ අසාධාරණය තිබුණ ආණ්ඩුවට කළාට කමක් නෑ, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඒ අසාධාරණය මේ රටේ ජනතාවට කරන්නේ නෑ. ඔබතුමන්ලා නිසා නෙමෙයි ජනතාව නිසා.මේ ජනතාව දුක් විඳින්නේ එදා ශ්‍රී ලංකා වෙන්න පුළුවන් මේ පාර මාලිමාවේ වෙන්න පුළුවන්, ගිය පාර ස.ජ.බ වෙන්න පුළුවන්. මේ සියලු දෙනා අපේ රටේ පුරවැසියෝ. ඒ පුරවැසියෝ වෙනුවෙන් සර්ව පාක්ෂික සමුළුවක් හෝ කැඳවලා ඔබතුමා අවංකව මේකට නායකත්වය දීලා ඉතාමත් ඉක්මනින්ප්‍රශ්නය විසඳන්න.
සමහර දේවල් හදන්න අවුරුදු 03ක් 04ක් යයි
ඔබතුමා හිතනවාට වඩා විශාල හානියක් මේ රටේ සිද්ධ වෙලා තියෙනවා. මරණ තුන්සිය ගණනක් කියනවා, අතුරුදන් තුන්සිය ගණනක් කියලා කියනවා. දවසින් දවස මේක වැඩි වෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ මේක අඩු වෙන්න කියලා. ඔබතුමා චොපර් එකේ අදවත් යන්න, ඔබතුමා එතන රැස්වීමේ නිකං ඉන්නවාට වඩා මේ ලංකාව වටේම හරි කමක් නෑ, ඔබතුමා චොපර් එකකින් ගිහිල්ලා වෙලා තියෙන හානිය බලන්න, පාරවල් කැඩිලා තියෙන විදිහ බලන්න. ඔබතුමා ජාතිය අමතලා බොහෝම ලේසියෙන් මේවා හදන්න පුළුවන් කිව්වාට සමහර දේවල් හදන්න අවුරුදු 03-04 ක් යයි.ඒත් පුලුවන් වෙයිද දන්නේ නෑ, ඒ නිසා කියන්නේ මේක උඩින් ගිහින් හරි බලලා.ප්‍රායෝගිකව වැඩ කරන්න.ඔබතුමා මේසයක් ලඟ වාඩි වෙලා සූම් මීටින් තියලා හැමෝටම කථා කරන එක නෙමෙයි පැය 02 -03 ක් අරගෙන, දවසක්ම හරි අරගෙන ලංකාව පුරාම උඩින් ගිහින් බලන්න ලංකාවට වෙලා තියෙන විනාශය මොකක්ද කියලා.
සමහරුන්ට බත් ටික කන්න පිඟානක් කෝප්පයක් නෑ
අපිට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අපි උදව් කරන්න ලෑස්තියි, අපි දේශපාලනයක් කරන්නේ නෑ, අපි ඔබතුමන්ලාට දොස් කියන්නෙත් නෑ, දොස් කියන තැනක් තියෙනවා නම් ඒකත් අපි නිවැරදි කරනවා, මොකද බැන්නා කියලා බඩ පිරෙන්නේ නෑ, බැන්නා කියලා ගෙදර හැදෙන් නෑ, බැන්නා කියලා ගෙදර තිබුණ බඩු ටික ලැබෙන්නේ නෑ, අද සමහරුන්ට කන්න පිඟානක් කෝප්පයක් නෑ, ඒ නිසා මේ ආහාර මල්ල යැව්වාට වැඩක් නෑ ඒ අයට උයාගන්න තැනක් නෑ, ඔබතුමන්ලා ගෙවල් සුද්ධ කර ගන්න කීයක් හරි දෙනවා කියලා කිව්වාට ඒ මුදල ලැබුනොත් තමයි බඩු ටික අරන් සුද්ධ කරගන්න පුලුවන්කමක් තියෙන්නේ.ඒ මනුස්සයාගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නම් සාස්පාන් කට්ටලයක් හරි දුන්නොත්, පිඟන් කෝප්ප කීපයක් දුන්නොත් අන්න මිනිස්සු ජීවත් වෙයි.එහෙම නැත්නම් මේ ප්‍රශ්නය කටෙන් බේරෙන්න හැදුවාට, කථාවෙන් බොහෝම අනුකම්පාව අරගෙන මේක කරන්න අපි සූදානම් කිව්වාට ගෙදරට හට්ටි මුට්ටි, පිඟානක් කෝප්පයක් ලැබෙන්නේ නෑ, ඒ නිසා මේකට සක්‍රීයව ඔබතුමන්ලා නායකත්වය දෙන්න අපි සූදානම් ඔබතුමන්ලා එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න. අත්දැකීම් තියෙන, මේවාට මුහුණ දීලා, මේවා හසුරුවලා තියෙන අපිව සම්බන්ධ කර ගත්තොත් මීට වඩා වැඩි දායකත්වයක් ඔබතුමන්ලාට දෙන්න පුළුවන්කම ලැබෙයි. හැබැයි මතක තියා ගන්න අපිට ඔබතුමාගේ රැස්වීමේ හෝ, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ හෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙ හෝ ආපදා කළමණාකරන කමිටුවේ බලෙන් ඇවිල්ලා වාඩි වෙන්න පුලුවන්කමක් නෑ. ඒ වැඩේ තියෙන්නේ ඔබතුමන්ලා අතේ''
(සටහන - තිසර සමල් සෝමරත්න අනුරාධපුර)




