දුස් තොරතුරු ප්‍රචාරයේ නිරත වන බවට පොලිසිය විසින් චෝදනා කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම නිතිය යටතේ මේ වන විටත් විමර්ශන 60 ට ආසන්න ප්‍රමාණයක් ආරම්භ කර ඇත්තේ හදිසි නීතිය මර්දනය සඳහා යොදා නොගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සහතික වී තිබියදීය.
සිය ගණනක් ජීවිත බිලිගත් දිට්වා සුළි කුනාටුව ශ්‍රී ලංකාවට කඩා වදින බව බලධාරීන් හා ආණ්ඩුව කල්තියා දැනගෙන එයින් සිදුවන හානිය අවම කරගැනීමට පියවර ගත්තේද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල පමණක් නොව පාර්ලිමේන්තුවේද උණුසුම් විවාද ඇවිලී තිබේ.
‘ජනතාවගේ සුරක්ෂිත තාවය වෙනුවෙන් අඩුපාඩුවකින් තොරව වැඩ කටයුතු කරගෙන යන ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියට’ එරෙහිව මේ මොහොතේ මඩ ප්‍රචාර දියත් කරන බවට චෝදනා කෙරෙන්නන්ට විරුද්ධව හදිසි අවස්ථා රෙගුලාසි භාවිතයට ගන්නා ලෙස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පසුගියදා පොලීසියට උපදෙස් ලබා දී තිබුනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රික් උදය කුමාර වුට්ලර් සදහන් කරන්නේ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සදහා මෙම අති විශේෂ ගැසට් නිවේදනය හරහා මෙම විධිවිධාන සහ බලතල ක්‍රියාත්මක වන බවයි.
“මේ රටේ උද්ගතවී ඇති ආපදා තත්වය හේතුවෙන් එය සැලකිල්ලට ගනිමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් හදිසි අවස්ථා නියෝග විධිවිධාන සහ බලතල ඇතුලත් අති විශේෂ ගැසට් පත්‍රයක් මේ වන විට ප්‍රකාශයට පත් කරලා අවසන්. විශේෂයෙන් මෙහිදී මහජන සාමය පවත්වාගෙන යෑම, මහජන සාමය සුරක්ෂිත කිරීම සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සදහා මෙම අති විශේෂ ගැසට් නිවේදනය හරහා මෙම විධිවිධාන සහ බලතල ක්‍රියාත්මක වෙනවා.”
2025 දෙසැම්බර් 03 වැනිදා මාධ්‍ය හමුවක් කැදවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රික් උදය කුමාර වුට්ලර් හෙළි කර තිබුනේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය වුත් තහවුරු නොකරන ලද හා නිවැරදි නොවු කටකතා සහ අසත්‍ය ප්‍රකාශයන් 57 ක් සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.
“මේ ගතවු දින කිහිපය තුළ විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසිය, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුම් මැදිරියක් හරහා අසත්‍යය වුත් තහවුරු නොකරන ලද නිවැරදි නොවු කටකතා සහ අසත්‍ය ප්‍රකාශයන් සමාජයේ සංසරණය වන බවට නිරීක්ෂණය කරලා තියනවා. මේ අවස්ථාව වන විට එවන් නිරීක්ෂණයන් 57 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය විමර්ශනයන් ආරම්භ කරලා තියනවා. ”
නොවැම්බර් 30 වැනිදා ජාතිය අමතමින් සිදු කළ කතාවේදී හදිසි නීතිය මර්දනය සඳහා යොදා නොගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සහතික වී තිබුනි.
“ මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමතියි. මෙම හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණයට ලක් කර ගැනීම සහ කාර්යක්ෂමව අපේ රට ගොඩ නැගීම සදහා ඉවහල් කර ගන්නවා ඇරුනු කොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියා දාමයක් වෙනුවෙන් මෙම හදිසි නීතිය අපි උපයෝගි කර ගන්නේ නැ.”
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය 20 වැනි වගන්තිය මගින් වරදක් බවට හදුනාගෙන ඇති ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රික් උදය කුමාර වුට්ලර් රට වැසියන්ට දැනුම් දී තිබුනි.
“මෙම අති විශේෂ ගැසට් පත්‍රය 20 වැනි වගන්තිය හරහා කිසිම කට කතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් මහජනයා බිය ගැන්විය හැකි, මහජනයා කැලඹීමට පත් විය හැකි කටවචනයෙන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා කෘතීම බුද්ධිය ඇතුළු ස්වයංක්‍රීය පද්ධති හරහා යම් ලිඛිත, විද්‍යුත්, ඩිජිටල් හෝ වෙනත් යම් මාධ්‍යක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම පළ කිරීම, නිර්මාණය කිරීම, එහෙම නැතිනම් පැතිරවීම මෙම අති විශේෂ ගැසට් පත්‍රයේ වරදක් බවට හදුනාගෙන තිබෙනවා. මෙම වරදවල් සම්බන්ධයෙන් ගරු මහේස්ත්‍රාත් අධිකරණයක සහ මහාධිකරණයක විභාග වීමකින් අනතුරුව වසර 5 ක් දක්වා සිර දඩුවම් ලබාදීය හැකි බවද සදහන් වෙලා තියනවා.”
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරුන් සමග පැවැත්වු සාකච්ඡාවකදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සදහන් කර තිබුනේ ජනාධිපතිවරයා සහ ඇතැම් දේශපාලන අධිකාරියේ තෝරා ගත් කිහිප දෙනකුටත් පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ල කරමින් සිටින්නේ විශේෂයෙන් විදෙස් ගතව සිටින පුද්ගලන් බවයි.
“සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාම නරක විදිහට ජනාධිපතිවරයාටත් ඇතැම් දේශපාලන අධිකාරියේ තෝරා ගත් කිහිප දෙනකුටත් පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ල කරමින් යනවා. එතකොට මේක ඩිවලොප් වෙන්න පුළුවන්. මේක දැන් ඉහලින්, විදෙස් ගතව ඉන්න පුද්ගලයෝ මේ සමාජ මාධ්‍ය ජාලයේ මේක විශේෂයෙන් කරන්නේ ඕක ටිකක් ජනාධිපතිවරයාට කරනවා, අනෙකුත් දේශපාලන අධිකාරියේ උදවියට මේ ප්‍රහාරයන් එල්ල කරන එක සාමාන්‍ය කරණය වෙන්න පුළුවන් තව දවසක් දෙකක් යනකොට ”
මේ අවස්ථාවේදී 2464/31, 2025 නොවැම්බර් 28 සිකුරාදා රටේ මහජන ආරක්ෂක පනත යටතේ මහජන ආරක්ෂක පනතේ 5 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද හදිසි අවස්ථා රෙගුලාසි ‘කෙලින්ම අතට ගන්නා’ ලෙස ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබුනි.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ද සහභාගී වී සිටි එම රැස්වීමේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පොලිස් ස්ථානාධිපතිවරුන්ට තව දුරටත් අවධාරණය කර තිබුනේ මෙම ගැසට් නිවේදනයේ විශේෂත්වය පුරවැසියන්ට තේරුම් කර දෙන ලෙසයි.
“මේ ගැසට් පත්‍රය මගින් තියන විශේෂත්වය තමයි අත්අඩංගුවට ගන්නේ සැකකරුවෙක් නෙමෙයි. අත්අඩංගුවට ගනු ලබන්නේ චුදිතයෙක්. අන්න ඒක කියා දෙන්න මේ පුරවැසියන්ට”
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රික් උදය කුමාර වුට්ලර් දෙසැම්බර් මස 3 වැනි බදාදා පැවැත් වු මාධ්‍ය හමුවේදී සියළු පුරවැසියන්ට මතක් කර තිබුනේ පුද්ගලික අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් පසෙක දමා මේ රට නැවතත් ගොඩ නැගීම සදහා කරනු ලබන දායකත්වයට, ප්‍රයත්නයට සහයෝගය ලබා දෙන ලෙසයි.
“එම නිසා මේ අවස්ථාවේදී අපි මහජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ පුද්ගලික අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් පසෙක දමා විශේෂයෙන් ද්වේශ සහගත ලෙස කරනු ලබන විවේඡන පසෙක දමා රජය සහ ඊට අනුබද්ධිත සියළුම පාර්ශවයන් විසින් මේ රට නැවතත් ගොඩ නැගීම සදහා කරනු ලබන දායකත්වයට, ප්‍රයත්නයට, උත්සාහයට, ඔබ සැම අපට සහයෝගය දිය යුතු බව ඉතාම අවධාරණයෙන් මතක් කර සිටිනවා.”
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2025 දෙසැම්බර් 04 වැනි බ්‍රහස්පතින්දා හවස 7 ට කරන නිකුත් කරන ලද නවතම තත්ව වාර්තාවලට අනුව දිට්වා සුළි කුනාටුව සමග ඇතිවු ගංවතුර හා නායයෑම් වලින් මෙරට මියගිය සංඛ්‍යාව 486 දක්වා ඉහළ ගොස් තිබේ. අවම වශයෙන් පුද්ගලයන් 341 දෙනකු තවමත් අතුරුදහන් වී ඇත.
එමෙන්ම දිවයින පුරා පවුල් 519,842 ට අයත් පුද්ගලයන් 1,844,055 ක් පීඩාවට පත්ව සිටි.
සබැඳි පුවත් :
හදිසි නීතිය ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අසතුටෙන්!
සුනිල් වටගල සිදු කර ඇති ප්‍රකාශයට වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ විරෝධය




