තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය කනස්සල්ල පළ කරයි.
ජාතික වශයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා මධ්‍යයේ වුව ද, ක්‍රම වෙනසක් වෙනුවෙන් පොරොන්දු දුන් නව රජය නීතියේ අධිපත්‍යය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් ආරක්ෂා කරනු ඇතැයි විශ්වාස කරන බවද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසයි.
2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත සුනාමි ව්‍යසනයෙන් පසුව හඳුන්වා දෙනු ලැබුවේ ගංවතුර, නායයාම්, සුළි කුණාටු ඇතුළු ස්වාභාවික විපත්වලදී නැවත යථා තත්ත්වය පත්වීමට සහ මානුෂීය ගැටලු විසඳා ගැනීමට බවත් ඔවුන් අවධාරණය කරයි.
ජනතාව මර්දනය කිරීම සඳහා හදිසි නීතිය යොදා ගන්නේ නැහැ - ජනාධිපති
ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් බව ප්‍රකාශ කරමිනි.
ඒ අනුව, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම, පවත්වාගෙන යාම සහතික කිරීමේ අරමුණ ඇතිව නොවැම්බර් 28 වන දා සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි.
කෙසේ වෙතත්, ආපදා තත්ත්වය හමුවේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය, ජනතාව මර්දනය කිරීම සඳහා යොදා නොගන්නා බවට ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාවේදී සහතික විය.
"කාර්යක්ෂම සේවයක් ලබා දීම වෙනුවෙන් මේ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් වේගවත් කාර්යක්ෂම යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාව වෙනුවෙන් අපි හදිසි නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමති යි. මෙම හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණය කර ගැනීමට සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කර ගන්නවා හැරණුකොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන්, මෙම හදිසි නීතිය අපි උපයෝගී කරගන්නේ නැහැ," යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 30 වන දා ජාතිය අමතමින් පැවසීය.
නියෝජ්‍ය ඇමති වටගල, ජනාධිපතිගේ කතාවට පරස්පර කතාවක් කියයි !
හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණය කර ගැනීමට සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කර ගන්නවා හැරණුකොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන්, උපයෝගී කරගන්නේ නැතැයි ජනාධිපතිවරයා ජනතාව ඉදිරියේ සහතික වෙද්දී, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඊට මුළුමනින්ම පරස්පර කතාවක් පසුගියදා සිදුකර තිබිණ.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍යවල අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පොලීසියට උපදෙස් ලබා දී තිබේ.
එවැනි අපහාස කරන්නෙකුට වසර 05කට වැඩි සිරඬුවමක් දීමේ හැකියාව තිබෙන බව ත් ඊට අමතර වැරදි සඳහා අවුරුදු 10ක් දක්වා සිරඬුවම් දෙන තැනකට එය ගෙන ආ හැකි බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
පොලිස් නිලධාරීන් සමඟ පැවති රැස්වීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍යන්හී ඉතා නරක ලෙස ජනාධිපතිවරයාටත් ඇතැම් දේශපාලන අධිකාරයේ තෝරාගත් කිහිපදෙනෙක්ටත් පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ල කරමින් තිබෙන බවත් එය තව තව වර්ධනය විය හැකි බැවින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ත් ය.
එමෙන් ම, විදෙස්ගතව සිටින පුද්ගලයින් පවා සමාජ මාධ්‍යවල ඒ ආකාරයට ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරුන්ට අපහාස කරන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එය ඉදිරියට සාමාන්‍යකරණ විය හැකි බව ය.
රටේ මහජන ආරක්ෂක පනතේ පස්වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග, හදිසි අවස්ථා රෙගුලාසි හදිසි අවස්ථා රෙගුලාසිවල පැහැදිලිව ම මේ තත්ත්වය ආවරණය කර ඇති අතර හෞතිකව, online මගින්, AI තාක්ෂණය මගින් ඒ ආකාරයේ කිසිදු දෙයකින් මේ ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය අදහස්, විකෘති කිරීම්, මේ තත්ත්වය අඩාල කිරීමේ අර්ථයෙන් කිසිවකුට එවැනි ප්‍රචාර කටයුත්තක් කළ නොහැකි බව ත් එවැනි අපහාස කරන්නෙකුට වසර 05කට වැඩි සිරඬුවමක් දීමේ හැකියාව තිබෙන බව ත් ඔහු පැවසීය.
ඊට අමතර වැරදිවලට අවුරුදු 10ක් දක්වා සිරඬුවම් දෙන තැනකට එය ගෙන ආ හැකි බව හෙතෙම පෙන්වා දුන්නේ ය.
ඔහු මෙසේ ද පැවසීය.
“අද සමාජ මාධ්‍ය බැලුවහම ජනාධිපතිවරයාට එල්ලකරලා තියෙන ප්‍රහාර ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයෙක් හැටියට මේක දරාගන්න බැහැ. ඒ තරම් මේ සමාජය විකෘති කිරීමේ අර්ථියෙන්, විකෘති මානසිකත්වයෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා. අපි ආණ්ඩුවක් ලෙස ඉහළම, හොඳ ම ආදර්ශය සපයලා තියෙනවා රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන්. එහෙම තියෙන වටපිටාවක් ඇතුළේ තමයි මේ මහජන මතය විකෘති කිරීමේ අරමුණෙන් මේක කරන්නේ. ඒ නිසා අපි කියනවා රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව කටයුතු කිරීමට සියලුම පුරවැසියන් බැඳිලා ඉන්නවා. එසේ නොකරන පුරවැසියන් සම්බන්ධයෙන් අපට ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා”
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රකාශයට එරෙහිව මාධ්‍ය සංවිධාන හා සිවිල් ක්‍රියාකාරිකයින් ගෙන් දැඩි විරෝධයක් මතුවෙද්දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, කිසිදු මර්දනීය කටයුත්තක් සඳහා හදිසි නීතිය භාවිත නොකරන බවයි.
සබැඳි පුවත් :




